Wednesday, May 16, 2018

තව මොනවාද නිකං දෙන්න පුළුවන්



ආණ්ඩුව තවත් ලක්ෂ ගණනකට සමෘද්ධි සහනාධාර දෙන්නට යන බවට වන කසුකුසුවක් අසන්නට ලැබීමි. සතුටුය. අප්‍රමාණව සතුටුය. තව තවත් සහනාධාර ලබා දී, මුළු රටම රජයේ නොමිලේ දීමනා වලින්ම යැපෙන රාජ්‍යයක් වී සියල්ලෝ සැපෙන් සනීපයෙන් ‘ආතල් එකේ’ ඉන්නේ නම් ඒ තරම් ප්‍රීතියක් වෙන කොහේද. ඉන්ද නොනැවතී, මුද්‍රණ ආයතන වෙත මහා පරිමාණ ටෙන්ඩර් දී මුදල් අච්චු ගැසීම විමධ්‍යගත කළ යුතුය. එතකොට සියල්ලෝ මුදල් කොළ වල පිණුම් ගසමින් සතුටින් ජීවත් විය හැක. වුවමනා වන්නේ, ඊළග ඡන්දය ඉහළින්ම දිනීම නම් ඒකත් කර ගත හැකි වනු ඇත.

නමුත්, අහෝ මේ රටේ අනාගතය.

රජයක් සිය රාජ්‍යයේ ජනතාවගේ සුභසාධනය සම්බන්ධයෙන් මැදිහත් විය යුතුය. එහි කිසි තර්කයක් නැත. නමුත්, අප වැනි තත්ත්වයක ඉන්නා රාජ්‍යයන්ගේ ආණ්ඩු ඒවා කළ යුතු සීමාවක් තිබිය යුතුය. සමෘද්ධි හෝ වේවා ජනසවිය හෝ වේවා, ආණ්ඩු විසින් හදුන්වාදෙන මෙම වර්ගයේ ධාන පාරමිතා ඕනෑවට වඩා ප්‍රමෝට් කිරීම රටක දියුණුවට උචිත නොවන බව පෙණේ. ආණ්ඩු කළ යුත්තේ ඒවා වෙනුවෙන් ජනතාව දිරිමත් කිරීම නොව, ජනතාව ඒවාට වෛර කරන, ඉන් දුරස්වන තත්ත්වයට පත් කිරීමය. සමෘද්ධි ලාභියෙක් වීම ලැජ්ජාවට කාරණයක් බවට පත් කළ යුතුය. සහනාධාර ලබන්නෙකු වීම අසරණයින්ගේ සංඛේතයක් කළ යුතුය. කළ යුත්තේ, උපයා ගැනීමට හැකි මිනිසෙක් වීමට අවශ්‍ය වේදිකාව තනා දීමයි. ඊට උනන්දු කිරීමයි. ඒ මිනිසුන් අගය කිරීමයි.

නිදහසුනක් ලෙස, ගොවියාට අවශ්‍ය ජලය ආණ්ඩුව නොමිලේ දිය යුතුය. පොහොර ටිකට සහනාධාර දිය යුතුය. බීජ නොමිලේ හෝ ලාභදායී මිලට ලබා දිය යුතුය. වෙනත් සේවා හා භාණ්ඩ වෙනුවෙන් සහන දිය යුතුය. අවසානයේ දී අස්වනු නෙළාගත් පසු, ආණ්ඩුව ඒවා ගොවියා තෘප්තිත් වන මිලකට මිලදී ගැනීම ද කළ යුතුය. සංසාර චක්‍රය වාගේ දශක ගණනාවක් තිස්සේ මේ චක්‍රය නොනැසී සිදු වෙමින් තිබේ. වී අල බතල වට්ටක්කා ළුෑණු මිරිස් ආදී හැම එකකම තත්ත්වය එයයි. සහනාධාර යැපුම් ක්‍රමය මහපොළවේ තිබෙනා තාක්කල් ගොවියෝ ඔළුව උස්සන්නේ නැත. ආණ්ඩුවට ඔළුව උස්සන්නටද නොහැකිය.

පාසල් හෝ සරසවි ශිෂ්‍යයින්ට පෙළපොත්, නිළඇදුම් හෝ වෙනත් පාසල් උපකරණ නොමිලේ දීම වෙනම කතාවකි. ආර්ථික අපහසුතා හේතුවෙන් අධ්‍යාපනයෙන් දුරස්වීම වලක්වා ගැනීම වෙනුවෙන් පාසල් දරුවන් වෙනුවෙන් කෑම බීම ආදී සියලු පහසුකම් දුන්නත් කමක් නැත. ඒවා වියදමකට වඩා රටකට අති ආයෝජනයකි. නමුත්, වැඩිහිටි ගැහැණුන්ට පිරිමින්ට මුදල් දොළපදේනි දීමේ ඇති අනාගත ආයෝජනය කුමක්ද. ඔවුන් ඉන් මිදෙන්නේ කවදාද. පිනට කෑම හුරු වීමේ නරකතම ප්‍රතිඵලය වන්නේ එය පාරම්පරික පුරුද්දක් හා උරුමයක් කර ගැනීමයි.

මෙහි ඇති අනෙක් අවුල ඉතා භයානක සහ පීඩාකාරීය. ලෝකයේ හතර වටේ හැම තැනකටම සත පණහ රුපියලේ සිීමාවේ සිට මිලියන් බිලියන් ගණන් දක්වා ණය වී සිටින රටකි. ඒවා ගෙවිය යුතුය. ඒ අතර වාරයේම රට ඇතුළේ ඉන්නා සහන දිය යුතු හා නොයුතු කප්පරක් පිරිසට එකඑක වර්ගයේ සහනාධාර හා දීමනා දෙයි. ඒවා වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අති විශාලය. මේ සියලු වියදම් පියවීමේ වගකීම ඇත්තේිහම්බ කරණ’ ජනතාවටය. වැඩ කරන ජනතාවටය. අවුරුදු දහතුනක් පාසල් ගොස්, උසස් අධ්‍යාපනයක් හෝ වෘත්තීය අධ්‍යාපනයක් ලබා ඒ හරහා ඉහළ නිපුණත්වයක් අතකර ගත් මිනිස්සු ඉහළ ආදායමක් උපයයි.තමාගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කිරීමේ කරුමයට වාගේ ඔවුන්ට ආපස්සට උපයන විට ගෙවන බදු, කන විට ගෙවන බදු, බොන විට ගෙවන බදු, වැසිකිලි බදු, ආශ්වාස බදු ප්‍රාශ්වාස බදු ආදී හැටහුට හමාරක් බදු ගෙවයි. නමුත්, පුළුවන් කාලයේ යමක් ඉගෙන නොගත්, වෘත්තීය නිපුණත්වයක් ලබා නොගත්, හරිහමං ආදායමක් උපයා ගැනීමට මහන්සි නොවූ මිනිස්සු අර මිනිස්සුන්ගෙන් එකතු කර ගත් බදු සල්ලි මාස්පතා බැංකු ගිණුමකට දමා ගනියි. කාලයෙන් කාලයට, ‘වැඩි කරපියව්’ කියා ආඩම්භරයෙන් ඉල්ලයි. එතකොට ආණ්ඩුව, ‘බදු ඉහළට’ කියා හෙඩිමක් දමා කීයක්හරි එකතු කරගෙන‘වැඩි කරා’ කියා හෙඩිමක් දමයි.

පිළිගත්තාත් නැතත් මේ ආමන්ත්‍රණය කරන්නේ ඡන්ද පදනමයි. දේශපාලනඥයින් ඊළග ඡන්දය ගැණත් රාජතාන්ත්‍රිකයින් අනාගත පරම්පරාව ගැනත් සිතන බවත් අපි දේශපාලනඥයින් නොව රාජතාන්ත්‍රිකකයින් යැයි ස්වයං පිදුම් ලැබීමකින් බලයට ආ ආණ්ඩුවක සාමාජිකයින් දැන් හොයන්නේ ‘තව මොනවාද නිකං දෙන්න පුළුවන්’ කියා මිස, ඊළග පරම්පරාව ගැන නොවන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. 

Wednesday, May 9, 2018

"එන්ජිම වෙනමත් චැසිය වෙනමත් දුවන වාහනයක්.."



එන්ජිම වෙනමත් චැසිය වෙනමත් දුවන වාහනයක් වෙතොත්, පිම්මක් දෙකක් පණිනවා හැර ඒ වාහනයට වෙන ලොකු ගමනක් නැත. රටවැසියා වෙනමත් පාලකයන් වෙනමත් දුවන රටකටද අත්වන්නේ එවැනිම ඉරණමකි. බැලූ බැල්මට දැන් අපේ රටට සිදුවෙමින් තිබෙන්නේ චැසිය වෙනමත් එන්ජිම වෙනමත් දුවන වාහනයක භූමිකාව රග දැක්වීම යැයි කවරෙක් හෝ කීවොත්, එය එසේ වන බව ඔප්පු කිරීමට දරන වෙහෙසට වඩා එය එසේ නොවන බව ඔප්පු කිරීමට වැඩි ශ්‍රමයක් හා කාලයක් නාස්ති කිරීමට සිදු වනු ඇත.

මැයි දිනයේ දී වත්මන් පාලකයින් මෙන්ම නායකත්වයට පත් වීමේ විභවයක් සහිත පුද්ගලයින් හා ඔවුන්ගේ කදවුරු විසින් සිදු කළ කතා සමූර්ණයෙන්ම හෝ වැදගත්ම කොටස් යැයි වෙන් කළ පෙන්වූ කොටස් අසන්නට අවස්ථාව ලැබිණි. ඒවා යළි යළිත් අසන්නට හැකිනම් ඒ අතරින් බොහෝ අදහස්, ගැම්මෙන් කියන විට ඉහළ උද්‍යෝගීභාවයක් තිබුණත් වෙන් කර රවුම් කර ගත් විට කිසි තාර්කිකබවක්, විද්‍යාත්මකභවක් හෝ තාක්ෂණිකභාවයකින් පමණක් නොව වෘත්තීයභාවයෙන්ද තොර බව වැටහෙනු ඇත. සමහර ඒවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා පරයයි. තවත් ඒවා සංග්‍රාම සාහිත්‍යයේ එන සියලු කව් ගී පැදි පරයයි. තව සමහරුන් වේදිකාවට වී මිස්ටර් බීන්ලාට, චාලි චැප්ලීන්ලාට හඩ කවා ඇත.

රටේ ක්‍රියාත්මක සියලු රූපවාහිනී නාලිකා වලත් මුද්‍රණය වන සියලුම පුවත්පත් වලත් පළමු පිටුව වෙන් වී ඇත්තේ යටකී පාලක ආතල් වෙනුවෙන් වුවත්, ඉන් එපිට සමස්ත ඉඩම වාගේ වෙන් වී ඇත්තේ ජනතා ශෝකාලාප වෙනුවෙනි. එක්කෝ පාලම් නැත. එක්කෝ පාසල් නැත. එක්කෝ රස්සා නැත. ගොවියන්ට පහසුකම් නැත, නිෂ්පාදකයන්ට මිලක් නැත, පාරිභෝගිකයින්ට පහසු මිලට බඩු නැත, උපයන මුදල ජීවත් වීමට ප්‍රමාණවත් නැත, මිනිස්සු නැති බැරි කමට හොරා කති, තවත් අය රස්සාවට මිනී මරති. ඒ අස්සේ අතරින් පතර එකෙක් ඇමතිකමක් ඉල්ලයි. තව එකෙක් වෙන තනතුරක් ඉල්ලයි. එකම පුවත්පතක පිටු හෝ එකම රූපවාහිනියක එකම ප්‍රවෘත්ති ප්‍රකාශයක් දෙස බලා සිටියදී ඒ එකඑකක් අතර ඇත්තේ සමතුලිත හෝ තැනිතලා බවක් නොවේ.

ඉහළ පහළත් අතර මනා සම්බන්ධයක් නැත. ඉහළට පහළ වුවමනාවල්වත් පහළට ඉහළ වුවමනාවල්වත් කාරණා නොවේ. ගෝචර නොවේ. සංවේදී නොවේ. කූඹියාට චූ පාර ගංගාවක් කියන්නා වාගේ හැමෝම තමතමන්ගේ දේවල් තමන්ගේ සාපේක්ෂ මට්ටමින් මිස යථාර්ථ මට්ටමින් වටහා ගන්නේ නැත. නිදහසුනක් ලෙස, වට්ටක්කා ගොවියාට වට්ටක්කා කිලෝවේ ගණන මහමෙරකි. නමුත්, විෂය භාර ඇමතිට මහමෙරක් ලෙස දැනෙන්නේ අලුත් වීඑයිට් එකක වෙනුවට පරණ කාර් එකක වෙනුවට යාමට සිදු වීමයි. ගම්මිරිස් ගොවියාගේ ප්‍රශ්නය, ගම්මිරිස් කිලෝවක මිල ප්‍රමාණවත් නොවීම වුවත් විෂය භාර ඇමතිට ඇති ප්‍රශ්නය, දැනට ඇති ගම්මිරිස් විෂයට අමතරව තව එකක් එල්ලා ගන්නේ කෙසේද යන්නයි. අනෙක් තැන්වලත් එසේමය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයින් පසු කැබිනට් ඇමතිවරුද ඇතුළුව සෑම ක්ෂේත්‍රයක්ම පාහේ වර්ජනය කළහ. ලෝක ඉතිහාසයේම, කැබිනට් ඇමතිවරු සාමූහිකව ආණ්ඩුවට එරෙහිව වර්ජනය කළ පළමු හෝ ඉතාම දුර්ලබ අවස්ථාවක අත්දැකීම අප අත්වින්දෙමු. යකඩ මල්ල ගැන කතාව එයනම් අනෙක් මලු ගැන කතා කුමටද. ඒ ඒ වර්ජනවල පරමාර්ථ වෙනස් වුවත් අවසන් අර්ථයෙන් ආණ්ඩුවට ආණ්ඩුවේ ඇමතිවරුන්වත් පාලනය නොවන තත්ත්වයකට පත්ව ඇත. අනෙක් අතට මේ රටේ සාමාන්‍ය ජනයාට, ගොවියාට කම්කරුවාට ශිෂ්‍යයාට පමණක් කැබිනට් ඇමතිවරුන්ටත් කප්පරක් ප්‍රශ්න ඇත. නමුත්, මෙහි අවුල තිබෙන්නේ ඇමතිලා ඇමතිලාගේ ප්‍රශ්න විසදා ගැනීමට ප්‍රමුඛතාව දී ඒවා විසදා ගැනීමට දින සති මාස ගණන් දත කද්දී සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න කන්නෙන් කන්න වැඩිවර්ධනය වෙමින් ඉස්සරහාට යාමයි. ඔය කියන හැම ඇමති කෙනෙකුට හිත හදාගෙන ජනතාවගේ ප්‍රශ්න දෙස බලන්නට වෙලාව එන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ පෙරුම්පුරා තමන්ගේ හිතුමනාපයට පාලනය කළ හැකි රාජ්‍යයක නායකත්වයට පත් වූ පසුව බව නම් නිසැකය. එතෙක් අප ඉවසා සිටිය යුතු වනු ඇත.

චැසිය වෙනමත් එන්ජිම වෙනමත් දුවනවා පමණක් නොව, දැන් ඒ චැසියේ අන්කොන් එහෙමෙහේ වැදී චැසිය ඇත්තේ අද වීය. එවැනි පසුබිමක් තුළ කවුරුන් කවුරුන් හෝ නූල් ඇද අලයිමන්ට් තියන්නට උත්සාහ කිරීම මොනතරම් දුරට සාර්ථක වෙයිදැයි අප නොදනිමු. කෙසේ නමුත්, අවසන් මාස දහඅට ගෙවෙමින් තිබෙන කාලයේදීවත් තවුසන් ටෝක් සිහින සැබෑ කර ගැනීම වෙනුවට එදාවේල ගොඩ දමා ගැනීමටවත් සිත් පහළ වන්නේ නම් යෙහෙකි. නොඑසේනම්, සුවිසල් සිහින මැද රටවැසියෝ සිහිසුන්ව ඇද වැටී සිටිනු ඇත. 

Wednesday, May 2, 2018

අලුත් කැබිනට්ටුව සහ ආණ්ඩුවේ අපරභාගය.



අලුත් කැබිනට්ටුවක්. කන්දක් විළිලා කෙන්දක් වැදුවා කියන්නා වාගේ ද විසිල් තරමට බල්ටි නෑ කියන්නා වාගේ ද අවසානයේ නිස්කාන්සුවේ කල්පනා කළ විට වෙච්ච දෙයක් නැත. සමහර ඒවා දෙස බලද්දී රටේ ජනතාවට හිතෙන්නේ, එකක් කඩතොළු වසා ගන්නට ගොස් මට වුණු කාරියා, දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉදුරුවේ ආචාරියා කියන්නා වාගේ හැගීමකි. කොහොම නමුත්, අලුත් බවක් හෝ වෙනසක් යනු යම් බලාපොරොත්තුවක් උපද්දවා ගැනීමට තරම් සාධාරණ සාධකයකි. එහෙයින්, තම තමන්ට සාපේක්ෂව එකග විය නොහැකි මොන මොන දෝෂ තිබුණත් අලුත් කැබිනට් මණ්ඩලයක් යනු රටට අලුත් බලාපොරොත්තුවකි.

වත්මන් ආණ්ඩුවට ඇත්තේ අවම වශයෙන් තවත් මාස විස්සකට මදක් වැඩි ආයුෂයකි. මේ ගෙවෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අපරභාගයයි. පූර්වභාගය එතරම් සුභ නොවූ හා කිත් යසස නැංවීමට සමත් නොවූ නිසාම, මධ්‍යහනයේ අත් වූ ප්‍රතිඵල එතරම් හොද මදිය. එය ඡන්ද ප්‍රතිඵලයකින් සාමූහිකව හා ඍජුවම ප්‍රකාශ කළ ජනතාව ඉන් පිටතදී ද තනිතනිව හා සාමූහිකව පෙන්නුම් කරමින් සිටියි. ජනතාව විසින් පමණක් නොව, ආණ්ඩුවේ මධ්‍යහන කාලය පක්ෂ හා සංවිධාන පවා ආණ්ඩුවට තරවටු කරමින් සිටින කාලයක් විය. ආණ්ඩුව කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන්නේ මෙවැනි තත්ත්වයකය. අලුත් කැබිනට් සංශෝධනයකට සර්ව දෝෂ නිවාරණය කළ නොහැකි වුවත්, එය පැරසිටමෝල්ට් පෙත්තක් පිරිටන් එකක් වාගේ ඕනෑම ව්‍යාධියකට තරමක විසදුමක් ලෙස සැලකිය හැකිය.

තම්බියා පැදුර එලූ හැටි අපි දන්නෙමු. නමස්කාරයටම දවස ගතයි කියා ව්‍යවහාරයක් ඇත. ඒ වාගේම වත්මන් ආණ්ඩුවේ කාලය ගත වෙමින් තිබෙන්නේ සැලසුම් කිරීමට, ඒවා වරින් වර පැමිණෙන එක එක්කෙනාගේ මත හා වුවමනාවන් අනුව සංශෝධනය කිරීමට සහ ආණ්ඩුව එකලාසයක් කරගැනීමට ආදී කාරණා වලටය.

ආණ්ඩුව දැන්වත් තමන්ගේ වේගය වැඩි කළ යුතුය. හැමෝටම වුවමනා දේ නොව ආණ්ඩුව ආණ්ඩුවට වුවමනා දේ කළ යුතුය. නිශ්චිත දෙයක් වෙනුවෙන් තමන් කරන්නේ අහවල් දෙය යැයි නිශ්චය කර ගැනීමෙන් පසු දෙයියන්නාන්සේටවත් ඒවා වෙනස් කිරීමට ඉඩ නොදිය යුතුය. සියලුදෙනා එකගකර ගනිමින්, සියලු දෙනාට සවන් දෙමින් හා සියල්ලන්ගේ අදහස් යෝජනා වලට අවස්ථාව දෙමින් කරුණු කාරණ ඉටු කිරීම ඉතා දියුණු ක්‍රමවේදයක් වුවත්, දැන් අප සිටින්නෙ එතැන නොව. තීන්දු තීරණ ගත යුතුය. ඒ ගන්නා තීරණ වල වගකීම භාර ගැනීමට තීරණය ගන්නාට හැකියාවක් තිබිය යුතුය. ඒ හැම තීන්දුවක් ගැනම යුක්තිසහගත සාධාරණීකරණයක් තිබිය යුතුය. නමුත්, දැන් සිදුවන්නේ ඒ හැම දෙයක්ම කාගේ හෝ ඇගේ ගසා බේරීමය. තීන්දු ගන්නේ කමිටුය. ඒවා ක්‍රියාත්මක කරන්නේ කමිටුය. අවසානයේ, ඒ තීන්දුවලට විරෝධතා පැමිණි විට විසදන්නේ ද කමිටු මගිනි. නමුත්, එකී නානාප්‍රකාර විද්වත් කමිටු විසින් කළ විද්වත් මැදිහත්වීම් ගැන දැන්වත් නිසි විගණනයක් අවශ්‍යය. එක්කෝ ඒ තෝරාගත් විද්වතුන් හරියන්නේ නැත. නැතිනම්, විද්වත් කමිටු කෙරුවාව හරියන්නේ නැත.

අදින් ඇරඹෙන්නේ ආණ්ඩුවේ එදා මෙදා තුර තීරණාත්මකම හා අභියෝගාත්මකම කාල පරිච්ඡේදයයි. එකට දීග කෑවද, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ප්‍රධාන මැතිවරණ තුනකට වෙන් වෙන්ව සූදානම් වන කාලයකි. ඊට අමතරව, ඉතිහාසයේ අන්කවරදාවත් නොතිබූ පරිදි ජයග්‍රාහී විභවයක් සහිත තුන්වන පක්ෂයක්ද විපක්ෂය තුළින් මතු වී හමාරය. ඒ ඒ ඡන්ද දිනීමට අවශ්‍ය ශක්තිය තම තමන් විසින් වෙන් වෙන්ව සකස් කර ගත යුතුය. ඒ අතරවාරයේම, තමන් සියලු දෙනා පාර්ශවකරුවන් වී ඇති ආණ්ඩුව ගොඩ දා ගත යුතුය. ඉලක්කම් සංඛ්‍යා දත්ත සමග සූක්ෂව සෙල්ලම් කළ යුතුය. ඒ සියල්ල මැද්දේ ජනතාවගේ අභිලාෂයන් ගැන කල්පනා කළ යුතුය. පූර්ව නිගමනය කළ හැකි දේ මෙන්ම ඉදිරි මාස කීපයේදී එන අනපේක්ෂිත දේ ගැන ද ආණ්ඩුවට කර ගැසීමට සිදු වේ. මේ සියල්ල කළ යුත්තේ විටෙක එකටත් විටෙක බෙදීත් ඉන්නා යටකී අලුත් නොවූ නමුත් අලුත් වූ ඇමතිවරු ප්‍රමුඛ පාලනය සමගය.

මා අවසනුව, දිවංගත ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් උපුටා දක්වනු කැමැත්තෙමි. මතු උපදින දරු පරපුරට වඩාත් සුන්දර ලෝකයක් නිර්මානය කිරීම වෙනුවෙන්, ඔබගේ අද දවස කැප කරන්න යැයි කලාම් කීවේය. එය මව් දෙමව්පියන් පුරවැසියන් ආදියට මෙන්ම, ආණ්ඩුවද අදිටන් කර ගත යුතුය.

Wednesday, April 18, 2018

ලෝකයා හිනස්සන විද්‍යාත්මක ක්‍රමය..

මෑතක සිට දේශපාලන කරළියේ ඇසෙන විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය පිළිබඳ කතා සහ පාසල් අවදියේ සිට අප උගත් දේ අතර ඇති පරස්පරතාව නිසා, විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය ප්‍රශ්නාර්ථයක් එක්කරමින් තිබේ. අනෙක් බොහෝ දේ වලදී මෙන්ම, ගැටළුව ඇත්තේ අප විද්‍යාව නොදන්නාකමේද නැතිනම් මේ වැඩකටයුතු විද්‍යාත්මකබවින් තොර වීමදැයි කල්පනා කළ විට අපට හිතහදාගන්නට ඇත්තේ, ඒ උත්තමයින් තරම් අපි විද්‍යාව ගැන දන්නේ අහවල් තරමක්ද යන ස්වයං විවේචනයකිනි. මේ විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය යළි වෙනත් වටයකින් කරළියට එන්නේ පැමිණීමට නියමිත බව කියැවෙන කැබිනට් සංශෝධනයක් සමගය.

විද්‍යාගාරයක රසායනික සංයෝගයක් හදනවා වාගේ හෝ සිවිල් ඉංජිනේරුකර්මයේදී කොන්ක්‍රීට් එකක් තනන්නට ගල්වැලි සිමෙන්ති මිශ්‍රණය කරන්නා වාගේ සූක්ෂමව හා අන්තිම තිතට දේශපාලනයේ විද්‍යාත්මක මෙහෙයුම් දියත් කළ නොහැකි බව සත්‍යයකි. එය අ පපිළිගත යුතුය. තෝරාගත් විෂයන් කීපයක් සම්බන්ධයෙන් කළපුරුද්ද හා පලපුරුද්ද ඇති දේශපාලනඥයින් කිහිප දෙනෙක් සොයාගැනීමට හැකිවනු ඇත. නමුත්, සමහර විෂයන් ගැන එවැනි විශේෂඥ අවබෝධයක් ඇති ජනතා නියෝජිතයින් නොසිටියත්, එය කරුණක් කරගෙන මගහැර යා නොහැකි බැවින් රාජ්‍යය තුළ ප්‍රතිපත්ති සැදීමට හා ඒවා මෙහෙයවීමට ආයතන දෙපාර්තමේන්තු තිබිය යුතුය. එහෙයින් ඒවාට අවස්ථානෝචිත පරිදි නායකත්වයක් තිබිය යුතුය. එසේම, විෂයයන් මහගොඩාක් සහ සීමිත නායකත්ව ඉඩක් පවතින විට සමහර අයට විෂයයන් දෙක තුනක් වුවද භාරදීමට සිදු වනු ඇත. නමුත්, එසේ වූ පමණින් සීනි වැලි සහ පාන්පිටි එකට දමා පදමට අනා කොන්ක්‍රීට් දමන සිරිතක් නැත.

එය එසේ වූයේද. ඔව්. එය එසේ සිදුවිය. එක සමාන හෝ අත්‍යාසන්න සබඳතාවක් දක්වන ඇතැම් විෂයන් සීසීකඩ කඩා වෙන්වෙන් පුද්ගලයින්ට බෙදාදී ඇත. කලක්, එකම වනාන්තරයේ ගස් එක තැනකත් සතුන් තව තැනකත් වනයේ ඇති ඇල දොළ ගංගා වැව් අමුණු වෙන තැනකත් වැට මායිම් තවත් තැනකත් තිබුණු බව අපි දැක්කෙමු. එපමණක් නොව, වෙන්වෙන්ව තැබිය යුතු හා කිසිසේත්ම නොපෑහෙන විෂයන් බොහෝ වෙහෙසවී එකට පාහා ඇති බවද දකින්නට ඇත. ඊට ඇති කදිම නිදසුන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයයි. ඉස්සර අපි දැක්කේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය එක වහළක් යට තිබූ බවයි. එක්කෝ උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු වැනි විෂයන් එකට තිබුණු බවයි. කුමක් හෝ පුද්ගල කාරණාවක් නිසා යටකී විෂයන් දෙක එක පුද්ගලයකු යටතට ගෙනාවේය. නමුත්, දැන් ඒ විෂයන් දෙක ගසට පොත්ත සේ එකට බැදී ඇත. එපමණක් නොව, ඇතැම් යල්පැනගිය විෂයන් පවා තවමත් විෂයන් ලෙස පවත්වාගෙන යන අප, බොහෝ නවීන විෂයන් වෙනුවෙන් තබා ඇති බර කිසිසේත්ම සාධාරණ නැත. නිදසුනක් ලෙස, මෙරට ත්‍රීරෝද රථ සහ ටැක්සි සේවා කොතෙකුත් තිබුණද ඒ වෙනුවෙන් විහිදුණු හා විධිමත් සංවිධානාත්මක නියාමන ආයතන පිහිටුවීමට අප තවමත් අසමත් වී ඇත. සිල්ලර කඬේ ගිනිපෙට්ටියට ඇති පාලනය, අධික්ෂණය හෝ නියාමනයවත් ඒවාට නැත.

මෙරට ඇමතිවරුන්ගේ විෂයන් බෙදීම පමණක් නොව, බොහෝ අංශයන්ගේ දේවල් තීන්දු වන්නේ පුද්ගලසාධක මතය. ඒ ඒ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදු කෙරෙන දේවල් ඒඒ පුද්ගලයා පවතින තාක්කල් වලංගු වී, ඒ පුද්ගලයින් අවලංගු වූ සැණින් ව්‍යාකූලභාවයට පත්වේ. ගැඹුරින් බලන්නේ නම් එදා මෙදා තුර මෙරට බොහෝ අණ පනත් ව්‍යවස්ථා බිහිවද්දී එහි ලියැවෙන වචන එසේ ලියා ඇත්තේ, එම ධුරය දැනට දරණ පුද්ගලයාගේ නම එහි ලිවීම සදාචාරයට එච්චරම නොගැලපෙන නිසා බව පෙණේ. ඉන්පසු, ඒවාට ගෙණෙන සංශෝධනද එසේය. ඉතාම කෙටි කලින් කලට අපට ඒවා සංශෝධනය කරගන්නට පැලැස්තර ගසන්නට සිදුවන්නේ ඒ නිසාය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙක එකට කියවන්නේ නම් මේ ගැන මූලික අදහසක් ගත හැකි වනු ඇත.

දැන් හෝ, කෝෂ්ඨාර්ථයෙන්ම විද්‍යාත්මක රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මුල්ගල් තැබීමට අවස්ථාවක් උදාවී ඇත. මේ ආණ්ඩුවට ඇති අවසන් අවස්ථාව එයයි. කළ යුතු ඇත්තේ, පුද්ගලයින් තෝරා ඔවුනොවුන් වෙත විෂයන් එල්ලීම වෙනුවට, විද්‍යාත්මකභාවයෙන් යුතුව විෂයන් තෝරා ඒඒ විෂයට ගැලපෙන පුද්ගලයින් තෝරා නායකත්වය භාර දීමෙන්ය. එය එසේ නොවන්නට, රාජ්‍ය පාලනයේ විද්‍යාත්මක ක්‍රමවේදය තවදුරටත් ලෝකයා හිනස්සන විහිළුවක් වීම වලක්වාලිය නොහැකි වනු ඇත.

Wednesday, April 11, 2018

මයික් දැක්කාම කෙළ බේරෙන තත්ත්වයෙන් දේශපාලනය මුදවා ගත යුතුය.





ආණ්ඩු පෙරළිල්ල, ආණ්ඩු හැදිල්ල ගැන තියෙන උනන්දුව ඉතාම ප්‍රශංසනීයය. එය හරියටම හයේ පන්තියට ඇතුළත් කළ දරුවෙක් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්තර පුහුණුවෙනවා හා සමානය. බැලූ බැල්මට පට්ට වැඩක් වුණත්, එය තැනට සහ අවස්ථාවට සුදුසු වැඩක්ද යන්න ප්‍රශ්නයකි. හයේ පංතියේ දරුවා සූදානම් විය යුත්තේ හයේ පංතියේ වාර විභාගයටය. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පුහුණුවීමට සුදුසු කාලයේ දී ඊට සූදානම් විය යුතුය.ලංකාවේ දේශපාලනයට වී ඇත්තේද හයේ පංතියේදී සාමාන්‍ය පෙළ පුණරීක්ෂණ පංති යන ළමයාට වෙච්ච දේමය.

අපේ මතකයෙන් ඔබ්බට කාලයේ සිට, ටීවී රේඩියෝ පත්තර හැම එකකම මූලිකත්වය හිමි වූයේ බල දේශපාලනයේ ආතල් වෙනුවෙනි. ඉදහිට තැනින් තැන එකක් දෙකක් ඊට වියුක්ත දේ වෙනුවෙන් මූලිකත්වයක් හිමි වුවත්, ඒවා හරියට මහගෙදර සහ තානායම වාගේය. මිනිස්සු ඉදහිට තානායම් වල ගත කළත් ජීවත් වෙන්නේ මහගෙදරය. එය එසේ වන්නේ කෙසේදැයි අප සෙවිය යුතුය. මීට ප්‍රධානතම හේතුව නම්, කෑලි ගණනට නිව්ස් ගහන මීඩියා ගේම් එකට ලංකාවේ දේශපාලනය ගොදුරු වීමය. එය සම්පූර්ණයෙන්ම අහුවුණු තත්ත්වයකි. සමහර විට, අපි අහුවුණා නෙවෙයි අපි විසින්ම ඒවා පාවිච්චි කළා යැයි දේශපාලඥයින්ට හිතෙනවා ඇත.

පක්ෂයේ මධ්‍යම කාරක සභා, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් වල සිට කොටහළු ගෙවල් මළගෙවල් දක්වා දේශපාලනඥයින් සහභාගී වන හැම තැනකම පාහේ මයික් කීපයක් කිහිලි ගන්නාගත් මාධ්‍යවේදීන් සිටියි. ඔවුන් මයික් එක දිග්කර මොකක් හෝ ප්‍රශ්නයක් අසයි. දේශපාලනඥයාද, ටීවි එකේ පත්තරේ මූණත්තහඩුව දමා ගැනීමට ලද අග්‍රගන්‍ය අවස්ථාවක් යැයි සිතා ලද පින් මහිමයෙන් ප්‍රයෝජන ගෙන මොකක් හෝ කතාවක් දොඩවයි. ඒක ටීවී එකේ පත්තරේ ප්‍රසිද්ධ වීමෙන් පසු ප්‍රතිඋත්තර බදියි. ආයේ ආයේ දෙපැත්තට කියවා ගනියි. කවුරුන් හෝ කෙනෙක් මලගෙදර අවසන් වී පාඩුවේ ආපසු නොයා, මයික් ඉස්සරහා කයිවාරු ගසන්නට යෑමෙන් අවසානයේ එය ජාතික දේශපාලන මාතෘකාවක් බවට වෙයි. අනෙක් සියලු දෙනාද එළියට දුවන මෙරුවන් වාගේ ඒඒ පස්සෙන් දුවයි.

කෙසේ නමුත්, මේවා පත්තු කර ගැනීමෙන් රටට මොන නස්පැත්තියක් වුණත් මේවායෙන් ප්‍රතිලාභ ලබන පාර්ශවයක් ඇත. ඒ මාධ්‍යයි. මිනිස්සු දේශාපාලන ඕපදූප අසන්නට කැමතිය. කැමති දේ ප්‍රචාරය කිරීමෙන් ඒ ආයතන වෙත ජනතා ආකර්ශනයක් ලැබේ. ඒ ඕපදූප හටගන්නේ ගැටීමක ප්‍රතිඵලයක් ලෙසනම් ගැටුම් ගැන කතා අසන්නට මිනිසුන් තුළ ඇති ස්වභාවික ප්‍රබෝධය තවදුරටත් තමන්ට වාසියක් කරගත හැක. වැඩිවැඩියෙන් ජනතාව අතර ආයතන ප්‍රසිද්ධ වන විට වැඩිවැඩියෙන් ආදායම් ලැබේ. වැඩිවැඩියෙන් ආදායම් ලැබෙන විට වැඩි වැඩියෙන් ලැභය. ලාභය වැඩිවැඩියෙන් ලැබෙන විට ඉන් කොටසක් තමන්ගේ ආයතන වල වැඩ කරන අයට බෙදා දිය හැකිය. වැඩිවැඩියෙන් ලාභය තමන්ටද හිමිවන විට, ඒවායේ සේවකයින්ද වැඩිවැඩියෙන් තමන්ට ලාභ ලැබිය හැකි ක්‍රමය ගැන සොයා බලයි. මේ ලාභ ලැබෙන්නේ අහවල් ක්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට හටගත් චක්‍රයේ කොටසක් ලෙස බව වටහාගත් පසු මාධ්‍ය වෘත්තිකයින්ද වැඩිවැඩියෙන් එවැනි අවස්ථාවන් නිර්මාණය කරයි. මේ චක්‍රය සසර චක්‍රය වාගේ නිමක් නැතිව කැරකෙයි. මේවාට මැදිවී කොටස්කාරයෙක් වූ පසු ඒ චක්‍රයෙන් ගැලවිය නොහැක.

මේ තත්ත්වය, ටීවි එකේ පත්තරේ මූණ පෙන්නා ගන්නට ආශාව ඇති හා සර්ගේ වොයිස්කට් එකක් නිව්ස් එකේ දැක්කා කියා කී විට ආහ්ලාදයක් ලබන දේශපාලනඥයින් වැඩිවැඩියෙන් පහළ වීමට සමානුපාතික වේ. අවම වශයෙන් පසුගිය වසර දහයක පමණ කාලයේ මේ වොයිස්කට් දේශපාලනය පිළිබද නිවැරදි ප්‍රස්ථාරයක් ඇදගන්න සමත් ජගතෙක් වීනම්, වොයිස්කට් දේශපාලනයේ ජනප්‍රියත්වය වැඩිවීම හා අභ්‍යන්තර දේශපාලනයේ අර්බුදමය තත්ත්වයන්ගේ ඉහළ යාමට දක්වන සමානත්වය හොදින් වැටහෙණු ඇත. ඉස්සර මාධ්‍යයට යමක් කියන්නට වුවමනා වූ විට සංවිධානාත්මක හා විධිමත් මාධ්‍ය සාකච්ඡා පවත්වයි. එක්කෝ උත්සවයක පැවැත්වූ කතාවක් මාධ්‍ය උපුටා දක්වයි. දැන් එවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේම නැති තරම්ය.

අප කුමක් කරමුද. මුලින්ම කළ යුත්තේ දේශපාලනඥයින්ට ටීවී පත්තර වලට මූණදමාගැනීම හා වොයිස්කට් දීම සම්බන්ධයෙන් ඇති හීනමානය තුරන් කළ යුතුය. ඒ වාගේම, අනෙක් හැම කෙනෙකුටම වාගේ දේශපාලනඥයින්ටද කියන කරන ගැන විනයක් අවශ්‍යය. මයික් එකක් දුටු පමණින් දුවගෙන ගොස් රෝසමලේ නටුවේ කටූ සිංදුව කීමට කුඩා දරුවන්ට ඇති ආශාවෙන් දේශපාලනඥයින් ගලවා ගත යුතුය. එසේ නොවන්නට, මේ රටේ ජනතාවට දේශපාලනඥයින් විසින් ලබාදෙන නොනිමි ආතල් නොනවතිනු ඇත. දේශපාලනඥයින් අපට ආතල් දුන්නාට කමක් නැත. නමුත්, අර්බුදය නම් ඔවුන්ට අදාල කාර්යය එය නොවීමයි.