Tuesday, September 26, 2017

බස් කැප්ටන්ලා ත‍‍්‍රීවීල් මාෂල්ලා එක්ක පියාඹන්න එන්න..


ගිය සුමානේ පත්තරේ ප‍‍්‍රවෘත්තියක් තිබ්බා බස් ඩයිවර්ලාගේ නම ‘බස් කපිතන්’ කියලා වෙනස් කරන්න යෝජනාවක් ගේන්න යනවා කියලා. මේ යෝජනාව ගෙනත් තියෙන්නේ පියුමාල් (Piyumal Herath) කියලා පළාත් මන්ත‍‍්‍රී කෙනෙක්. මේක ෆෙස්බුක් දාපු සැණින් පියුමාල්ටයි, ඔක්කෝම මන්ත‍‍්‍රීලාටයි, ඩයිවර්ලාටයි දිගට හරහට නෙළන්න පටන් ගත්තා. මේ අතරේ තිබුණු ප‍‍්‍රධානම තර්කය තමයි, බුලත් විට කාගෙන, මාවා පුවක් හපාගෙන, ඇගපුරා දාඩිය දාගෙන, නොමනා බැණුම් බැණගෙන හෝන් උඩ නැගලා, ඇ`ගට කපලා, ටර්න් කපාගෙන මරාගෙන මැරෙන රේස් දුවාගෙන තක්කඩි තාලෙට බස් එලවන කණ්ඩායමකට නැව්වල, ප්ලේන්වල වැදගත්ම රස්සාවක් කරන පිරිසකගේ නමක් යෙදීම එහෙම පිටින්ම ගොන්පාර්ට් එකක් කියන එක. ඇත්තටම බැලූ බැල්මටම එහෙම හිතෙන එකේ කිසි අවුලක් නෑ. එහෙම පසුබිමක බස් ඩ‍්‍රයිවර්ට බස්කාරයා, ඩ‍‍්‍රැවා වගේ එකක් නැතුව කැප්ටන් වගේ පොෂ් ආමන්ත‍‍්‍රණයක් දෙන්න යෝජනා කිරීම තියා කල්පනා කිරීම පවා හෙනම හෙන ගොන් පාර්ට් එකක් වගේ කියලා දැනෙන හැ`ගීම නවත්තන්න බෑ. කොටින්ම කියනවා නම්, දැක්ක ගමන් දෑස පළාගෙන ක`දුළැලි එන එක සාධාරණයි.

අපි හැමදාම ඉන්න ස්ථාවරය තමයි අපි මාරම හො`දයි අනික් අය තමයි පට්ටම චාටර් කියන තැන. බස්කාරයා, පොලිස්කාරයා, මාළුකාරයා, මාධ්‍යකාරයා ආදියේ සිට ඇමතිලා, අගමැතිලා, ජනාධිපතිලා දක්වා හැමෝම ගැන අපේ පොදු අදහස එහෙම එකක්. ‘‘ඒ අතින් අපි කොච්චර හො`දයිද බං’ කියලා කියන්න කට ඉස්සර වෙන තරම් වේගෙන් කිසිම වෙලාවක අපි ලෑස්ති නෑ., ‘ඒ අතින් අපි කොච්චර චාටර්ද බං’ කියලා අහලා ස්වයං විවේචනේකට යන්න. ඉතිං.. මේ බස් ඩයිවර් කපිතන් වෙන්න යන වෙලාවේත් අපිට දැනේනේ., ‘අපි මාර හො`ද වුණු පසුබිමක අපිට වඩා පට්ට චාටර් තත්ත්වයක ඉන්න බස්කාරයෝ අමතන්න කැප්ටන් වගේ පොෂ් නමක් යෝජනා කරන්න මූට පිස්සුද’ වගේ ප‍‍්‍රශ්නයක්.

බස් ඩ‍‍්‍රයිවර්ලා හරි ත‍‍්‍රීවීල් ඩ‍‍්‍රයිවර්ලා හරි තනියම රවුම් කරලා ගත්තහම අවුල් ගොඩාක් තියන බව ඇත්ත. බස් නම් විස්ස විසිඑක, ත‍‍්‍රීවීල් නම් පහළව දාසය වගේ වයස සම්පූර්ණ වුණු ගමන් වාහනේ අතට ගත්තට මේ බොහෝ දෙනෙකුට රියදුරු වෘත්තීයභාවයේ තියන වෘත්තීය ගුණාංගයන් ගැන හැ`ගීමක් නෑ. (ඒක ඉතිං කාර් බස් කියලා වෙනසකුත් නෑ.) ඇත්තටම ඓහම ආචාර ධර්මයක්, විනයක් ගුණයක් තියන බවවත් ගොඩක් අය දන්නේත් නෑ. කතා කරන විදිහේ, අ`දින පළ`දින විදිහේ හරි හිතන පතන විදිහේ හරි අවුලක් එක්ක එතනින් එහාට ඊට ගැටගැහුණු තවත් ව්‍යාකූලතා පේළියක් ගොඩනැගෙන්නේ මේ නොදන්නාකමේ සහ නොසැලකිල්ලේ ප‍‍්‍රතිඵලයක් හැටියට. ඉතිං මේ නොදන්නාකමට සහ නොසැලකිල්ලට අවසාන වශයෙන් වගකීම බාරගන්න අවශ්‍යය ඒ ඩ‍‍්‍රයිවර් හෝ කොන්දොස්තරද. මෙහෙම ඇ`දපං මෙහෙම කතාකරපං මෙහෙම වැඩ කරපං කියලා කියලා දෙන, උගන්නන, බලකරන වැඩපිළිවලක් තියෙන්න ඹ්නේ. ඒ පිළිවෙල අනුගමනය කරන්නේ නැත්නම් ඊට උත්තරයක් හැටියට කරන්න පුළුවන් දෙයක් ගැන වැඩපිළිවලක් තියෙන්න ඹ්නේ.

ඉතිං කවුද මේවා කරන්න ඹ්නේ. ඔව් බලධාරීන් සහ දේශපාලනඥයෝ. ඉතිං ඒකනේ මේ පියුමාල් කරන්න හදන්නේ. ම`ගුල් ගෙදරක යන්න ඇ`දුමක් ඇ`දගෙන වරෙං කියලා යාළුවෙකුට කීවහම එක එක්්කෙනා අ`දින්නේ එක එක ඒවා. තම තම නැණ පමණ. තම තම රිසි පමණ. හැබැයි ඉන්විටේෂන් එකේ ප‍‍්‍රින්ට් කරලා යැව්වොත් අහවල් රේන්ජ් එකේ ඇ`දුමක් කියලා, එතකොට අ`දින්නේ ඒ සීමාවේ ඒවා පමණයි. දැන් අපි මේ ඩ‍්‍රයිවර්ලාට කොන්දොස්තරලාට පළුයන්න බණින්නේ ඊට අවශ්‍ය වටපිටාව සර්වසම්පූර්ණව සකස් නොකරපු පසුබිමක ඉ`දලා. මම කියන්නේ අපිට එහෙම අයිතියක් නෑ.

ඒත් මෙහෙමයි. දැන් ඉතිං ඔය නම වෙනස් කළාම හරිද. වල් අලි වන අලි කළා වගේ ඩ‍්‍රයිවර් කැප්ටන් කරලා විතරක් මේ අවුල ලෙහන්න බෑ. ඒ වෙනුවෙන් අවශ්‍ය පෙර සහ පසු තත්ත්වයන් තියෙන්න ඹ්නේ. කීයටවත් එහෙම වෙන්නේ නෑ. ආසනෙන් මන්ත‍‍්‍රී කෙනෙක් පත්වුණාම ඒ මන්ත‍‍්‍රී ඒ ආසනේ තියන මොකක් හරි මහා විද්‍යාලයක් මධ්‍ය මහා විද්‍යාලයක් හැටියට නම් කරන රැුල්ලක් කාලයක් තිබ්බා. ඇත්තටම ඒ මහා විද්‍යාලේ මධ්‍ය මහා විද්‍යාල කරන්න වියදම් වුණේ උත්සවේට යන වියදමයි බෝර්ඞ් එක මාරු කරන්න යන වියදමයි විතරයි. ඊට පස්සේ කන්නංගර සෙන්ට‍‍්‍රල් ටික වෙනමයි බෝර්ඞ් සෙන්ට‍‍්‍රල් වෙනමයි ගැටි හදාගත්තා. ජාතික පාසල්, නවෝද්‍යා පාසල් වගේ ඒවාත් අවසානයේ පෙරට වඩා පසුවට ඉතිරි කළේ නම් වල වෙනස් වීම විතරයි. මදය නොහදා ලෑලි මාරු කළොත් බස් කපිතන්ලාට වෙන්නේත් ඹ්කම තමයි.

හරි. එච්චරද. දැන් බලමුකෝ අපි ගැන. (කල්පනා කරනකොට ලැජ්ජා හිතෙනම කෑල්ල ඒක.)

අපි නගිනවා බස් එකට. පොල්ල අල්ලගෙන දොරකඩ ක`දවුරු බැ`ද ගන්නවා. තව මිනිස්සු නගිනවා. එයාලට යන්න ඉඩ නෑ. කොන්දොස්තර කියනවා ඉස්සරහට යන්න කියලා. අපි යන්නෑ. කොන්දා තියා අම්මා තාත්තා වුණත් දේවල් ආදරෙන් ගෞරවයෙන් කියන සීමාවක් තියනවා. ඉතිං ඊට පස්සේ කොන්දා අපිට බණිනවා. ඊට පස්සේ අපි කොන්දාට බණිනවා. අවසානේ අපේ නිගමනේ තමයි කොන්දා වැරදියි මිනිස්සුන්ට කතා කරන්න දන්නනැති නූගත් ගොබ්බයෙක් කියන එක... නගිනවාත ත‍‍්‍රීවීල් එකකට. පටන්ගන්න කළිං ගණන් අහන්නෑ. මීටර්ද බලන්නෑ. ගිහිං බහිනවා. අපි ගණන් අහනවා. ඌ උගේ ගාණ කියනවා. ඉතිං රණ්ඩු වෙනවා. අන්තිමේදී අපේ විගණනයේ හැටියට ත‍‍්‍රීවීල් කාරයා වැරදියි. මිනිස්සුන්ට කතා කරන්න දන්නනැති නූගත් ගොබ්බයෙක් කියලා නිගමනය කරනවා. තව තව. ඔව්. දිරන නොදිරන ගලන නොගලන වටින නොවටින ඔක්කෝම කුණු ටික දානවා එක මල්ලකට. එල්ලනවා ඇණයක් ගහලා තාප්පේ. එනවා කුණාලා. වෙන් කරලා නෑ කියලා අරගන්නෑ. ඉතිං අපි බණිනවා කුණාලට. කුණාලා සද්දේ දානවා. ඉතිං රණ්ඩු වෙනවා. අන්තිමේදී කුණාලා එක්ක පටලාගන්නවා. අවසානේ දී අපේ විග‍‍්‍රහයේ හැටියට කුණාලා වැරදියි. මිනිස්සුන්ට කතා කරන්න දන්නැති නූගත් ගොබ්බයෝ කියලා නිගමනය කරනවා. බස් එකට නැ`ගලා ඉ`දගත්තගමං ෆෝන් එක ගන්නවා අතට. ඔබ ඔබ ඉන්නවා. හෝල්ට් එක ල`ගට ආපු ගමං නැගිටලා බෙල් කරලා ‘බහිනවා බහිනවා’ කීයලා කෑ ගගහා නටනවා. බස් එක හෝල්ට් එක පහු කරලා ගිහිං නවත්තනවා. ඉතිං බණිනවා ඩ‍‍්‍රයිවර්ට. යනවා බැංකුවකට.... නෑ නෑ දැන් ඇති. කොහේ ගියත් වැඩිහරීයක් චාටර් කරගන්න පටන්ගන්නේ අපිම තමයි. ඒත් අවසානේ වරද කාගේ හෝ ඇෙ`ග් හේත්තු කරනවා. තේරෙනවනේ.

ඉතිං මෙහෙම තත්ත්වයක් තියනකොට කවුරු හරි ඇවිත් කියනවා කුණාලට වැදගත් ඇ`දුමක් අන්`දන්න ඹ්න, ඩ‍‍්‍රයිවර්ලාගේ නම වෙනස් කරන්න ඹ්නේ, කොන්දාට යුනිෆෝම් එකක් දෙන්න ඹ්නේ කියලා. ඊට පස්සේ අන්න අර අයත් එක්ක එරියස් තියන අපි එයාලටයි යෝජනාව ගෙනාපු හාදයාටයි දෙක එකට තියලා පරම්පරානුස්සතිය වඩනවා.

‘ඉතිං.’

‘ඉතිං කියන්නේ. පිටුවේ ඉඩ ඉවරයි. මේ ගැන ලියන්න තියන ඉතිරි ටික ඔයාලා ලියලා මටත් එවන්න.’

No comments: