Tuesday, November 7, 2017

කට්ටඩියන්ට ගිය රටක්


විශ්වාසනයන් ගැන අප‍්‍රමාණව විශ්වාස කරන සමාජයකට ඉතාම ඉක්මනින් දේවල් ඉන්දන්න ලේසියි. අපි රටක් හැටියටත් සංස්කෘතියක් හැටියටත් විශ්වාසයන් ගැන අප‍්‍රමාණව විශ්වාස කරන රටක්. ඒ නිසාම, ඕනම දේක සයන්ටිෆික් වර්ෂන් එකට කළිං අපි වැළඳ ගන්නේ අනිත් එක. මේ රටේ ඉන්න හූනියං හුලවාලි ජීවාන් මැතිරිලි කට්ටඩි හා විජ්ජාකාරයින්ගේ ප‍්‍රමාණය දැක්කහාම අපි හයියෙන් අල්ලගන්නේ මොකද්ද කියලා හොඳටම පේනවා. හැබැයි, අපේ රට විද්‍යාත්මකයි කියන බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දුන්නු රටක්. එහෙම රටක, බමුණන්ගේ කට්ටඩියන්ගේ ජිමික්, හරයාත්මක දහමට වඩා බැබලෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න අමාරුයි. කඩදාසියේ තියන අකුරු සහ කටපාඩම් දහම භාවිතාවත් එක්ක තරාදියක දෙපැත්තට ගත්තහම ලොකු පරතරයක්. ‘බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානයක් දුන්නැත්තං මරාගෙන මැරෙනවා’ කියන පරස්පර හැසිරීමේ ඉඳලාම, අපි ඔය කියන බුද්ධාගම පාවිච්චි කරන්නේ ආවරණයක් සහ ආභරණයක් හැටියට. නැත්නම් විලි වහගන්න.
ඕනම ලොක්කෙකුගේ අතක් දිහාට කිට්ටු කරලා බලන්න. ඒ බොහෝ දෙනෙකුගේ අතේ මගුල් මුද්දටයි ආභරණ වලටයි අමතරව නානාප‍්‍රකාර ගල්, හැඩ, රූප දාපු මුදු. එකක් හෝ ඊට වඩා. ටයි එක හරි නැෂනල් එකේ උඩ බොත්තම හරි ගලවලා බැලූවොත් බෙල්ලේ තියන සුර ටික පේනවා. එහෙම නැත්නම් ඉණේ. ඕනම ජිමික් විජ්ජාවක් සිද්ධ වෙන තැනක ඉස්සරහින්ම තියෙන්නේ දාහේ පන්දාහේ නෝට්ටු. ඒ තැන්වල තියෙන වාහන බොහෝමයක් මිලියන් වලින් ගණන් කියන ඒවා. ගේදොර ඇතුළ ගත්තත්, කාර්යාල ගත්තත්, යන එන ඉන්න හිටින හැම තැනම අඩු වැඩි වශයෙන් මේවාගේ කෑලි හොල්මන් කරනවා. ඒත්, කතාකරනකොට මාරම විද්‍යාත්මක මාරම හේතුඵලවාදී රැුඩිකල්.
මෑණිලා-සාමිලා, දිව්‍ය පැන්, තවුතිසා පිරිත් නූල්, මැජික් බෝල වගේ ජිමික් ගැන කියනකොට ලංකාවේ ප‍්‍රසිද්ධම ක්ෂේත‍්‍රය එක තමයි දේශපාලනේ. ඊට පස්සේ ව්‍යාපාර, විභාග, අධ්‍යාපන වගේ දේවල්. එතන ඉඳලා හැම තැනකටම වගේ මේක ඉම්ප්ලිමන්ට් වෙනවා. ඒත්, හිටපු රාජ්‍ය නායකයෙක්ගේ පරාජයත් එක්ක මේ කට්ටඩි පොලිටික්ස් තරමක් දුරට කොලොප්පමක් වුණා. ප‍්‍රතික්ෂේප වුණා. ඒ විතරක් නෙවෙයි, වේදිකාවල, මාධ්‍යවල සැරට පට්ට ගැහුවා. කුඩු වෙන්න ගැහුවා. සුන්නද්ධූලි කරලා දැම්මා. ඉතිං ඊට පස්සේ. ඔව්.. ඒක ජෝර්ක් කරලා බලයට ආපු සමහර ඇමතිවරු සති ගණන් අමාත්‍යාංශේ වැඩ භාරගත්තේ නෑ. ඇයි ඒ කියලා හොයනකොට නැකැත් නෑතිලූ. ඒ ඒ දවස්වල. දැන් වෙනකොට තත්ත්වේ ඊටත් වෙනස්. දැන් ඒ සමහරු පාර්ලිමේන්තු රැුස්වීමට දෙපාරක් එනකොට, තුන්පාරක් තිරුපති යනවා. නැත්නම් සාමිලාගේ මැණීලාගේ ආශ‍්‍රමවල. බෝලේ බලල ගහන එක පැත්තක තියලා බෙල්ලේ ගෙජ්ජියක් එල්ලාගෙන සෙන්චරියක් දාන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. සෙන්චරි-හැටි‍්‍රක් දානකොට මෑණිගේ බැට් එක සාමිගේ බෝලේ ගැන ඇඞ් දාන කවුරුත් දිගට හරහට ලැජ්ජා නහර පුපුරන්න පරදිනකොට නෑ. ටෙස්ට් රන් දාහක් විතර දුවලා එවන වාහනේ ආරක්ෂාවට දෙහි මිරිස් එල්ලනවා. එහෙම නොකළොත් කොයි වෙලාවේ කන්ඩෙම් වෙයිද දන්නෑ කියලා හිතේ බයක් හදනවා. ඒ අවිශ්වාසය හදනවා. ඒක තමයි මේ කර්මාන්තයේ හැටි.
ඔය කට්ටඩි ජිමික් වැඩියෙන්ම පැළවෙලා තියෙන්නේ ග‍්‍රාමීයව. ඇසතුගස් අඹගස් දෙල්ගස් නාගස් නුගගස් සෙවණවල් වල. ඒවගේ තැන් ඔය වැඩ වලට කියාපු නිජබිම්. සරුවටම දුවන පොඩි පොඩි තැන් වලට අමතරව, මාස් ලෙවල් එකෙන් ගිය මීවැල්ලෑව, දොළුකන්ද වගේ ප්‍රොජෙක්ට් අපිට මුණ ගැහුණේ ගමෙන්. අපි කොහොමත් ආසයි ටිකක් දුර ගිහිං, අලි ගහන කැලෑ මැද්දෙන් ?ක පාන්දරක ගිහිං එන්න. කොහොම වුණත්, ඒවාගෙන් වැඩිම ප‍්‍රතිලාභ භුක්ති විඳින්නේ ගම්වල ඉඳලා පසුකාලීනව නගර වලට ආපු කුලකයට අයත් සංක්‍‍්‍රමණිකයෝ. (ගම ඇතුළේ ඉතුරු වෙච්ච මිනිස්සු ටික, මේ ජිමික් වලට අහුවෙනවා අඩුයි. අගහරුවාදටයි සෙනසුරාදටයි මායං වෙන සාමිලා-මෑණිලා ඉතිරි පස් දවසේ ගහන ගේම් ගැන ඔවුන් දන්නවා ඇති. ඒකේ තියන ඉන්ටර්නල් පොලිටික්ස් ගැන ඔවුන් දන්නවා ඇති. ඒ නිසා වෙන්නැති.)
ස්වාමි විවේකානන්ද කියනවා වගේ, දෙවියන් බඹුන් මෑණියන් සාමියන් දැඩිව විශ්වාස කරනවා වගේ පේන්න තියන ගොඩක් අයගේ යටින් තියන හොඳම ගතිය තමයි, ඔය කාටත් වඩා තමන් ගැන ආත්මවිශ්වාසයක් තියනවා. ආත්මශක්තියක් තියනවා. තමන්ගේ කැපෑසිටි එක ගැන තක්සේරුවක් තියනවා. සුරයක් මුද්දක් ගෙඡ්ජියක් එල්ලාගන්නේ වැඩි හොඳට. ඊටත් වඩා රැුල්ලට. ක්ලාස් එකට. අරහේ ගිහිං නැත්තං, මේක කරලා නැත්තං, එයා හම්බෙලා නැත්තං තමන්ගේ තත්ත්වෙට මදි පුංචිකමක් වගේ මතයක් තියන තමන් ජීවත්වෙන සමාජයේ තියන නිසා ම ඒවා කරනවා. ඉතිං, අපි මොකද කරන්නේ. හැමදාම හැමතැනම වගේ කරන්නේ ඇතුළේ තියන ගැම්ම වෙනුවට එළියේ තියන කෑල්ල ගන්න එක. මදේ වීසි කරලා ලෙල්ල ගිලින එක කොහොමත් අපේ අනන්‍යතාවක්නේ.
දැන් ඕකේ අනික් පැත්ත ගන්නකෝ. ඔය මෑණිලා-සාමිලා ලියලා දුන්නු වෙලාවල් වලට උප්පරවැට්ටි වලට දේවල් පටන් අරගෙන නන්නත්තාර වෙලා හැඳිගෑවිලාම ගිය උදවිය කොහෙද. ඔව්. ඒවා ගැන කාගේවත් සද්ද නෑ. ඒවා ගැන විගනණයක් නෑ. ලෝකේ රවුම් කියන විද්‍යාවට වඩා තැටියක් කියන මිත්‍යාවට තිබුණේ ඉහළ පිළිගැනීමක්. සියවස් ගණනාවක් තිස්සේ ඒක රජකළා. ඒ නිසාම අභියෝග කරන්න ගිය දහස් ගණනක් මැරුම් කෑවා. සමහරු විද්‍යාව ගැන දැක්කාත් ඒ ගැන සද්ද නැතුව හිටියා. ඇති හැකි බල පුළුවන්කාර උදවිය ඒ පැත්තට හුරේ දාන නිසාම අහිංසක අසරණ මිනිස්සුත් ඒකටම සෙට් වුණා. වැඬේ කරට ගත්තා. ජීවත් වෙන දශක හත අටේ දී, වැල යන අතට මැස්ස ගහගෙන ජීවත් වෙමුයි කියලා කල්පනා කළා. එක පැත්තකින් ඒකේ වරදක් කියන්නත් බෑ. අදත් සිද්ධ වෙලා තියෙන්නේ ඒකම තමයි.
නැකත් තියා, ගේ හරියේ ඔරලෝසුවක්වත් නැතුව නිරුවත් දෙපයින් අණ්ඩ දාපු ඇඳුම් ඇඳලා ඉපණැලි කඳුරු මැද්දෙන් පැණලා ගිහිං ශිෂ්‍යත්වේ ලියලා, අයියා අක්කා ලියපු පොතේ ඉතුරු කොළ ටිකේ නෝට් ලියලා සාමාන්‍යපෙළ ගොඩ දාලා, පන්සලේ පොත්ගුලේ පුස්තකාලේ පොත් පෙරළලා ඒලේවල් ගොඩදාලා ඒ විදිහටම මහපොළෙන් කාලා ඩිග‍්‍රිය ගොඩදාලා ටික ටික චරිත වුණා. එහෙම නැත්නම්, සත පණහක් රුපියලක් මිටමොලවාගෙන ඇවිත් නාටාමි ජොබ් එකේ ඉඳං හැම චාටර් එකක්ම කාලා ටිකටික දියුණු වෙලා චරිතයක් වෙනවා. ඊට පස්සේ දැන්. ඔව්. ගෙදරින් එළියට බහින්නෙත් මෑණිගේ-සාමිගේ කඩදාසියට ඔරලෝසුව මැච් කරලා. මිනිස්සු දේවල් එකතු කරගන්නකොට, ධනය රැුස් කරගන්නකොට, ඉගෙනගන ටිකටික උඩට යනකොට මේ වගේ දේවල් ගැන තියන උනන්දුව ඊට අනුලෝම සමානුපාතිකව වැඩි වෙන බව පේන්න තියනවා. ඇත්තම කතාව නම්, පියවරෙන් පියවර උඩට යනකොට ඒ ඒ පියවරට සමපාත මෑණිලා සාමිලා අපිව හොයාගන එනවා. ඒක හරියට, ද`ඩිප`ඩි ගහලා නැගිටින කාලේ නොමැරී කාලා ඉන්න බත් එකක් ගන්න රුපියල් සීයක් ඉල්ලාගන්න මිනිහෙක් නැති වුණාට, ටිකක් ලොකු වුණාම ලයිෆ් ඉන්ෂූරන්ස් කාරයෝ කේක් බිස්කට් අරගෙන පස්සෙන් එනවා වගේමයි. ඊට පස්සේ එයාලා අපි ඒවාට ඇබ්බැහි කරවනවා.
~ භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: