Thursday, November 16, 2017

කරෝල පරිප්පු අයවැය


අයවැය කියෙව්වා. හැට නව අවුරුද්දම වගේ අපි මේ සැරෙත් බලාගෙන හිටියේ මොනවද අඩුවෙන්නේ මොනවද වැඩිවෙන්නේ කියලා. ඒ කියන්නේ, අපිට වැඩක් නෑ අනිත් ඒවා මොනවා කොහොම වුණත්. අඩුවෙන්නේ මොනවද වැඩිවෙන්නේ මොනවද කියලා ලිස්ට් එක කියවලා, ‘මරු අයවැයක්’ ද ‘චාටර් අයවැයක්’ ද කියලා පොදු හෙඩිමක් දෙනවා.ඓතිහාසිකවම අපේ රටේ අයවැය කියන ලියවිල්ල සීනිබෝලයක් රුපියලකින් අඩු කරනවා, හාල්මැස්සෙක් සත පහකින් අඩු කරනවා, පරිප්පු සේරුවක් නිකං දෙනවා වගේ කෑලි වලින් පිරුණු එකක් වෙන්නේ ඒ නිසා. ඊට පස්සේ මාසයක් හමාරක් ගිහාම ආයෙත් ‘අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල සංශෝධනය කරනවා’ වගේ ටෙක්නිකල් වචනයක් දාලා අඩු කරපු එක අලාභ හිලව්වටත් එක්ක වැඩි කරලා දානවා. මේ ජනතා අභිලාෂය සහ ජනතා මංමුලාව ලංකාවේ දේශපාලනඥයෝ තක්කෙටම කියවලා තේරුම් අරගන ඉන්නේ. ඒ නිසාමයි, රට රටක් හැටියට ඉස්සරහට යන ‘ඩූ ඕ ඩයි’ දාර්ශනික, විප්ලවීය, රුඩිකල් තීන්දු ගන්න බය. එහෙම කරන්න පට්ට උවමනාවක් තිබුණත්, මේ වගේ ජනතාවක් ඉස්සරහා ඒ වගේ සෙල්ලම් දාලා ඊළඟ ඡුන්දේ පරදිනවා වගේ රිස්ක් එකක් ඔවුන් ගන්නේ නෑ. ඉතිං, අයවැයක් කරෝල පරිප්පු වෙනවද දූරදර්ශී වෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ මොහොතේ ඒ රටේ ජනතාවගේ හැසිරීමේ සහ අභිලාෂයන්ගේ හැටියට. ඉල්ලන්නේ බිලීපිත්තක්නම් ඒක දෙන්න පුළුවන්. හැබැයි, ඉල්ලන්නේ සූඩ මාළුවෙක් නම් ඒක දෙනවා. ඒ එහෙම නොවුණොත් ආණ්ඩු වලට සිද්ධ වෙනවා ලොකු අවුලකට මුහුණ දෙන්න.
යම් විදිහකට කරෝල පරිප්පු අයවැය සංස්කෘතිය ජනතාවක් හැටියට අපි ප‍‍්‍රතික්ෂේප කරනවානම් පාලකයින්ට හෝ නායකයින්ට බෑ අපිට කරෝල පරිප්පු දීලා රවට්ටන්න. අර ඉතාම ජනප‍‍්‍රිය කතාවක් තියනවානේ ‘දේශපාලනඥයෝ හිතන්නේ ඊළඟ ඡුන්දේ ගැන, රාජතාන්ත‍‍්‍රිකයෝ හිතන්නේ ඊළඟ පරම්පරාව ගැන’ කියලා. ඔය රාජතාන්ත‍‍්‍රික ගේම් දෙන්න ගිය බොහෝ දෙනෙක් ඊළඟ ඡුන්දෙ පැරදුණා. (වැරදියට ගන්න එපා. ඒකෙන් කියන්නෑ පැරදුණු හැමෝම පට්ට රාජතාන්ත‍‍්‍රිකයි කියලා. සමහරු පැරදුණේ සීමාව ඉක්මවා ගෝත‍‍්‍රික වීම නිසා.) ඊට පස්සේ පත්වෙලා ආපු අනුප‍‍්‍රාප්තිකයෝ අර රාජතාන්ත‍‍්‍රික ලොජික් සියල්ල මල්ලකට දාලා පැත්තකින් තියලා ඊළඟ ඡුන්දේ දිනන්න පුළුවන් වෙන විදිහට ටොපි චොකලට් සීනි බෝල ටිකක් දීලා ටකරන් පුටු මේස ටිකක් බෙදලා ජනතාව බැලන්ස් කරගත්තා. ඒ හින්දා රාජතාන්ත‍‍්‍රිකයෝ දැක්ක හීන මැදියම් රැුයේ දී ම කුජීත වෙලා ගියා.
ජනතාව කියන විදිහට, එයාලා- ඒ කියන්නේ අපි පට්ට බුද්ධිමත් දාර්ශනිකයි දූරදර්ශීනේ. අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍‍්‍රීලාගේ ඇමතිලාගේ කියලානේ කියන්නේ. එතකොට මේ වගේ වෙලාවක ඔය කියන ජනතාවගේ හැසිරීම කොයි වගේද. කැමරාවකුයි මයික් එකකුයි අරගෙන ගිහිං නිකමට වගේ දික්කරන්නකෝ ඔය කියන මමත් ඔබත් අයිති වෙන ‘ජනතාව’ට. ජනතාව ඉල්ලන්නේ මොනවද. කට්ටියක් කියනවා කුස්සියට හරි අමාරුයි බඩු මිල අඩු කරන්න කියලා. තව කට්ටියක් කියනවා වාහන වල මිල අඩු කරන්නලූ. ඒ ඇරුණමත් ඉල්ලන්නේම මොනමොනවා හරි නිකං දීපං, සහන දීපං, අඩු කරපං වගේ ඒවා සහ පඩි වැඩි කරපං, දීමනා ඉහළ දාපං වගේ ඒවා. ඔය නිසාමයි අදටත්, ඒ කියන්නේ ඊළඟ ඡුන්දෙදිත් එක්සයිස් පොතක්, කැලැන්ඩරයක්, ලිතක්, ආහාර මල්ලක්, කැරම් බෝර්ඞ් එකක් වගේ මත ජනමතය වෙනස් වෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයක්, ස්වයං පෝෂිත අර්ථ ක‍්‍රමය, අපනයන වෙළදපොළ ජයගැනීම, දැනුම් වෙළඳපොළක් වගේ ඒවා රචනා මාතෘකාවලට පමණක් සීමා වෙලා ඒවාගේ ප‍‍්‍රායෝගික භාවිතාව අතිශයින්ම මන්ධගාමී වෙලා තියෙන්නේ මේ නිසාමයි.
මැක්ස් ඩි-ප‍‍්‍රී කියන අමරිකානු ලේඛකයා කියනවා ධුරයට පත් පාලකයකුගේ පළමු වගකීම යථාර්ථය පහදා දීම. ධුරයේ අවසන් කාරිය ස්තූති කීමයි කියලා. ඔහුට අනුව, ඒ අතර කාලයේ පාලකයා ජනතාවගේ සේවකයෙක් විය යුතුයි කියලා. මං කැමතියි මේකේ විලෝමය මෙතෙන්ට ගේන්න. ජනතාවගේ පළමු වගකීම වෙන්නේ යථාර්ථයට මුහුණ දිය හැකි පාලකයෙක් පත් කර ගැනීම. අවසනුව යථාර්ථ අභියෝග ජයගැනීම පිළිබද පාලකයාගේ සාර්ථකත්වය ජනතාව විසින් විගණනය කළ යුතුයි. ඒ අතර මැද්දේ ජනතාව විසින් තමන්ගේ සේවකයා වුණු පාලකයාගෙන් කළ යුතුව තියන ඇත්ත හා වැදගත් උවමනාවන් දිනාගත හැකි පරිදි හොඳින් හෝ නරකින් වැඩ ගත යුතුයි.
දැන් හිතන්නකෝ මීහරක් බානක් කුඹුරකට අතෑරියා කියලා හාන්න. කන්න තණකොළ දීලා වතුර දීලා පුන්නක්කු දීලා ඔක්කෝම කරලා දාන කුඹුරට. ඉතිං ඒ හරක් ස්වේච්ඡුාවෙන් හානවද. නෑනේ. කෙවිට අරගෙන දක්කන්නේ ගොඩට නම් බාන දුවන්නෙත් ගොඩට. දක්කන්නේ මඩට නම් බාන දුවන්නේ මඩට. දක්කනවද, දක්කනවා නම් ඒ දක්කන්නේ ගොඩටද මඩටද කියන එක ගොවියාගේ වැඩක්. ඒ වැඬේ හරියට කරන්නැතුව මූට කන්නත් දීලා, බොන්නත් දීලා, ඉන්නත් දීලා සලකලා වියදම් කරලා කුඹුරට දැම්මාම හාන්නේ නෑ, එහෙම නැත්තං යන්නේම නොපිටට කියලා ගොනාට බැණලා වැඩක් තියනවාද. පාලකයා කියන ගොනා හැසිරෙන්නේ ජනතාව කියන ගෙවියාගේ අණට සහ කෙවිටි පාරේ දිග පළල බර අනුව. ගොනාගේ හැසිරීමට වගකියන්න ඕනේ ගොවියා මිසක් ගොනා නෙවෙයි. අනෙක් අතට, පුදට ඔබින හරකා පුදටත් කිරට ඔබින හරකා කිරටත් හීයට ඔබින හරකා හීයටත් මසට ඔබින හරකා මසටත් පට්ටි ගොනා පට්ටියටත් ඇති කරන එකත් ගොවියාගේම වැඩක්.

No comments: