Tuesday, November 21, 2017

ලූණු, දෙහි වලට වඩා ලූණුදෙහි පට්ට රසයි..

උණහපුළුවාට උගේ දරුවා මැණිකක්. ඒ වගේම, මේ ලෝකේ ජීවත් වෙන හැම මනුස්සයෙකුටම, සතෙකුටම තම තමන්ගේ දේවල් අනර්ඝයි. ජාතිය ආගම මව කුලය දීපය වගේම වස්තුව ධනය දැනුම වගේ දේවල් දක්වාම ඒක ඔට්ටුයි. ඒ නිසාම අපි හැමෝම දැනගන්න ඕන දේ තමයි, අපි අපේ දේවල් වලට ආදරය කරනවා වගේම ගරු කරනවා වගේම දේවල් වලටත් ගරු කරන්න ආදරය කරන්න අනෙකාට තියන අයිතියට ගරු කරන එක අපි හැමෝගෙම වගකීමක් කියන එක. මේ වගකීම මගහරින හැම අවස්ථාවකදී ම ඊළග තත්ත්පරේදී සිද්ධ වෙන්නේ එකිනෙකා අතරේ ගැටුමක් හට ගන්න එක.
තම තමන්ගේ ජාතිය ආගම කුලය වගේ දේ සම්බන්ධයෙන් ඒ ඒ පුද්ගලයාට තියන අභිමානය අවියෝජනීයයි. දෙමළ කියමනක් තියනවා, ‘සන්නියාසික්කුම් ජාතිමානම් පෝගාදු’ කියලා. ඒ කියන්නේ ලෞකික ආශාවන්ගෙන් විනිර්මුක්ත වුණු සන්නාසියෙකුටත් ජාතිමානය තියනවා කියන එක.
නමුත්, ‘ලෝකේ ඉන්න හොඳම අම්මා ඉන්නේ මට’යි කියලා කියන්න මට අයිතියක් තියනවා වගේම, තව එකෙක්ටත් ඒ කතාවම කියන්න ගෝලීය අයිතිවාසිකමක් තියනවා. ඒත්, තවත් කෙනෙක් තමන්ගේ අම්මා සම්බන්ධයෙන් ඒ කතාව කියනකොට, ‘නෑනෑනෑ එහෙම නෙවෙයි’ කියලා පොල්ලක් අරගන අර මනුස්සයාගේ ඔළුවට පාරක් ගහන්න, බෝතලයක් කඩලා බඩ පසාරු කරන්න, ප්‍රෙට‍්‍රලූයි වැලියි කවලම් කරලා වහළෙට විසි කරලා ගිණිතියන්න අපිට අයිතියක් තියනවාද. එහෙම නැත්නම් ඒ මනුස්සයාගේ කඬේට පැණලා අගුළු කඩලා සීනි තුනපහ ටිකේ ඉඳලා ඔක්කෝම දේවල් ඇදගෙන අපේ ගෙදර ගේන්න අපිට අයිතියක් තියනවාද. නෑ. කිසිසේත්ම නෑ. එහෙම දෙයක් කරනවානම්, ඒ සිතිවිල්ලම ගෝත‍්‍රිකයි. ඒ සිතිවිල්ලම මූසලයි. ඒ සිතිවිල්ලම පසුගාමීයි. ජාතියක් ආගමක් කුලයක් දීපයක් දේශයක් සම්බන්ධයෙන් පවා මේ කාරණාව විශ්වව්‍යාප්තව වලංගුයි.
අද වෙනකොට ලෝකේ පුරාම තැනතැන යුද්ධ. මේවාගෙන් ගොඩක් ඒවා දේශය දීපය පිළිබඳ ප‍්‍රශ්න. තව ඒවා ජාතිය පිළිබඳ ප‍්‍රශ්න. තවත් ඒවා කුලය වර්ගය පිළිබඳ ප‍්‍රශ්න. ඒ කියන්නේම, අනන්‍යතා පමණ ඉක්මවා විෂයයන් පවට පත් කර ගැනීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ මම සහ අනෙකා ස්වකීය අනන්‍යතා උත්තරිතර කරගැනීමේ අරමුණින් ගැටෙනවා කියන එක. මේ ගැටුම් ලෝකයට අලූත් දෙයක් නෙවෙයි. විශ්වය පහල වුණු දවසේ ඉඳලා ඒ ඒ යුගවල හිටපු හැම ජාතියක්ම වගේ ‘මගේ එක තමයි හොඳම එක’ කියලා ඔප්පු කරන්න තරඟ කළා. සටන් කළා. නමුත්, කතාව අවසන් වුණේ සිය දහස් ලක්ෂ මිලියන් ගාණක් නෙවෙයි බිලියන් ගාණක් ජීවිත ඩැහැගෙන. ටි‍්‍රලියන් ගාණක් වටිනා දේපළ ගිණිබත් වෙලා. හරි. කමක් නෑ කියමුකෝ. හැබැයි මෙච්චර දේවල් වෙලාත් කවුරු හරි කෙනෙක් දිනුවාද. නෑ. අවසානයේ දී හැමෝම පරාජය වෙලා, මේ ගෝත‍්‍රිකවාදී විනාශකාරි අරමුණු තවත් පරම්පරවාවකට සේන්දු වුණා. අදත් තැන්තැන්වල අපි මරාගන්නේ ගහගන්නේ ගිණිතියාගන්නේ දිනන්න හිතාගෙන. හැබැයි, මේ වෑයමත් අවසන් වෙන්නේ ජයග‍්‍රහණයක් අත්කර දීමෙන් තොරව. ඒක අපි පිළිගත යුතුයි. ඒ විතරක් නෙවෙයි, මේ වැඩ හරහා අපිත් මේ විනාශකාරි අදහස් තවත් පරම්පරාවකට දායාද කරනවා.
අපි සාන්සාරිකවම කළේ, අමන මෝඩ තකතීරුකම් කරලා ගෙවල් ගිණිතියලා ගේ ගිණිගන්නකොට බරපතලකම තේරුම් ගැනීම. ඇත්තටම කීවොත් අපි මේ ගෙවල් ගිණිතියලා තියෙන්නේ අපේ උවමනාවට හෝ හැඟීමකටම නෙවෙයි. ඒ ඓතිහාසික සත්‍යයක්. ඒ හැමදාම හැමෝම මේ දේවල් කළේ කවුරුහරි අවස්ථාවාදීයකුගේ ගිනිගෙඩියක් ගිලලා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ. ඔව්, ගින්න බුරබුරා නගිනකොට ගිනි නිවන්න ළිං කපන්න යනවා. දවස් දෙක තුනක් ඇවිළිලා අර ගින්න ඉමේටම වගේ නිවිලා යනවා. නමුත්, ඒ ගිනිරස්නේ, පුළුටු ගඳ, පිච්චුුණු තැන්වල කැළලි කවදාවත් නැති වෙලා යන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ගින්න නිවීමත් එක්කම අපි අර ළිඳ කපන එකත් නවත්තලා දානවා. ඒ කියන්නේ, ආයේ දවසක් පොඩි හරි ගින්නත් පටන්ගත්තත් නිවන්න උවමනා වතුර අපි ළග නෑ. සදාතනික උත්තරයක් අපිට නෑ. ඒ ගින්නත් ජාලාවක් වෙලා ඉවර වෙනවා මිසක් ගිනි පුපුරු දානකොටම නිවා දමන්න බෑ. ඔය එක එක වෙලාවට දාන කමිටු, කොමිෂන්, විද්වත් මණ්ඩල වගේ ඒවා හැම එකක්ම ගිනි ගත් ගෙය නිවන්න ගෙදර මිදුලේ ළිඳක් කපන්න හදනවා වගේ ගොන් පාර්ට්. ඒ කිසිම ළිඳක් කපලා ඉවර කළේ නෑ. හරියටම රිලව් ගෙවල් හදනවා වගේ.
අපිට බෙදිලා වෙන් වෙන්න ඕනේ නම් ඕන තරම් හේතු තියනවා. අපි තුන්වේල නොකා නොබී කල්පනා කරන්නෙත් ඒකම තමයි. හැබැයි, අපි කල්පනා කරන්න ඕනේ අපිට එකතු වෙන්න පුළුවන් විදිහක් ගැන. බෙදීම් එක්ක වාද එක්ක හැදුණු වැඩුණු, ඒකම සැපයි කියලා හිතාගෙන ඉන්න සමහර පත්තියන් වෙච්ච ජීවිත නිවැරදි කරන්න අපිට බැරි වෙයි. ඒත් අපිට පුළුවන් දෙයක් තියනවා. බෙදී වෙන්විමට වඩා එකතුවෙලා ශක්තිමත් වෙන එකේ වටිනාකම අපේ දරුවන්ට කියා දෙන එක. ළපටි වැල් වුණත්, එකතු වුණොත් සවිමත් වෙනවා. ඔවුන් ලොකු මහත් වෙන්නේ ඒ එකට බැඳුණු සවිමත්කමත් එක්ක.
මතක තියාගන්න. ලූණුදෙහි හැදෙන්නේ, මුහුදේ හැදෙන ලූණුත් කන්දේ වැවෙන දෙහිත් එකතු වෙලා. ඒවා බත් එක්ක විතරක් නෙවෙයි, තනියම කන්නත් පට්ට රසයි. ඒත් ඒ රස, ලූණු වෙනමත් සහ දෙහි වෙනමත් කාලා කවදාවත් ගන්න බෑ.
 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: