Tuesday, November 28, 2017

කෝ මිනිහෝ යහපාලනේ

හොඳටම බඩගින්න්න ඇවිත් කන්න මොනවා හෝ දෙයක් හොයනකොට, ගේ හරියේ හාල් හුංඩුවක්වත් තම්බාගන්න අලයක්වත් නෑ. සාක්කුවක පර්ස් එකක තියා කැටේක ප`ඩුරකවත් එක තඹ සතයක් නෑ. වටිනාකියන හැම දෙයක්ම එක්කෝ උකසට තියලා, සින්න වෙලා. නැත්තං අනුන්ගෙන් ණයට ඉල්ලාගෙන ආපුවා. ඒ වගේ වෙලාවක, පාන් රාත්තලක් අරගෙන එන්නං කියලා තවත් කොහෙන් හරි ණයට ගත්ත කීයක් හරි මිටමොළවාගෙන කඬේට යනවා. මිනිහා කඬේට ගිහිං පාන් ගේනකල් ගෙදර ඉන්න අඹුව, අල්ලපු වත්තෙන් ඇහිඳපු පොල් ගෙඩියක් ගාලා කිරි මිරිකලා එහෙම මෙහෙං අඩුම කුඩුම ටිකක් දාලා මිරිස් හොද්දක් ලිපෙන් තියනවා.

කොහොමහරි කඬේ ළගදි හම්බෙනවා කොල්ලෝ කුරුට්ටෝ ටිකක්. කඬේ ගියපු කාරණේ අමතක වෙනවා. දාන් අදිනවා. පත්තර බලනවා. කයිවාරු ගගහා ඉන්නවා. ඒ අස්සේ ළග තැනක මලගෙදරක් තියනවා කියලා එතෙන්ට යනවා. ටික වෙලාවක් යනකොට කුට්ටමක් අරගෙන අණලා ඕමියක් ගහනවා. ගේ පිටිපස්සේ තියන කැටපොළට ගිහිං කැට ගහනවා. කෙහෙල් පඳුර ළග ගොමුවට ගිහිං බූරු ගහනවා. වැඬේ නැගලා යනවා. පාන් ගේන්න අරගෙන ගිය සීයේ කොලේ දහයේ විස්සේ ඒවගෙන් මාරු වෙලා වැටෙනවා බූරු පැදුරට. එක එක පරදිනවා. වාත වෙවී තව ටික වෙලාවක් ඉඳලා විටක් එහෙම කාලා ආපහු ගෙදර එනවා. ගෙදර එනකොට මුළු ගෙදරම මිනිස්සු දෙරකඩට වෙලා බලාගෙන ඉන්නවා පාන් ගේනකල්. ගෙට ගොඩවෙනකොටම අහනවා, ‘කෝ මිනිහෝ පාන්’ කියලා. එතකොට තමයි අර මනුස්සයාට මතක් වෙන්නේ, ‘අම්මටසිරි, මං ගියේ පාන් ගේන්නනේ’ කියලා.
දැන් මෙන්න මෙතෙන්ට අර හෙඩිමේ තියන වාක්‍යය දාන්න. ඔව්ඔව්. ඒක තමයි. ඇත්තටම අපිට වෙමින් තියෙන්නේ කසාද මනුස්සයා ණයට ගත්ත රුපියල් සීයක් අරගෙන කඬේට ගිහිං පාන් රාත්තල ගේනකල් බලාගෙන ඉන්න ගෑණිට වෙච්ච වැඬේ. ද මංදා. එහෙම නැත්තං, සමහරුන්ට වෙමින් තියෙන්නේ පාන් ගේන්න කඬේට ගිය මනුස්සයාට වෙච්ච වැඬේ. ද මංදා.

අපේ අභිලාෂයන් සහ පාලකයින්ගේ අපේක්ෂාවන් අතර මහ විශාල පරතරයක් තියනවා. ඒක අද ඊයේ විතරක් නෙවෙයි, දශක ගණනාක් තිස්සේම තිබුණු අවුලක්. අපිට හිටපු පාලකයෝ සාතිශය බහුතරයක් කළේ, පුරවැසියෝ බඩගිනි වෙලා අ`ඩන වෙලාවට බිලීපිත්තක් සහ මාළු ඇල්ලීම කර්මාන්තයක් කරගෙන ජීවත් වෙන්න උදව්වක් ඉල්ලනකොට, දැනට මේක තියාගන්න කියලා මාළුවෙක් තෑගි දුන්නු එක. අනිත් පැත්තේ තියන ලොකුම අවුල තමයි, පාලකයින්ගේ පැත්තේ මොන තරම් දෝෂ අඩුපාඩු තිබුණත් ඒ නොකා නොබී හරි පාලකයින්ව කරේ තියාගෙන යන්න ඕන තරම් මිනිස්සු හිටපු සහ ඉන්න එක. මේ කත්කාරයෝ නිසාමයි, රටවල්වල පාලකයෝ හෝ නායකයෝ කවදාවත් නිවැරදි මගට නොඑන්නේ. ලෝකේ බොහෝ තැන්වල කතාව මේකම තමයි. එහෙම නැත්නම් මීට ගොඩාක් සමිපයි. පට්ට හොරෙක් එළවලා ඊළගට එන පාලකයෝ ටික දවසක් යනකොට පෙරටත් වඩා නීලකාස හොරු බවට පත්වෙනවා. හැබැයි උදේ දිවා රැුයේ ඔවුන්ට තියනවා ආරක්ෂක වගන්තියක්. අපි හොරු එලෙව්වා කියන එක. අනෙක් පැත්තෙන්, ඒ වෙනකොට විපක්ෂේ ඉන්නේ, මීට කළිං ඉඳගෙනත් හිටගෙනත් ඇවිදිමිනුත් හොරාකාපු කණ්ඩායමක් නිසා, ඔවුන්ගේ වචනේට සේ එකක් නෑ. මොන වැරැුද්ද පෙන්නුවත් මිනිස්සු ගණන් ගන්නෑ. පෙරවැරදි නිසා.

අවුරුදු කීපයක් ඒකාධිපති ඌරුවකින් රටක් පාලනය කරපු නායකයෙක් එළවලා හුරේ දාලා, රතිඤ්ඤා දාලා, කිරිබත් කාලා අලූත් නායකයෙක්ව වෙල්කම් කරනවා. එයා මාර බුද්ධිමත්, එයා මාර ප‍්‍රජාතාන්ත‍්‍රවාදීයි, ආදී වශයෙන් චරිත සහතිකත් කල්තබාම දෙනවා. කාලයක් යනකොට අර මාරම ප‍්‍රජාතාන්ත‍්‍රවාදී සාමාජවාදී නායකයෝ මොකද්ද කරන්නේ. හුස්ම වැටෙනකල්ම ඒ රට සින්නක්කරේට ලියාගන්නවා. ඊට පස්සේ ඒ උරුමය එක්කෝ දරුවෙකුට, නැත්නම් බිරිඳකට, නැත්නම් වෙන ලේ ඥාතියෙකුට දායාද කරලා දීලා මිහිදන් වෙනවා. රටවල් විතරක් නෙවෙයි, සමහර රටවල් වල පක්ෂත් පරවේණි අයිති වෙලා. දුවට පුතාට මාමාට බෑණාට මාරු වෙවී ඔහේ දුවනවා. එහෙම නැත්නම් අම්මාගෙන් පුතාට බලය මාරු විම මාරම අවුලක් කියලා පොල් ගහලා දෙහි කපලා මිරිස් අඹරලා බලය අල්ලගන්න ඊළග කෙනා, බලය ගත්ත සැණින් හත්මුතු පරම්පරාවම තනතුරුවල ස්ථානගත කරනවා. සියවස් ගාණකට නායක උරුමය පිට නොයන්න පාර කපා ගන්නවා. කියුබාවෙන් කොරියාවෙන් පටන් අරගෙන සිම්බාබ්වේ හරහා ඉන්දියාව ලංකාව දක්වාම කතාව ඒක තමයි. එහෙව් සිස්ටම් එකකින් ඉතිං අපි ප‍්‍රජාතාන්ත‍්‍රවාදය ඉල්ලනවා. එහෙව් මිනිස්සු අපිට ප‍්‍රජාතාන්ත‍්‍රවාදය ගැන කියා දෙනවා.

මෙවැනි තත්ත්වයන් නිර්මාණය වෙන්න බලපාන බරපතලම සාධකේ තමයි, මේවාට හුරේ දාන්නත් ඕන තරම් මිනිස්සු පිටුපසින් ඉන්න එක. ඒ බව නායකයින්ට ඒත්තු ගැන්වෙන්න ගැන්වෙන්න නායකයෝ ඕනම දහදුරා වැඩකට අතගහනවා. පාන් ගේන්න කඬේට ගිය මනුස්සයා, බූරුවා ගහලා ගෙදරට එනකොට දරුවෝ ටික බඩගින්නේ ඇඩුවාත්, කසාද ගෑණි කියනවානම් ‘කමක් නෑ අනේ, ඔයාගේ සතුටනේ’ කියලා, ළමයින්ට කියනවානම් ‘බඩගිනි උනාට කරන්න දෙයක් නෑ තොපි කට වහගන බුදියාගනිල්ලා කියලා’ අර මනුස්සයා බූරු ගහන එක කවදාවත් නතර වෙයිද. ණයට ගත්ත කාසි අරං පාන් ගේන්න කඬේ ගිය මිනිහා, බූරු පොළේ පරදිනකොට ණය දුන්න මිනිහා සන්තෝස වෙනඑක වෙනම කතාවක්. ඒ මිනිහා දන්නවා ආයේ ආයෙත් ණය ගන්නේ මගෙන්ම තමයි කියලා. ඒත්, පාන් ගේනකල් බඩගින්නේ මග බලාගෙන ඉන්න කසාද ගෑණි ඒක අනුමත කරනවානම්. ඒක මාර අවුලක්. ලංකාවේ දේශපාලනේ හැමදාම වුණේ කසාද ගෑණි මිනිහාව සුද්ද කරනවා වගේ වැඩ.

අපි හිතුවා අපේ ජෙනරේෂන් එක අතට බලය සංක‍්‍රමණය වෙද්දීවත් මේ තත්ත්වය වෙනස් වෙයි කියලා. ඒත්, කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ පරම්පරාව ඊට හපං. 

No comments: