Tuesday, December 26, 2017

ඉතිං.. ලබන අවුරුද්දේ මොකෝ වෙන්නේ.


දෙදහස් දා හතේ අවුරුද්ද අවසානයි. අපි හැමෝම ලෑස්ති වෙන්නේ දෙදහස් දහඅට අවුරුද්ද පිළිගන්න. ගිය අවුරුද්දේ අත්පත් කර ගන්න බැරි වුණු ජයග‍්‍රහණයන්, සැබෑ කරගන්න බැරි වුණු හීන වගේම ළ`ගා කර ගන්න බැරි වුණු අපේක්ෂාවන් ආදිය ඉදිරියට ගෙන යන ශේෂය හැටියට ලයිස්තුගත කරගෙන අපි තනි තනි පුද්ගලයින් හැටියට අලූත් අවුරුද්ද ප්ලෑන් කරනවා වගේම, රටක් ලෝකයක් හැටියටත්ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ අස්සේ ගිය අවුරුද්දේ සිද්ධ වුණු වැරදි අඩුපාඩු ආදිය හදාගෙන දේවල් කළමණාකාරණය කරගෙන අලූත් අවුරුද්ද වෙනුවෙන් අඩිය ගහන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව.

පුද්ගලයෙක් හැටියටත් රටවල්, ආණ්ඩු, පාලකයෝ හැටියට ගත්තත් ඔය කියන ලයිස්තු අස්සේම තියනවා දුසිම් ගණනින් මේ කපේට සිද්ධ නොවෙන දේවල්. නමුත්, ඒවා අපේක්ෂාවන් සහ බලාපොරොත්තු හැටියට මතක ඇති කාලේ ඉ`දලාම බලාපොරොත්තු අලූත් ලයිස්තුව ඇතුළේ ලියවෙනවා. පුද්ගලයෝ හැටියට ගත්තහාම හො`ද මිනිහෙක් වෙනවා කියන එක., දුම්බොන එක නතර කරනවා කියන එක., අරක්කු බොන එක නතර කරනවා කියන එක වගේ ඒවා. ඒ වගේම තවත් දේවල් කප්පරක්. ආණ්ඩු සහ පාලකයෝ ආදීන් විසින් කියනු ලබන, ලබන අවුරුද්දේ අපි රට සංවර්ධනය කරනවා, දුෂණයට තිත තියනවා, වංචාකාරයින්ට දඩුවම් දෙනවා වගේ කෑලිත් අරිටම දෙවෙනි වෙන්නේ නෑ.

පුද්ගලිකවත් සාමූහිකතවත් ගත්තහම දේවල් සම්බන්ධයෙන් තියන උවමනාව ජනවාරි මුල් සතියේ තියන ගැම්ම දෙවෙනි සතිය වෙනකොටම නැතිවෙලා යනවා. ඊට පස්සේ සුමානයක් හමාරකින් කියන්න පටන් ගන්නවා සිංහල අවුරුද්දෙන් පස්සේ මෙහෙමයි අරෙහෙමයි කියලා. එතනදිත් පුරුදු විදිහටම සතියක් යනකොට පරණ රිද්මයටම වැටෙනවා. ඊට පස්සේ වෙසක් පෝය ටර්නින් පොයින්ට් එකක් කරගන්නවා. ඔහොම ඔහොම පෝයවල් නිවාඩු සති අන්ත ජාතික උත්සව ආදිය පහුකරගෙන ඇවිත් එනවා බජට් එක සහ බජට් එකෙන් පස්සේ කියලා තැනකට. ඔන්න බජට් කතාන්දර එහෙම ඉවර වෙලා ආයේ ද`ඩි ප`ඩි ගහලා කෙළින් වෙනකොට දෙදහස් දහ අට අවුරුද්දෙත් මේ වගේ කාලය උදා වෙනවා. ඒ කියන්නේ අවුරුද්ද ඉවර වෙලා දෙදහස් දහ නවයට සෙට් වෙනවා. ඊට පස්සේ ආයේ මුල ඉ`දං දෙදාස් දහ නවය අවුරුද්දට ගේම් ප්ලෑන් එකක් හදනවා. ඒකටත් අවසානේ අත්වෙන්නේ මේ ඉරණමම තමයි. ඒ අස්සේ පොඩි පොඩි වෙනස්කම් ටිකක්, දියුණුවක් සංවර්ධනයක් නොවෙනවාම නෙවෙයි. හැබැයි, ඒ යථාර්ථය හීනෙට වඩා ගොඩාක් පොඩියි. මන්දගාමීයි. අසලකාරියි.

දැන් ඒ අව්වස්සේ අලූත් අවුරුද්ද පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඡුන්දෙකුත් එක්ක. ඒක මරු. මාස අටට දහයට ඉංජිනේරුවෝ නිර්දේශ කරපු පාලම් බොක්කු උදේට මුල්ගල තියලා පහුවදාට විවෘත කරනවා. උපාධියක් එහෙම තියන බවක් එක්ක කොහේ හරි ලියාපදිංචි වෙලා ඉන්නවානම් රස්සා වලට ඇප්ලිකේෂන් වෙන්ඩ-මන්ත‍්‍රී ගෙදරටම ඇවිත් දීලා දණ ගහලා වැ`දලත් යනවා. උපාධියක් නැත්තං එයාගේ වියදමින් වුණත් උපාධියක් කරවලා රස්සාවක් දෙන්න ලෑස්තියි. ඒ වගේම තැපෑලෙනුත් නානාප‍්‍රකාර ඒවා එනවා. වෙනදාට මිනී පෙට්ටියට කරගහගන්න මිනිහෙක් නොහිටපු සමහර තැන්වල, දැන් අපේක්ෂකයෝ ටික වට වෙලා කරේ තියා ගත්තාම ලේ ඥාතියෙකුට යුතුකමටවත් පෙට්ටියට අත ගහගන්න තැනක් නෑ. මිනිස්සුන්ට ඇත්ත උවමනාවල් තියනකොට ඇහැක් ඇරලා පැත්ත පළාතක බලන්න නොහිටපු මිනිස්සු, මේ වෙනකොට ගෙවල් ගානේ මකුළුදැල් කඩනවා, පාරවල් වලට පස් දානවා, අතු පාහිනවා, පන්සල් වල තීන්ත ගානවා, ප‍්‍රජා ශාලා අලූත්වැඩියා කරනවා. එක විජ්ජුම්බරයයි. පුප්පගෙන ගස්සගෙන ගිය බවලතුන් දැන් බලවතුන් වෙන්න හිතාගෙන ගෙවල් ගානේ ඇවිදිනවා. කහට එකක්වත් බීපු නැති තැන්වලින් හුණු දුම්කොළ එක්ක විටත් කනවා. හරියට නිකං අපි වෙනම රාජ්‍යයකට යටත් වුණා වගේ හැගීමක් දැනෙන තරමට පුරවැසියාගේ වටිනාකම් වැඩිවෙලා.
ඒ කියන්නේ, අපි දෙදහස් දහඅට පිළිගන්නේම පට්ට දේශපාලනික ව්‍යාජයක් එක්ක. පෙබරවාරි එකොළහෙන් පස්සේ ඔය සියලූ තත්ත්වයන් අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට කැරකෙන හැටි අපිට බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අවංක එඩිතර පිරිසිදු උගත් බුද්ධිමත් වගේ අ`ග කිළිපොලා යන ලයින් වලින් පළවෙනි පියවර තියන මේ රංචුවෙන් සාතිශය බහුතරයක් රුපියල් පහළොස්දාහේ දීමනාවෙන් ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්වෙන හැටිත් අපිට ඇස්පනා පිටම බලාගන්න පුළුවන්. ඊට අදාල දැවැන්ත පෙරළිය ආරම්භ වෙන්න නියමිතව තියෙන්නේ මේ අලූත් අවුරුද්දේ තමයි. අනෙක් අතට ගත්තහම දැනට අපි පාලනය වෙමින් ඉන්න අනෙක් යාන්ත‍්‍රණ වල නම් අබමල් රේණුවක් තරම්වත් සාධනීය ධනාත්මක පෙරළියක් වෙයි කියලා හිතන්න තරම් කිසිම සාධාරණ පෙරනිමිත්තක් අපි ඉස්සරහා ඇත්තේම නැති තරම්. ඒ හැමෝම ඉන්නේ එදාවේල ගෙම් එකක.

ඒ ඉතිං මෙහෙමයි. ඒවා දිහා බලාගන හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ. මේ අලූත් අවුරුද්දේ අපිට වුණත් හැදෙන්න ඕනේනම් කරන්න තියන එකම දේ තමයි පාලකයාගේ පාලිතයා වෙනුවට, පුරවැසියා කියන්නේ පාලකයාගේ හාම්පුතාය කියන වග ඒත්තු ගන්වන එක. ඔව්. මං දන්නවා ඒවා ඉතිං සුන්දර හීනයක් සහ ලස්සන වචන පේළියක් විතරයි. හැබැයි, ඊතලේ පිටේ බැදගෙන දුන්න අතේ තියාගෙන අහස දිහා බලාගෙන බැරිබැරියාවෙන් හූල්ලන තාක්කල් ඉහළ අහසේ පියාඹන කුරුල්ලෙක් දඩයම් කරන්න ලැබෙන්නේ නෑ. දුන්නට ඊතලේ අරගෙන විදලා බලන්න වෙනවා. ඔව්. එක දෙයක්. මේ එළඹෙන අවුරුද්දේ අපි, අපි වෙනුවෙන් බලය පාවිච්චි කරමු. ඒ අපිටත් වඩා අපේ ඊළග පරම්පාරවක දරු මුණුපුරන් වෙනුවෙන්. එහෙම නොවෙන්න, රංචු පිටින් මේ මහපොළව උලාකන එක නවත්තන එක ගොඩාක් අමාරුයි.

(කොටස් හතළිහක් පනහක් වෙච්ච පතරංග ජාතකය මෙච්චර කාලයක් කියවපු හැමෝටම ස්තූතියි. පතරංග ජාතකය මෙතනින් අහවරයි...)

 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: