Monday, August 13, 2018

තෙවසරකට පසු; ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව..


රාජ්‍ය පාලනය සදහා කළින් කළට ආණ්ඩු පත් වෙති. ඒවා සමහරකට උප්පත්තියෙන්ම නම් ඇත. තවත් සමහරකට ආණ්ඩුව කරගෙන යද්දී මිනිසුන් විසින් නම් දෙති. ඒ අනුව, දැන් රට කරන්නේ යහපාලන ආණ්ඩුවයි. එක් පැත්තකින් යහපාලන ආණ්ඩුව යනු මේ ආණ්ඩුවේ නමය. තවත් පැත්තකින් ම් ආණ්ඩුව යහපාලන මූලධර්මයන් හා ප්‍රමිතීන් රට තුළ පැළ කිරීමට යම් සාධනීය උත්සාහයක් දැරූ ආණ්ඩුවක් ලෙස සැලකේ. ආණ්ඩුවේ රාජ්‍ය පාලනය ගැන ගුණ වගේම අගුණත් ජනතාවගේ පැත්තෙන් තිබේ. එසේම, පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව මධ්‍යස්ථය බලන කෙනෙකුට ද ආණ්ඩුව ගැන කියන්නට හොද වගේම නරකත් ඇත.

2015 අගෝස්තු 17 වැනිදා පැවති ඡන්දයෙන් අලුත් ආණ්ඩුවක් පත් වන්නේ අලුත් ජනාධිපතිවරයකු පත් වී අට මාසයකට පසුවය. ජනවාරි මාසයේ තිබූ දේශපාලන රැල්ල ඒ වන විටත් වෙනස් වී තිබිණි. ජනවාරි මාසය වන විට එකම දිශාවකට හමා යමින් තිබූ සුළං ප්‍රවාහය විවිධ පැති වලට හැරවීම ඒ වන විටත් ආරම්භ වී තිබිණි. ජනාධිපතිවරණයේ දී එක් පුද්ගලයෙක් හා වැඩපිළිවෙලක් කෙරෙහි තිබූ විශ්වාසය හා ඒ වැඩ පිළිවෙල පිළිගැනීමේ තත්ත්වය, අගෝස්තු වන විට තිබුණේ දියාරු වූ තත්ත්වයකය. එහෙයින්, ඉන් වසර තුනක් ගෙවී ගොස් ඇති මේ මොහොතේ එකම වේගයෙන් එකම දිශාවකට සුළං හමන්නා වාගේ ජනතා කැමැත්තක් ආණ්ඩුව කෙරෙහි පවතී යැයි විශ්වාස කිරීම නොකළ යුතුය. එසේම, ස්වභාවයෙන්ම ආණ්ඩුවක කාලය දවසින් දවස ගෙවෙද්දී ආණ්ඩු කෙරෙහි වූ ජනතා උනන්දුව ටිකෙන් ටික දියාරු වී යාම, අර්බුදයක් නොව සාමාන්‍ය තත්ත්වයකි. කෙසේ නමුත්, සිය නිල කාලයෙන් හරි අඩටත් වඩා වැඩි කාලයක් ගෙවා අවසන් කර පරණ වෙමින් තිබෙන අලුත් ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව ගැන උඩින් පල්ලෙන් හෝ කියවීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය.

අලුත් ආණ්ඩුවේ ප්‍රගතිශීලීම තීන්දුවක් ලෙස සැලකිය හැක්කේ තොරතුරු දැන ගැනීමේ පනත හා විගණන පනත සම්මත කිරීමයි. පොදු ජනතාවගේ මිල මුදල් ගැන, රටේ ජනතාවට ඉටු විය යුතු සේවාවන් ගැන, ජනතා අභිලාෂයන් අරමුණු සහ අපෙක්ෂාවන් දිනා ගැනීම ගැන, ආණ්ඩුවේ විනිවිදභාවය හා අවංකකම ගැන ජනතාවට දැන ගැනීමට හැකි ප්‍රධාන ප්‍රවේශ දොරටු දෙකක් ලෙස මෙම පනත් දෙක සැලකිය හැකිය. මෙහි විශේෂත්වයක් වන්නේ, මෙම පනත් දෙකටම කාලයක සිට කේන්දර හදා තිබුණත් වින්නඹුකම කිරීමට කිසිවෙක් එඩිතර නොවීමයි. පාර්ලිමේන්තුව සූදානම් වූ විට ජනාධිපති හරස් කැපුවේය. ජනාධිපතිවරයා සූදානම් වූ විට පාර්ලිමේන්තුව හරස් කැපුවේය. නමුත්, ජනාධිපතිවරයාගේ පැත්තෙන් ආ සහායේ ප්‍රබලතාවත්, ජනතාවගෙන් හා බලපෑමේ ප්‍රබලතාවත් සැලකූ විට අලුත් ආණ්ඩුව යටතේ එය නොකර සිටීමට බැරි තත්ත්වයක් උදා විය. යහපාලන ආණ්ඩුව වචනාර්ථයෙන්ම යහපාලනය වෙනුවෙන් වෙහෙසවෙන බවට තහවුරු කිරීමට මේ පනත් දෙකම සෑහෙන තරම් නිදර්ශනයකි.

ඊට අමතරව අලුත් අධිකරණ පිහිටුවීම මෙන්ම මුල්‍ය අපරාධ හා දූෂණ පිළිබද විමර්ශනයට අදාලව අලුත් ආයතන බලගැන්වීම ආදිය ගැන ජනතාව තුළ තිබුණේ ඉතා ඉහළ විශ්වාසයකි. සියලු සොරුන් එක් රාත්‍රියකින් ගිලටීනයට දක්කාගෙන යන තෙක් ජනතාව බලා සිටියහ. ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ ඒ වෙනුවෙනි. අන්තිමට වූයේ, මේ සියලු ආයතන වල දොරකඩයන් වෙයිස්කට් වේදිකා බලට පත් වීමය. මහදවල් මහ සොරකම් කළ කම්භ හොරුන් පැය හත අට ඒ ගැන සාක්ෂි දී එළියට පැමිණ හිරි ඇරගන්නටත් එක්කම ආණ්ඩුවට දොඹෙන් නෙළීමට ඒ කැදවීම් අවස්ථාවක් කර ගත්තෝය. හොරු අල්ලන්නට ගිය ආණ්ඩුවට සිදු වූයේ, සැකකාර හොරුන්ගේ වෙයිස්කට් කවුන්ටර් කරන්නට තැන තැන මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හැල්මේ දුවන්නටය.

යහපාලන ආණ්ඩුවක් හෝ වේවා, ලිච්ඡවී සම්ප්‍රදායක් හෝ වේවා ආණ්ඩුවේ සාමූහිකත්වය හෝ වේවා, ආණ්ඩුව හා ජනතාව අතර තිබිය යුත්තේ එක් පාළමකි. සිටිය යුත්තේ එක ලොක්කෙකි. තිබිය යුත්තේ එක් තීන්දුවකි. ගෙවුණු තුන් වසර තුළ මේ ගැන නම් කතා කර ඵලක් නැති තරමේ සිද්ධීන් ගණනාවක්ම දකින්නට ලැබුණේය. සමහර ඒවා ප්‍රහසන වූ අතර තවත් සමහර ඒවා ඛේදවාචකයන්ය. ආණ්ඩුව හෝ වේවා රජය හෝ වේවා තීන්දු ගත යුත්තේ නායකයාගේ අවසානුමැතියෙනි. නමුත්, මේ ආණ්ඩුව යටතේ රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුවේ නායකයා මෛත්‍රීපාල සිරිසේන නොව තමන් යැයි සිතා වැඩ කළ ඇමතිවරුන් හා එවැනි අවස්ථාවන් කිහිපයක් නිසා ආණ්ඩුව අන්තයටම බාල්දු වූ අවස්ථාවන් තිබේ. පොදු මේසයේ දී එක්කෝ කටපියාගන සිට හෝ එක්කෝ පොදු අදහසට එකග වී එළියට ගොස් තම තමන්ගේ අභිමතනයන් ක්‍රියාත්මක කළ නිසා ජනාධිපතිවරයාට එවැනි තීන්දු යහපාලනයේ නාමයෙන්ම ජනතාවගේ නාමයෙන්ද ආපසු හැරවීමට සිදු විය.

මෙලෙස, ආණ්ඩුවේ ඒකමිතියක් නොමැති කම නිසා අත් වූ අවාසි හා ලැජ්ජාවන් ආණ්ඩුවේ ගාම්භීරත්වයට හා අභිමානයට එක් කළ කළු පැල්ලම් මකා දැමිය නොහැකි තරම්ය. මේ ව්‍යාකූල තත්ත්වයෙන් වාසියක් අත් වූයේ ජනාධිපතිවරයාටවත් අහවල් අහවල් පක්ෂවලටවත් නොවේ. අවුරුදු තුනකට පෙර ජනතාව විසින් අතුගා දැමූ දේශපාලන කදවුර මෙහි උපරිම වාසිය ගත්තේය. පොදු එකගතාවයෙන් මිදී වෙනම යන්නට වෙර දැරූ හිතුවක්කාර ඇමතීන්ගේ හා නිලධාරීන්ගේ මෙවැනි තීරණ, ආණ්ඩුවේ පොදු සතුරා ශක්තිමත් කළේය.

යහපාලනය හෝ වේවා නීතියේ ආධිපත්‍යය හෝ වේවා අපේ රටේ ජනතාවගේ පොත පතට අලුත් විෂයන් නොවූවත් මහපොළවේ යථාර්ථ ලෝකයට ඒවා සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමකි. සියලු දෙනාගේ අදහස් විමසා, අවසානයේ දී තමන්ට වුවමනා දේ කිරීම ප්‍රජාතාන්ත්‍රවාදය යැයි සිතා සිටි රටක ජනතාව හමුවේ හරයාත්මක ප්‍රජාතාන්ත්‍රවාදය රෝපණය කිරීම සහරා කතරේ වී වැපිරීමට වඩා වෙහෙසකරය. ආණ්ඩු හෝ නායකයෝ සංවාද කළ පසුබිමක් මෑත ඉතිහාසයේම දක්නට නොලැබිණී. ආණ්ඩු හෝ පාලකයෝ කළේ නියෝග දීම හා ආඥා නිකුත් කිරීමය. ඒවාට එකග වූවෝ දිගින් දිගටම වා තලයට හුස්ම පිටකළ අතර ඒවාට එකග නොවූවෝ වාත තලයට අවසන් හුස්ම පිට කළෝය. එවැනි පසුබිමක, මාධ්‍ය නිදහස ලැබීම, කතා කිරීමේ නිදහස ලැබීම, ප්‍රකාශනයේ නිදහස ලැබීම ජනතාවට පමණක් නොව ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ අයවළුන්ටද දරා ගත නොහැකි විය. එකළ ජනාධිපතිවරයාගේ නම කියන තැන් වල බීප් බීප් ශබ්දය යොදා ඒවා වසන් කළ මාධ්‍ය, දැන් ජනාධිපතිගේ හත්මුතු පරම්පරාවටම බණින කුණුබැණුම් ප්‍රචාරය කරන්නේ ඒ නිසාය. එක පැත්තකින් මෙය යහපාලනය ඉක්මවා ගිය ආණ්ඩුවේ නෝන්ජල්කමක් ලෙස ඔවුහු සිතා සිටිනවා විය හැක. බස්කාරයාගේ සිට දොස්තර දක්වා හැම කෙනෙක්ම ආණ්ඩුව කොලොප්පමට ගන්නා වාගේ හිතූ හිතූ ආකාරයෙන් වර්ජන උද්ඝෝෂණ කරන්නේ රටටවත් ජනතාවටවත් ඇති ආදරයකට නොවන බැව් අප වටහා ගත යුතුය.

අපි දන්නා ඉතිහාසයේ ආණ්ඩුපාලනය යනු, ඇමතිකෙනෙක් කොළඹ සිට නුවරට යන විට හැම හන්දියක් ගාණේම පොලීසියෙන් සීරුවෙන් සිටිය යුතු අමුතු එකකි. මේ ආණ්ඩුවේ ආණ්ඩු පාලනය යනු වෙන එකකි. දියුණු හා සිංසිදුණු මනසින් කියවද්දී එය ඉතා අනර්ඝ එකක් වුව ද මේ කොදෙව්වට සාපේක්ෂව එක කිසිසේත්ම නොගැලපෙන එකකි.

සරම පැත්තකින් උස්සා පරම්පරානුස්සතිය වැඩ වූ පාලනයක් නිමා කරමින් එක් රාත්‍රියකින් පසු උදා වූ මේ ශිලාචාර රාජ්‍ය පාලනය, ජනතාවට ද නිලධාරීන්ට ද පොලීසිය ඇතුළු පාලනයේ ඍජු පාර්ශවකරුවන්ටද දරා ගැනීමට නොහැකි වී ඇත. දැන් මේ අය වැඩ කිරීමට වඩා වැඩ නොකර සිටීමට පළිහක් ලෙස යහපාලනය පාවිච්චි කරන බවක් ග්‍රාමසේවකගේ සිට ඉහළට යන හැම ස්ථරයකම දැක්ක හැකිය. තමන්ගේ කම්මැලිකම හෝ තක්කඩිකම, අපෝ අපිට බෑ එෆ්සීඅයිඩී යන්න, මේවා කරලා අපිටනං බෑ හිරේ යන්න ආදී වශයෙන් කියමින් වසා ගන්නට ඔවුහු කටයුතු කරති. එහෙයින්, තුන් අවුරුද්දකට පසුව උගත් පාඩම් වලින් එකක් පමණක් කියමි. ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ පමණ ඉක්මවූ ශිලාචාරකම හා යහපාලනය ජනතාවට අත්කර දුන්නේ වාසි වලට වඩා අවාසියකි. එය ආණ්ඩුවට හා ජනතාවට ද අවාසිය. රිද්මය මෙසේ නම්, එය ඊළග ඡන්ද වලදී ජනතාව විසින් ම පෙන්වනු ඇත.

එහෙයින්, ඉදිරි වසර කිහිපය පුරා සිදුවන සෙමින් නමුත් තිරසාර යහපාලන රාජ්‍යයක් ගොඩනැගීමේ යාන්ත්‍රණය සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරි වසර දෙක තුළ ආණ්ඩු කිරීමේ ශෛලියේ වෙනසක් සිදුවිය යුතු යැයි පුරවැසියෙක් ලෙස අකමැත්තෙන් වුවත් යෝජනා කිරීමට සිදුව තිබේ. නොඑසේනම්, ආණ්ඩුව පමණක් නොව රට හා රටේ ජනතාව ද අවසන් විභාගයේ දී අසමත් වීම වලක්වනු නොහැකි වනු ඇත.

Bharatha Prabhashana Thennakoon
Resa Newspaper - රැස පුවත්පත

Tuesday, August 7, 2018

වයඹ පොළවත් තෙත් කෙරෙන මෛත්‍රීගේ ‘වතුර’ සංග්‍රාමය..

මින් දශක කිහිපයකට පෙර මහවැලි ව්‍යාපාරය පිළිබඳ අදහස ඉදිරිපත් වන්නේම මූලික පරමාර්ථ කිහිපයක් මුල් කරගෙනය. ඉන් පළමුවැන්න වූයේ වියළි බිම් තෙත් කරමින් සරුසාර ගොවිබ්ම් බවට පත් කිරීමේ අරමුණයි. ඒ හා සමානම වටිනාකමක් හිමි වූයේ රටේ විශාල ජනතාවක් මුහුණු දී තිබූ උග්‍ර අර්බුදයක් වූ පානීය ජලය පිළිබඳ අර්බුදය විසඳීමයි. එසේම, ඒ වන විට ඉතාම අඩු ප්‍රතිශතයක් වූ විදුලි පාරිභෝගිකයින් ගණන සියයට සියය දක්වා ඉහළ නැංවීමේ දී මහවැලි ව්‍යාපාරයට දැක්විය හැකියැයි විශ්වාස කළ දායකත්වය ඉතා ඉහළය. තවත් පසෙකින් මහවැලිය නමැති වතුර ව්‍යාපෘතිය හරහා ජලය නොවන තවත් අතිරේක වාසි ගණනාවක් රටට දායාද කිරීම ද අපේක්ෂාවක් විය. අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ වැඩසටහන්, මහවැලි ව්‍යාපෘතිය හා සබැඳි සංස්කෘතියක් ගොඩනැංවීම, මහවැලිය හා සමගාමීව මහවැලි කලාපවල දරුවන්ගේ අධ්‍යාපන හා රැකියා අවස්ථාවන් පුළුල් කිරීම ආදිය ඉන් සමහරකි.

කෙසේ නමුත්, අමාත්‍ය සී.පී. ද සිල්වාගෙන් පටන්ගෙන දශක ගණනක් තිස්සේ විටෙක ප්‍රස්ථාරයේ සීඝ්‍ර ඉහළ යාමක් ලෙස ද තවත් විටෙක පෙණෙන නොපෙණෙන නැග්මක් ලෙස ද ඉදිවුණු මහවැලි සංවර්ධන වැඩසටහන, විෂය භාර අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සර්ව සම්පූර්ණ කොට තවදුරටත් සිහිනයක් පමණක්ම නොවන යථාර්තයක් බවට පත් කරමින් ජනතාව වෙත දායාද කරනු ලැබීය. ඒ මොරගහකන්ද කළුගග නිවුන් ව්‍යාපෘති දෙක අහවර කිරීමත් සමගයි.

කළුගග මොරගහකන්ද ව්‍යාපෘති යටතේ තවත් උපප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ඵල දැරීමට නියමිතය. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ඔස්සේ ඉදිවෙන උතුරට ජලය ගෙන යන උතුරු (මහ) ඇළ සංවර්ධන ව්‍යාපෘතිය, වයඹට ජලය ගෙන යන වයඹ ඇළ ව්‍යාපෘතිය හා මිණිපේ ඇළ ව්‍යාපෘතිය ඉන් ප්‍රධානය.

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය පිළිබඳ කතා කෙරෙන්නේ එක්දහස් නවසිය හැටේ දශකයේ සිටයි. ඒ අනුව, වයඹ ඇළ ඔස්සේ සිදු කෙරෙන්නේ මහවැලි ජලය වයඹට ගෙන යාමේ මෙහෙයුමයි. වයඹ ඇළ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු කොටස වෙත ලැබෙන ජලය ප්‍රමාණය ගණන් බලා ඇත්තේ වාර්ෂිකව අක්කර අඩි 105,000ක් බවයි. වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා ගණන් බලා ඇති මුළු වියදම රුපියල් කෝටි 3,000ක් වන අතර 2024 වසර වන එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතය. ඍජුවම පවුල් 13,000ක් පමණ මෙමගින් ප්‍රතිලාභ ලැබීමට නියමිත අතර මෙම ජල කක්ෂෙන් පෝෂණය වීමට නියමිත මුළු වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 12,500කි. එසේම, මෙමගින් වක්‍ර ප්‍රතිලාභ ලබන පවුල් ප්‍රමාණය 40,000ක් පමණ වේ.

ජනතාව වැඩිම ජල අර්බුදයකට ලක් වූයේ පානීය ජලය සපයා ගැනීමේදීටත් වඩා සිය ගොවිතැන් කටයුතු සිදු කිරීමේ දී ය. ගොවිබිම් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම එකිනෙකා අතර තිබූ සාමූහිකත්වය, සාමකාමීභාවය හා ඥාති හිතමිත්‍රකම් ද නැති වී යන කරුණක් බවට පත්ව තිබේ. මහපොළවේ ඇත්තේ වක්කඩක් ඇරීම වැහීම වෙනුවෙන් මිනී මරගන්නා තත්ත්වයකි. එසේම, නිසි පරිදි සිය ගොවි බිම් වෙනුවෙන් අවශ්‍ය ජලය නොලැබීම නිසා වගා බිම් පාළු වීමේ දුක දරා ගැනීමට නොහැකිව සිය දිවි නසාගත් පිරිස ද අපමණය. වතුර පිළිබඳ ප්‍රශ්නය, ගොවියන් සදාතනිකවම පීඩාකාරී මානසික තත්ත්වයට හා පිළිතුරක් නැති ප්‍රශ්නයකට පැටළවීමේ තත්ත්වයකට පත් කරයි. එපමණක් නොව, ඇතැම් ගොවියන්ගේ අදහස වන්නේ සමහර කාල වලදී ගොවිතැන් කිරීම යුද්ධ කිරීමටත් වඩා අපහසු හා වේදනාකාරී කටයුත්තක් බවයි.

නව ව්‍යාපෘතිය ඔස්සේ වයඹට සැපයෙන ජලය ඝන මීටර් දශ ලක්ෂ 130 න් සියයට 10 ක් පමණ පිරිසිදු පානීය ජලයයි. මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේ බිල්ලක් බවට පත්ව ඇති වයඹ පළාතේ උතුරු කොටසේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීම, පිපාසාව සංසිදුවීමට පමණක් නොව ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තුවක් ජනිත කරන කටයුත්තකි. වයඹට රැගෙන එන මෙම ජලය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, වෑමැඩිල්ල හා දේවහූව වැනි ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ද සපයා දෙයි.

කිලෝ මීටර් 92ක දිගින් යුතුව ඉදි කෙරෙන මෙම වයඹ ඇළ ගින් වයඹ හා මධ්‍යම දෙපළාතේ කුඩා වැව් 315 ක් හා ප්‍රධාන වැව් අටක් පෝෂණය වීමට නියමිතය. කුරුණැගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, ගල්ගමුව හා හිරියාව මැතිවරණ කොට්ඨාශ වලට අයත් වැව් හතක් සහ මාතලේ දේවහූව වැව ඊට අයත්ය. එලෙස ප්‍රතිසංස්කරණය වන වැව් 315 ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහකට අයත් වේ. ඉන් 109ක්ම පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන අතර තවත් වැව් 104ක් අයත් වන්නේ මහව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටයි. මේ යටතේ ඇහැටුවැව, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වල පිළිවෙලින් වැව් 90ක් හා 11ක් ද දඹුල්ලේ එක් වැවක් ද ප්‍රතිසංස්කරණය කෙරේ.

තවද, මී ඔය, හක්වටුනාඔය හා කලාඔය ද්‍රෝණිවල ඇති එල්ලංගා පද්ධති ගණනාවක් යළි පණ ගසා ගොවි බිම් සාරවත් කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නියමිතය. ඒ අනුව, මානිග්ගමුව, හෑලඹගහමුල, ගල්ලිද, ඇහැටුවැව උල්පත වැව, පහළකැලේ අමුණපොල්පිතිගම, කාතරගම වැනි එල්ලංගා පද්ධති එසේ සංවර්ධනය වනු ඇත. මීට අමතරව මේ යටතේ වෑමැඩිල්ල නව සොරොව්ව, මහකිතුල ජලාශය, මහකිරුල ජලාශය, දඹේ ජලාශය වැනි විශාල ප්‍රමාණයේ වාරි පද්ධතීන් නිර්මාණය වන අතර රන්වැඩියා, නිලගම හා මහකිතුල ප්‍රදේශ වල දී මීටර් 500 ඉක්මවූ නව උමං තුනක්ද ඉදි වීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේ දී මූලිකව මුහුණ පාන ගැටළුවක් වන්නේ සමාජ ආරක්ෂණ වැඩපිළිවල සහ පරිසර හා වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙලයි. මේ වන විටත් ඊට අවශ්‍ය කටයුතු සකසා අවසන් වී තිබේ. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී නිරන්තරයෙන් දකින්නට ලැබෙන සතා සිව්පාවා ගහකොළ ඇළ දොළ නොසලකා හැරීමේ ඛේදවාචකය, මෙම ව්‍යාපෘතියේ දී කිසි ලෙසකින්වත් සිදු නොවන්නටත් සිදුවන හානි අවම කිරීමටත් විද්වතුන් හා විශේෂඥයින් බොහෝ සේ කැපවී වැඩ කරයි.

වයඹ වැසියන් වූ අප දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යතාවට සරිලන ජලය නොලැබීමේ අර්බුදයට මුහුණ පා සිටියෙමු. විශේෂයෙන්ම කුරුණැගල දිස්ත්‍රික්කයේ උතුරු කොටසට අයත් ප්‍රදේශවල ජනතාව මේ වේදනාව සිය ජීවිතයේ කොටසක් කරගෙන සිටියි. පානීය, වගා ආදී දෛනික මිනිස් අවශ්‍යතා වෙනුවෙන් හිමි ජලයේ හිගතාව වයඹ වැසියන් හමුවේ ඇති සැලකිය යුතු ප්‍රශ්නයකි. ගම්මාන මැදින් මංතීරු දෙකේ හතරේ මංමාවත් ඉදිවුවත්, එකඑක නම් වලින් ගොඩනැගිලි මාලිගා ආදිය ඉදිවූවත් ගම්මුන්ගේ ආර්ථිකයේත් දිවි පැවැත්මේත් මූලික අවශ්‍යතාවක් වන ජලය ලබා දීම කෙරෙහි යොමු වූයේ අඩු අවදානයකි. ඒ නිසාම දිස්ත්‍රික්කයේ එහා මෙහා හීසර වේගයෙන් පියඹා යන විට කළගෙඩි, බාල්දි, බේසම් අතින් කටින් එල්ලාගත් මිනිස්සු බීමට දිය පොදක් සොයා මයිල හතර පහ හැනිහැම්මේ පයින් යනු අප දැක ඇත්තෙමු. වයඹ වැසියන් ලෙස අප ඒවා අත්දැක ඇත.

නමුත්, සමහර පාලකයින්, ඇතැම් විදේශයන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරට මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙද්දී වයඹ පමණක් නොව මුළු මහත් රටේම පානීය ජල අවශ්‍යතාව නොසැපිරුණු මිනිස්සු ඒ දෙස බලා හීල්ලූ බව අපට මතකය. එවැනි පසුබිමක, මහවැලි ජලයේ පහස වයඹ වාසීන් වූ අපටත් ලැබීම අමන්දානන්දයට හා ප්‍රබෝධයට කරුණක් වනවා සේම ඒ ගැන ජනාධිපතිවරයාට කෘතඥ විය යුතුය. දෙකන්නයේම සරු අස්වනු නෙළන සරුසාර මහපොළවක් දැකීම වයඹ වැසියන් වූ අපගේ සිත්තුළ කාලයක් තිස්සේ තිබුණු ඒකායන පැතුමයි


- Bharatha Thennakoon

Monday, July 30, 2018

එදාවේලෙන් ඔබ්බට ගිය, ජනප්‍රිය නොවන දේශපාලනය


පොළොන්නරුව කී සැණින් මනසේ ඇඳෙන්නේ ඓතිහාසික අගනගරයක් පිළිබඳ මතක ඡායාවන්ය. ගල් විහාරයෙන් පටන්ගෙන මැදිරිගිරිය වටදාගේ දක්වා වූ පොළොන්නරුවේ සිහිවටනත් පරාක්‍රම සමුද්‍රයේ සිට මින්නේරි වැව දක්වා වූ වාරි ශිෂ්ඨාචාරයත් මින්නේරි දෙවියන්ගේ සිට මහපැරකුම් මහරජුන් දක්වා වූ සංස්කෘතික සාධකත් පොළොන්නරුවේ වතගොත තුළ අපට ඇති වෙන් කළ නොහැකි මතකයන්ය. අපේ සිත් ඇදබැඳ ගන්නට සමත් අප දන්නා දේ ය.
ඉතිහාසය පුරාම ආණ්ඩු පොළොන්නරුව කී සැණින් කල්පනා කළේ ඓතිහාසික සිහිවටන සංවර්ධනයන් ගැන පමණක්ම වාගේය. එනමුත්, ඉන් එහා ගිය දියුණු මනුෂ්‍ය ජීවිතයක්, ජාතික ආර්ථිකය වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දෙන නිෂ්පාදනයක්, අධ්‍යාපනය සෞඛ්‍යය යටිතල පහසුකම් හා සංස්කෘතික ජීවිත වැනි අංශයන්ගේ දියුණු කිරිම් ගැන ඔවුහු වැඩි අවධානයක් යොමු නොකළ තරම්ය. ඒවා ඔවුන්ට ඇස නොගැටුණ තරම්ය. එහෙයින්ම, පොළොන්නරුව පිළිබඳ මින් දශක තුන හතරකට එහා මතකයන් තුළ අපට ඇත්තේ කඨෝර කලාපයක් පිළිබඳ අත්දැකීමකි. වැව් අමුණු තිබුණත් නිසි කළ වතුර නොලැබෙන, ගොවිබිම් ද සවිශක්තිය ද වුවමනාව ද තිබුණත් නිසි ලෙස වගා කර ගැනීමට නොහැකි ගොවියන් මෙන්ම පහළ අගයක් ගන්නා සාක්ෂරතාව, සංවර්ධනය නොවූ ගම්මාන, ඉගෙනීම ගැන සිත් නොයවන දරුවන්, ගුණාත්මකභාවයෙන් හා ප්‍රමාණාත්මකභාවයෙන් පහළ සුවසේවා, අඩු වයස් ගැබ් ගැනීම්, බෝ වන හා බෝ නොවන රෝගවල සීඝ්‍ර පැතිරයාම අතින් ඉහළ අවධානම් සීමාවන් තුළ තිබෙන කලාපයන් බහුල ප්‍රදේශයක් ලෙස, ඒ මතකයන් අපව කම්පනයට පත් කර ඇත.
ඉනික්බිති පොළොන්නරුවේ පරිවර්තන යුගය ආරම්භ වූයේ කෙසේද. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් වීමෙන් පසු ගෙවුණු දශක දෙක හමාරක කාලය තුළ පොළොන්නරුවේ සිදු වූ සංවර්ධනය, එහි ජනතාවගේ දරිද්‍රතාව දිළිඳුබව හා විවිධ දර්ශකයන් තුළ පහළ ස්ථානයන්ගේ ස්ථානගත වී තිබූ තත්ත්වයෙන් පොළොන්නරුව මුදා ගැනීමට සමත් විය. නමුත්, ඇතැම් දේශපාලන කැපිලි කෙටිලි කුඩම්මාගේ සැලකිලි දැක්වීම් පමණක් නොව විවිධ කඹ ඇදීම් නිසා පොළොන්නරුවට හිමි වීමට තිබූ ඇතැම් දේ පොළොන්නරුවට අහිමි විය. මෛත්‍රිගේ ගමට විවිධ දේ දීම තුළින් දේශපාලන චරිතයක් ලෙස මෛත්‍රී ඉලිප්පීමේ අවධානමක් ඇති බැව් තේරුම් ගත ගත් ඇතැම්හු ස්වකීය අධිකාරී බලහත්කාරය ඒ ඒ පරාසයන් තුළ විහිදවූ බව අප දැක ඇත්තෙමු. අපි දන්නෙමු.
කෙසේ නමුත්, දීර්ඝ හා සාමූහික ක්‍රියාවලිකය ප්‍රතිඵලයක් ලෙස පොළොන්නරුවේ මන්ත්‍රී මෛත්‍රී ජනපතිධුරයට පත් වූයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තවත් බොහෝ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ ඉදි වූ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මේ සතියේ ජනතා අයිතියට පත් කෙරෙන බැව් ඇසෙන්නට ලැබේ. ඒ, මින් දින කිහිපයකට පෙර දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද (වකුගඩු) රෝහලේ වැඩ ආරම්භ කළ බවට වන ප්‍රවෘත්තියත් සමගමය.
මූලය හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විදින ජනතාව වෙත වෘක්කවේද රෝහල පිළිබඳ ප්‍රවෘත්තිය එක් කරන්නේ නිකම්ම නිකම් අපේක්ෂාවක් නොවේ. එය ජීවිතය පිළිබඳ අපේක්ෂාවකි. තිස් දහස ඉක්මවූ දැනට හඳුනාගත් මෙම කාණ්ඩයේ වකුගඩු රෝගීන් හමුවේ තිබූ ප්‍රධානතම ගැටළුවක් වූයේ ප්‍රතිකාර ලබා ගැනීමට තැනක් තිබේදැයි යන්නයි. නැගෙනහිර, උතුරුමැද පමණක් නොව උතුරු පළාතේ ද වකුගඩු රෝගීන් වෙනුවෙන් පහසුකම් සැලසිය හැකි මෙම රෝහල පොළොන්නරුවේ පමණක් නොව, ඒ කොටසේ සියලු ජනතාවට ලැබුණු මහාර්ඝ සම්පතකි. එම රෝහල ජනතා අයිතියට පත් කෙරෙන්නේ තාක්ෂණයෙන් හා පහසුකම්වලින් පමණක් නොව ගෘහ නිර්මාණශිල්පයේ පවා සුවිශේෂීතාවක් ඇති නිර්මාණයක් ලෙසයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලද මෙම රෝහලේ ප්‍රතිලාභ තවත් වසර දෙකක් ඇවෑමෙන් ලංකාවාසී ජනතාවට භූක්ති විදිය හැකි වනු ඇත. මේ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි එකසිය විස්සකි.
ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ මෙම සතියේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත මුළු ව්‍යාපෘති ගණන එකසිය අසූවකි. ඒ වෙනුවෙන් සිදු කර ඇති සම්පූර්ණ වියදම රුපියල් කෝටි 6,000කට අධිකය.
පාසල් හා පිරිවෙන් සංවර්ධනය වෙනුවෙන් පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති 84ක් පමණ ක්‍රියාත්මක කෙරේ. අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පංතිකාමර ගොඩනැගිලි හෝ පිරිවෙන් ශාලා සනීපාරක්ෂක පහසුකම්, පුස්තකාල හා විද්‍යාගාර පමණක් නොව නිල නිවාස හා ගුරු නිවාස පවා මේ යටතේ ඉදි කෙරේ. දුෂ්කර පත්වීම් ලෙස සැලකෙන ප්‍රදේශවල ඇති ගුරු හිගයට විසදුම් දීමේ දී මෙවැනි පහසුකම් කෙරෙහි ද අවධානය යොමු කිරීම අගය කළ යුතුය. පිරිවෙන් ගොඩනැගිලි, ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථාන ආදිය ද මේ යටතේ ජනතා අයිතියට පත් වීමට නියමිතය. අධ්‍යාපනය තරම්ම වැදගත් අංශයක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මේ වසරේ පමණක් පිබිදෙමු පොළොන්නරුව යටතේ ව්‍යාපෘති 23ක් සිදු කෙරෙන අතර වකුගඩු රෝගී සායන මධ්‍යස්ථාන, මාතෘ හා ළමා සායන ගොඩනැගිලි, නවීන පහසුකම් සහිත රසායනාගාර ආදිය මේ යටතේ ඉදි කෙරේ. ගුරු හිගයට මෙන්ම ඉහළ සෞඛ්‍ය සේවාවක් සැපයීමේ දී මෙවැනි ප්‍රදේශවල නිරන්තර බාධකයක් වූ වෛද්‍යවරුන්ගේ හා කාර්යමණ්ඩල වල නවාතැන් හා යටිතල පහසුකම් වල තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයට ද මෙහිදී අවධානය යොමු කරමින් වෛද්‍ය නිළ නිවාස කිහිපයක් ම අලුතෙන් ඉදිකිරීමට කටයුතු කළේය. එසේම, උග්‍ර ගැටළුවක්ව ඇති පානීය ජල හිගයට පිළියම් සැපයීම සඳහා මේ වසරේ පමණක් රුපියල් මිලියන 500ක පමණ වියදමින් ව්‍යාපෘති 25ක් ක්‍රියාත්මක කෙරේ.
කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වන පොළොන්නරුවේ කෘෂිකර්මාන්ත, පශූ සම්පත් සංවර්ධන, ගොවිජන සේවා හා වාරිමාර්ග යන අංශයන්ගේ සංවර්ධනය වෙනුවෙන් නව ව්‍යාපෘති 64ක් ද ජනතාවගේ ව්‍යවසායකත්ව හා ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව ව්‍යාපෘති 15ක් ද ක්‍රියාත්මක කෙරෙනු ඇත. ප්‍රජාව බලගන්වමින් දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන්ම ඉලක්කගත වැඩසටහන් ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.
සිය නිෂ්පාදනයන් වෙළඳපොළ වෙත රැගෙන යාම, මිලදී ගන්නන්ට නිෂ්පාදන ගම්මාන වෙත පැමිණීමේ පහසුව සැලසීම, පොදු ජනතාවගේ ගමනාගමන පහසුව ඇති කිරීම සහ දිස්ත්‍රික්කය පුරා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ඇති වීම තුළ නව අවස්ථාවන් උදාවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ග්‍රාමීය, ප්‍රාදේශීය හා නාගරික යන කාණ්ඩ තුනටම අයත් මාර්ග සංවර්ධනය සඳහා ව්‍යාපෘති 540ක් වෙනුවෙන් මේ වසරේ දී මුදල් වෙන් කර ඇත. මේ අතර පොදු පහසුකම්, නාගරික සංවර්ධනය, සමූපාකාර සංවර්ධනය සහ ඉඩම් හා නිවාස සංවර්ධනය වෙනුවෙන් සිදු කිරීමට නියමිත ව්‍යාපෘති ගණන හැටක් පමණ වේ. එසේම, වනජීවී හා වන සංරක්ෂණය වෙනුවෙන් මේ වසරේ දී පමණක් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන දහයක් පමණ වේ.
මීට අමතරව පසුගිය සතියේ ජනතා අයිතියට පත් කෙරුණු මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් කෝටි 23,000කි. එමගින් ප්‍රතිලාභ ලබන පළාත් පහක පමණ ජනතාව සිය පානීය, වගා, ජල විදුලි අවශ්‍යතා වෙනුවෙන් එම ජලය භූක්ති විදිනු ඇත. පානීය හා වගා කටයුතු වලට අමතරව, ජාතික විදුලිබල පද්ධතිය වෙනුවෙන් එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් විසි පහකි.
මීට අමතරව පසුගිය මාසයේ පුත්තලමේ, මහනුවර හා රත්නපුරේ පැවති ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් වැඩසටහන් යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක වෙනුවෙන් තවත් රුපියල් මිලියන ගණනක් වෙන් කර දීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව, ග්‍රාමීය යටිතල පහසුකම්, සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික අංශයන්ගේ ප්‍රගමනය වෙනුවෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහළය.
ආණ්ඩුවකට රාජ්‍යයක් වෙනුවෙන් සියල්ල කළ නොහැක. ආණ්ඩුවක් රාජ්‍යයක් වෙනුවෙන් සියල්ල කළ යුතු ද නොවේ. නමුත්, ආණ්ඩුවක වකගීම වන්නේ රාජ්‍යයක ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය පසුබිම ද ශක්තිය ද නිර්මාණය කර දීම ආණ්ඩුවක් විසින් සිදු කළ යුත්තකි. මෙලෙස ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ලැබෙන දායකත්වය ඇතැම් විට එදාවේල සරිකර ගැනීමටත් වේලෙන් වේල තෘප්තිමත් වීමටත් උපකාර නොවනු ඇත. එනිසාම, ඒවා ජනප්‍රිය නොවනු ඇත. නමුත්, නිසි කළ පැමිණ ඒවාගේ ඵල ලැබෙන විට සියල්ලෝ කෘතඥ වනු ඇත.

Tuesday, July 24, 2018

එන්න.. දිය දෝතක් බී සිටින්න











































ආණ්ඩුව වැඩ කරන්නේ නැත. ආණ්ඩුව කරන වැඩ මාර්කට් කරගන්නට ආණ්ඩුව දන්නේ නැත. ආණ්ඩුව මාර්කට් කරන්නට දැනගත්තත් ආණ්ඩුවට මාර්කට් කරන්නට දෙයක් නැත. ආණ්ඩුවේ වමත කරන දේ දකුණත දන්නේ නැත. ආණ්ඩුවේ දකුණ වැඩ කරන්නේ වමට හොරෙන්ය. වත්මන් ආණ්ඩුව තිබෙන්නේ පූර්වයේ නොවූ විරූ තරම් අර්බුදයකය. ආදී වූ කප්පරක් ආණ්ඩුව ගැන දොස් කතා තැන තැන දිනෙන් දින ඇසේ.

සාමාන්‍යයෙන්ම දේශපාලන අදහස් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන අයවලූන් අතර ඇත්තේ ආණ්ඩු විරෝධයකි. එය ලෝක ඉතිහාසය පුරාම දක්නට ලැබුණු පොදු තත්ත්වයකි. මිනිසුන් හ`ඩ නගන්නේ තමන්ට එක`ග විය නොහැකි විටදී හා තමන්ට අවාසියක් හෝ අසාධාරණයක් සිදු වන විටදී ය. බොහෝ සතුටින් ඉන්නා විට හෝ සියල්ල හො`දින් සිදුවන බව පෙණෙන්නට ඇති විට, තමන්ගේ වැඩ නවත්වා මරේ මරු යැයි ප‍්‍රශස්ති ගායනා කිරීමට මිනිස්සු නොපෙළෙඹෙති. අනෙක් අතට විවේචන ශබ්ද නගා කළත් අපි කෘතඥතා ඵල කරන්නේ නිහ`ඩවය. ආණ්ඩු කෙරෙහිත් ජනතාවගේ ප‍්‍රතිචාරය මෙසේම ය. අද යුගයේ ඛේදවාචකය නම්, නරක මිනිසුන්ගේ නරක ක‍්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි’. එහෙයින්, ජනමතයට ද අදාල වන්නේ මෙයම බව පමණක් කියමින් මගේ කතාව ආරම්භ කරමි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඉදිවුණු මොරගහකන්ද ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභ මේ වන විට ජනතාව වෙත ලැබෙමින් පවතී. කළුගග ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ. මේ ව්‍යාපෘතිය පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල බවත්, ඒ වෙනුවෙන් රුපියල් කෝටි 23,000ක් පමණ වියදම් කළ බවත් එය ලංකාවේ ලේඛනගත ඉතිහාසයේ විශාලතම සංවර්ධන ආයෝජනය බවත් එමගින් මිලියන ගණනක් ජනතාවට සෙත සැලසෙන බවත් මේ වන විටත් අපි දනිමු. එපමණකි නොව, මෙම ව්‍යාපෘතිය මගින් උතුරේ වව්නියාවේ, වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත‍්‍රික්ක දෙකේම, නැගෙනහිර පළාතේ ත‍්‍රිකුණාමලයේ, මධ්‍යම පළාතේ මාතලේ හා උතුරුමැද පළාතේ අනුරාධපුරේ හා පොළොන්නරුවේ ජනතාව වෙත පානීය, කෘෂිකාර්මික හා සෙසු අවශ්‍යතා වෙනුවෙන් ජලය සැපයෙන බව ද අපි දනිමු.
මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය මගින් ප‍්‍රධාන ඇළ මාර්ග තුනක් ඔස්සේ පළාත් තුනකට ජලය රැුගෙන යන බවත් එමගින් නව වැව් අටක් පමණ නිර්මාණය වන බවත් එම ජලය මගින් එල්ලංගා පද්ධති ඇතුළු තවත් ලොකු කුඩා වැව් 2,000ක් පමණ ජලයෙන් පෝෂණය වන බවත් ඔබ මේ වන විටත් දන්නේ යැයි විශ්වාස කරමි. එක් කන්නයකට පමණක සීමා වී තිබූ බොහෝ පළාත්වල වගා කටයුතු, දෙකන්නයේම සිදු කිරීමේ හැකියාව උදා කරනවා පමණක් නොව මෙමගින් ජලය ලැබෙන බවට වන විශ්වාසය සමග අතුරු කන්නයක් ලෙස අතුරු බෝග වගා කිරීමේ අවස්ථාවක්ද උදා වන බැව් ඔබ දැනුවත් ඇති.
වැහි කාලයට ඇළ දොළ ගංගා පමණක් නොව මංමාවත් මිටියාවත් පවා ජලයෙන් පිරීයන අපේ පළාත්වල, වැසි අඩු කාලයට හෝ නියං කාලයට දක්නට ඇත්තේ ඊට හාත්පස වෙනස් තත්ත්වයකි. නියඟය ඉතාම උග‍්‍ර වූ විට හරකුන් හා මිනිසුන් එකම තොටුපළක දෙකොනක ස්නානය කොට, බීමට ද වතුර රැුගෙන යන තත්ත්වයන් නැත්තේම නොවේ. ඉහට ගිණි ගහන හිරුගෙන් වියන් බැඳ පයට ඉරි තැළුණු මහපොළවේ පාවඩ දිගේ මයිල ගණනක් දරු මල්ලන්ද රැුගෙන, බීමට ජල බිඳක් සොයා ගාටන මිනිසුන් අපි අපේ පළාත්වල ඕනෑ තරම් දැක ඇත. සභාවේ බවුසරයෙන් වතුරු ගෙනැවිත් දෙන තුරු වැව් කණ්ඩියට වී බලා සිටිනා ඥාතීහු අපට ඇත. දාඩිය බිබිළි දමාගෙන පොඩි උන් කෑ ගසද්දී පත්තර කඩදාසියකින් පවන් ගසනවා හැරෙන්නට ඇඟ දොවන්නට දිය බිඳක් ගැනීම මහා නාස්තියක් යැයි කල්පනා කරන මිනිසුන් අප දැක ඇත. මොරගහකන්ද කළුගග ඍජුවම ඉලක්ක කරන්නේ එලෙෂ පීඩා විඳින මේ ජනතාවයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිවෙන කිලෝමීටර් 96ක දුරින් යුතු උමං මාර්ගයක් ඔස්සේ මහකනදරාව දක්වාත් කිලෝමීටර 93ක දුරින් යුතු වයඹ ඇළ ඔස්සේ වයඹටත් ජලය රැුගෙන යාමට නියමිතය.

වයඹ පළාතේ ජනතාවට මහවැලි ජලය ලැබෙන බවට වන ආරංචිය ලැබෙන්නේ මහවැලි මහ සැලැස්ම ආරම්භ කරනු ලැබූ හැටේ දශකයේ දීමය. ජල හිගයෙන් හා නියගයෙන් පීඩා විඳින ප‍්‍රදේශයක් වන වයඹ ජනතාවට මේ පොරොන්දුව යථාර්ථයක් වනු දැකීමට දශක කිහිපයක් බලා සිටීමට සිදු විණි. කෙසේ නමුත්, මෙම ව්‍යාපෘතිය යටතේ වයඹ ඇළ සංවර්ධනය හරහා මහවැලි ජලය ලැබීමෙන් පසු වයඹ පළාතේ පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, මහව හා අඹන්පොළ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මහ ජල කදක් ලැබීමට නියමිතය. 2024 වසර වන විට මීට අදාළ සෙසු අතිරේක ඉදිකිරීම් ද අවසන් වනු ඇත.

එසේම, මෙම ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මහකිතුලේ අක්කර අඩි 12,000ක පමණ විශාලත්වයකින් යුතු හෙක්ටයාර් 224ක් පුරා පැතිරෙන නව ජලාශයක් නිර්මාණය වේ. එසේම, මහකිරුල ප‍්‍රදේශයේ අක්කර අඩි 9000ක් පමණ ජලය රැුස්කළ හැකි වැවක් සංවර්ධනය කෙරෙන අතර මහදඹේ වැව ද සංවර්ධනය කිරීමට නියමිතය. මහකිරුල සිට කදුරුවැව දක්වා දිවෙන කිලෝ මීටර් 21කට වඩා දිගින් යුතු දකුණු ඉවුරු ඇළ මාර්ගය ඉදිකිරීම තුළින් ඇළ මාර්ගය හා බැ`දුණු වැව් ගණනාවක්ම පෝෂණය කිරීමට නියමිතය. මහකිතුල සිට මැඩියාව දක්වා කිලෝ මීටර් 20ක දිගින් යුතු ඇළ ද මැඩියාව ඇළ මාර්ගය බෙදී යාපහුව දක්වා කිලෝමීටර් 11.2ක දිග ඇළ මාර්ගය ද ඉදිවීමට නියමිත අතර එමගින් ඒ හා බැ`දුණු විශාල වැව් ප‍්‍රමාණයක් සංවර්ධනය වනු ඇත. එපමණක් නොව, මුළු වර්ෂය පුරාම වගා කළ හැකි පරිදි ජලය රැුස්කර තබා ගැනීමට හැකියාව ලැබේ. නිරන්තරයෙන්ම ජල ගැටලවට මුහුණපාන හක්වටුණා ඔය ජලාශයට මහකිතුල ජලාශයෙන් ජලය ලබා දීම සිදු වනු ඇත. මෙලෙස, වයඹ ඇළ හරහා පමණක් මෙලෙස ප‍්‍රතිලාභ භුක්ති වි`දින කුඹුරු ගොවිබිම් ප‍්‍රමාණය අක්කර 31,000කට අධිකය.
ජලය අවැසිම පළාතක් වෙනුවෙන් ජලය ලබා දීම සඳහා හෙට දවසේ සිය මෙහෙයුම් අරඹන මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියට අපි සුභ පතමු. මොරගහකන්ද හා කළු ගග ව්‍යාපෘති සම්බන්ධයෙන් අප කල්පනා කළ යුත්තේ ව්‍යාපෘතිය කාගේද, නම යන්නේ කාගේද, ලකුණු වැටෙන්නේ කාටද යන දෘශ්ඨියෙන් නොවන බැව් සිහිපත් කළ යුතුය. ගොවි ගම්මාන මූලික මිනිසුන් ලෙස ඉතිහාසය පිළිබඳ අප දන්නා කරුණු ගණනාවකි. ඒවා සමහරක් මෙසේ ඔබ වෙත සිහිපත් කරනු කැමැත්තෙමි. ඒ කාටවත් ලකුණු දමා දීමට නොව, එදායින් අද වෙනස් කිරීම ගැන කෘතඥ සිතිවිල්ලක් ජනිත කිරීම සඳහා පමණකි.

🖋 Bharatha Prabhashana Thennakoon
📰 Lakbima Newspapers

ඉතින්, මහවැලිය හමාරයි!

ලංකා දේශපාලනයේ සදාතනික පොරොන්දු සමුච්චයක් ඇත. ජාතික ප්‍රශ්නය විසඳීම ඒ අතරින් ප්‍රමුඛතම පොරොන්දුවයි. එපමණක් නොව, දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් හා උසස් මානව සංස්කෘතියක් වෙනුවෙන් තිබිය යුතු යැයි ලෝක සම්මතයට පැමිණි මාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය, රාජ්‍ය මුදල් සම්බන්ධ වගවීම හා වගකීම තහවුරු කරන අණ පනත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි ඒවා උත්සාහයකින් තොරවම මතකයට එන එවැනි පොරොන්දුය. බාගවිට ජාතික ප්‍රශ්නයේද කොටසක් යැයි කියනු ලබන අසම්පූර්ණ මහවැලි ව්‍යාපාරය සර්ව සම්පූර්ණ කොට අවසන් කිරීම එවැනිම තවත් පොරොන්දුවකි.
තිස් අවුරුදු මහවැලි සැලැස්ම කඩිනම් මහවැලි ව්‍යාපාරය බවට පත් වූ අතර ඒ ගැන ගුණඅගුණ අඩුවැඩිව කතා කළද එය සමස්තයක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක විය. නමුත්, එය කඩිනම් කිරීමට තැබූ බර සම්පූර්ණ කිරීමට තැබුණේ නැත. කඨෝර මහපොළොව දියෙන් තෙත් කොට, දිය ඇති තැන් මෙන්ම නැති තැන්වලද අස්වද්දනු දැකීම මේ ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන්ගේද විටින් විට ඒ ව්‍යාපෘතියට කර ගැසූ, උර දුන් වගකීම් උසුලන්නන්ගේද ඒකායන සිහිනය විය. අතරින් පතර විවිධ දේශපාලන හැලහැප්පීම්, ලකුණු දමා ගැනීම්, දේශපාලනික අවදානම් ගැනීමට ඇති බය, ඇතැමෙක් ඉස්මතු වේ යැයි යන බිය වැනි කරුණු හේතුවෙන් මේ ව්‍යාපෘතිය උපරිම සාර්ථකත්වය කරා ගෙන ඒමේ දී බාධා එල්ල විය. කෙටියෙන්ම කියතොත්, මහවැලිය ව්‍යාපාරයටද යටකී තොරතුරු පනත, විගණන පනත, විධායකය අහෝසි කිරීම වැනි ධානාත්මක දේවලට අත්වුණු ඉරණමම අත් නොවූවා නොවේ.
කඩවුණු පොරොන්දු
මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ යෝජනාව ඉදිරිපත් වී මේ වන විට දශක පහකටත් අධිකය. තවත් විධියකින් කිවහොත් සියවස් බාගයකි. දසක පහ තිස්සේම අඩුවැඩි වශයෙන් දේශපාලන වේදිකාවට, සිතියම් ලකුණුකිරීම්වලට හා ජනතාවගේ සිතේ තැන්පත් කෙරෙන සිහිනයකට පමණක්ම එම ව්‍යාපෘතිය සීමා විය. නමුත්, කලින් කලට වගකීම් භාර වූ විෂයභාර අමාත්‍යවරුන් හා කලාපය භාර ජනතා නියෝජිතයින්ගෙන් ඉටු වූ වගකීම්වල තරම ඉක්මවා සහ සැලකිල්ල අභිභවා, මේ ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂයෙන් කල්පනා කරන්නට වූයේය. දේශපාලන හැලහැප්පීම්, කැපිළි කෙටිලි මැද දිවි හිමියෙන් මේ වෙනුවෙන් ඔහු සටන් කරන්නේද එහෙයිනි.
වර්ග කිලෝමීටර 768ක පමණ වපසරියක් ජලයෙන් තෙත් කෙරෙන මෙම ව්‍යාපෘතිය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් පමණ වේ. දේශපාලනික පුරසාරමක් නොවන මෙම ප්‍රමාණය හරියටම ගණනින් අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් පමණ වේ. මෙලෙස එක්රැස් කරන ජලය උතුරුමැද, වයඹ, නැගෙනහිර හා උතුරු පළාත් සඳහා යොමු කිරීමට පියවර ගැනේ. යටකී උතුර නැගෙනහිර වයඹ හා උතුරු මැද යන පළාත් හතරම සැලකෙන්නේ වියළි කලාපයට අයත් ප්‍රදේශ ලෙසයි. අද වන විට වසරේ වැඩි කාලයක් නියගයෙන් පීඩා විඳින වැසියන් සිටින කලාපයක් බවට පත්ව ඇති මෙම කලාපයේ ගොවිතැන් බතට පමණ නොව ඇතැම් කාල වලදී උයා පිහා ගැනීමට හා බීමට පවා ජලය නොමැති තත්ත්වයක් උදා වේ. එවැනි කාලවල දී විධිමත් ජලය ඒකරාශී කිරීමේ ක්‍රමවේදයක් නොවූයෙන් වැව් අමුණු පවා සඳී යන්නේ ඉතා ඉක්මනිනි. රටේ එක් පසෙක තත්ත්වය එසේ වුවද තවත් පසෙකින් රට මැදින් උත්පාදනය වන ජල සම්පත මහා සාගරය වෙත ගලා යන්නේ උපරිම පලප්‍රයෝජන නොගත් පසුබිමකය.
උමං මාර්ග තුනක්
සාර්ථකව ජනතා ප්‍රතිලාභ වෙනුවෙන් විවර වන මෙම මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට අනුව, අභිනවයෙන් ඉදිකෙරෙන විශාල හා දීර්ඝ උමං මාර්ග තුනක් ඔස්සේ මෙම කලාපය වෙත ජලය රැගෙන යාමට නියමිතය. එමගින් ඉදිවන නව මහ වැව් ගණන අටකි. තවද මෙමගින් එල්ලංගා පද්ධති ඇතුළු වැව් 2,000ක් පමණ ජලයෙන් පෝෂණය වීමට නියමිතය. මෙම ලොකු කුඩා වැව්වල වසර පුරා අඛණ්ඩව ජලය රඳවා තබා ගැනීමේ හැකියාව නිසාම, හෙක්ටයාර 84,000ක පමණ භූමියක අලුතෙන් යල හා මහ යන දෙකන්නයේම ගොවිතැන් හා වගා සිදු කිරීමේ පහසුව උදා වේ.
ඒ අනුව, කාලගුණික විපර්යාසයන්, වැහි රටාවේ සිදුව ඇති වෙනස් වීම් හමුවේ උද්ගතව ඇති අභියෝග, අසාමාන්‍ය හා අනපේක්ෂිත කාලයක් පුරා පවතින නියඟය ආදී ජලය හිඟ වීමේ ගැටලු වලට පමණක් නොව, අතිරේක වර්ෂා ජලය කළමණාකරණය කිරීමේ දුර්වලතා හේතුවෙන් හට ගන්නා හදිසි ගංවතුර වැනි ගොවියන් හා පුරවැසියන් මුහුණ දෙන අර්බුද ගණනාවකට ද සාර්ථක විසඳුම් ලැබෙනු ඇත.
බහුවිධ අරමුණු
මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හුදෙක් ගොවිතැන වෙනුවෙන් ජලය සපයන ජල යෝජනා ක්‍රමයක්ම නොවේ. මෙමගින් සැකසෙන පානීය ජලය දැනට වියළි කලාපයට විශාල අභියෝගයක්ව ඇති පිරිසිදු පානීය ජල අවශ්‍යතාවටද විසඳුමක් ලබා දේ. දැනට මූලය හඳුනානොගත් වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා මූලිකම අවශ්‍යතාව ලෙස සැලකෙන පානීය ජලය මෙමගින් ලබා දීමට හැකි වීම එම ප්‍රදේශයේ ජනතාව ලබන විශාල ලාභයකි. එපමණක් නොව, දැනට වකුගඩු රෝග අවදානම් දිස්ත්‍රික්ක ලෙස ප්‍රකාශිත දිස්ත්‍රික්ක දොළහෙන් අටකට වැඩි ගණනක් මෙමගින් ඍජුවම ආවරණය වනු ඇත.
මහවැලි ව්‍යාපෘතියේ අවසන් හා උසම කඩුල්ල පැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපතිවරයා හමුවේ උද්ගත වූ පළමු ප්‍රශ්නය නම් මුදල්ය. සංකල්පීයව ගොඩ නැගෙන මෙවැනි ව්‍යාපෘති සංකල්ප ලෙස ම පරව යන්නේ ඒවා සාර්ථක කිරීමට අවශ්‍ය සෙසු වුවමනාවන් සපුරා ගැනීමට ඇති නොහැකියාව නිසාය. ඇතැම් ව්‍යාපෘති සිතියම් හා සිතිවිලි වලට පමණක් සීමා වී ඇත්තේ ඒ නිසාය. ඒ සිතිවිලි සැබෑ කළ පසු ඒවාට අයිතිවාසිකම් කියන්නට දස දහස් ගණන් පෙළ ගැසීම වෙනම කරුණකි. එය සංස්කෘතික ලක්ෂණයකි.
කෙසේ නමුත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, අවිවාදයෙන්ම මෑත ඉතිහාසයේ නිර්මිත මිල අධිකම ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වියදම වූ රුපියල් කෝටි 23,000 සොයා ගැනීමේ විශ්වසනීය සංග්‍රාමය ආරම්භ කරන්නේ නොබෝ කාලයේදීය. ඉතාම කෙටි කාලයක් තුළ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, හරිත දේශගුණික අරමුදල, චීන ජපාන හා නෙදර්ලන්ත රාජ්‍යයන්, සවුදි හා කුවේට් අරමුදල් මෙන්ම ඔපෙක් සංවිධානය පවා මේ සඳහා නැඹුරු කර ගැනීමට ඔහු සමත් විය. විවිධ අදියර වලදී ඔවුන්ගෙන් මෙතරම් විශාල සහයක් ලබා ගැනීමට සමත් වූයේ ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාව හා පවත්වාගෙන යන්නා වූ විශ්වසනීය මිත්‍රශීලීභාවය නිසාය.
ලෝක ප්‍රජාවගේ ශක්තිය සහ දෙස් විදෙස් ඉංජිනේරුවරුන්ගේ විස්කම් මහිමයෙන් මෙලෙස ඉදි වන ව්‍යාපෘතිය හරහා ජලය ඝන මීටර් දසලක්ෂ 818ක පමණ වූ ජලකඳකට නව වටිනාකමක් ලබා දී මෙරට සහෝදර ජනතාවගේ සාපිපාසාව, බව බෝග වැවීමේ වුවමනාව හා නේකවිධ ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කළමනාකරණය කෙරේ.
වැදගත් සංධිස්ථානයක්
කෙසේ නමුත්, අද අප එළැඹ තිබෙන්නේ ලංකා වාරි, කෘෂි, සංවර්ධන, ආර්ථික හා සංස්කෘතික පමණක් නොව දේශපාලනික ආදී සෑම අංශයකම පාහේ ඉතාම වැදගත් සංධිස්ථානයකටය. එනම් මහවැලි ව්‍යාපෘතිය දැන් දිනුම් කණුව වෙත පැමිණ ඇතැයි අපට කියා සිටිය හැකි අවස්ථාවකි. ජනාධිපතිවරයා රට කරන්නේ බොහෝ අයගේ අවලාද ආක්‍රෝශ පරිභව පමණක් නොව නොනිම් නින්දා අපහසාස මධ්‍යයේ බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. අවාසනාවක තරම නම් ඒ එකක් වත් මෛත්‍රී කළ වැරදි නොවේ. නමුත්, ඒ චෝදනා කරන සියල්ලන්ම උවමනාවෙන් වාගේ මගහරින කොටසක් ඇත. එනම්, මෛත්‍රී කළ කොටසයි. මෙතෙක් කී කතාන්දරය අයිති වන්නේ මෛත්‍රී කළ කොටසටය. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතා දරුවෙකු, තරුණයකු, මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍යවරයකු ලෙස පමණක් නොව ජනාධිපතිවරයා ලෙස ද දුටු සිහිනය අදින් සපල වේ. ඒ සිහිනය එසේ සපල වන්නේ, යථාර්ථයක් වූ දේ ගැන තවදුරටත් සිහින දැකිය යුතු නොවන නිසාය. අදින් පසු, සැබෑ වුණු මහවැලි සිහිනයේ ප්‍රතිලාභ භුක්ති විඳීමේ භාග්‍යය අප සියලු දෙනාට පමණක් නොව උපනූපන් පරපුරටද හිමි වනු ඇත. ජනාධිපතිවරයාට සහ ඊට උරදුන් අයට ඒ සතුටු කඳුළු දෙස බලා සැනසිය හැක.
[භාරත තෙන්නකෝන්]

http://www.resa.lk/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/2018/jul/23/2577/%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92

Monday, July 16, 2018

"මෛත්‍රීගේ වකුගඩු සටනට මොකද වුණේ.."

මූලය හඳුනානොගත් නිදන්ගත වකුගඩු රෝග නිවාරණය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වූ බව පෙණෙන්නට තිබුණේ දැන් දැනක නොවේ. ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා වීම නිසා ද ගොවිගම්මාන මූලික දිස්ත්‍රික්කයක් නියෝජනය කළ නිසා ද ජනාධිපතිකමක් ගැන කිසි සලකුණක් හෝ නැති කාලයේ දී පවා ඔහු ඒ ගැන කතා කළේය. ඒ වෙනුවෙන් වැඩ කළේය. ජනාධිපතිවරණ සමයේ දී ප්‍රචාරණ වියදම් අවම කොට ඒවා ජාතික වකුගඩු අරමුදලක් වෙත යොමු කරන බවට වන යෝජනාවක් හරහා වකුගඩු රෝග නිවාරණය හා මෛත්‍රී අතර වූ සබැදියාව ජාතික මාතෘකාවක්ව කරළියට පැමිණියේය.

විටින් විට ඒ සම්බන්ධයෙන් විවිධ දේ තැන් තැන්වල සිදු වූ බව පෙණෙන්නට තිබුණාත්, අද වන විට එහි සැබෑ තත්ත්වය කුමක්ද, අප කල්පනා කළ යුතුය. එය හුදු කතාබහකින් පමණක් නැවතී ඇතිද. නැතිනම්, දැන් ඒ ගැන හාන්කවිසියක් නැද්ද. ඉතිහාසය පුරාම අප දුටුවේ ඔපීනියන් දීමට කප්පරක් මහ සෙනඟ සිටියත් වැඩ කරන්නට එකෙක් නැති බවයි. ජනයාත් ආණ්ඩුවත් බොහෝ දේ ගැන කෙරෙන්නට වුවමනා දේ කීවද කරන්නට යුහුසුළු වූ බව නොපෙණනි. මෛත්‍රීගේ වකුගඩු සටනටත් අද අත්ව ඇත්තේ එවන් ඉරණමක්ද.

වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ජාතික වැඩසටහනක් හා ආයතන ව්‍යූහයක් ස්ථාපිත වන්නේ ඔහු ධුරයට පත්ව කෙටි කාලයකිනි. එසේම, ඒ වෙනුවෙන් විශේෂිත අරමුදලක් පිහිටුවා ඊට කුදු මහත් ව්‍යාපාරිකයින්ගේ, ධානපතීන්ගේ හා ත්‍යාගශීලීන්ගේ සහාය ලබා දෙන ද හෙතෙම ආරාධනා කළේය. ආරාධනය පිළිගත් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සිය මුල්‍ය, ශ්‍රම හා නේකවිධ දායකත්වය ලබා දුන්නේය. ඔවුනොවුන්ගේ දායකත්වය කොතෙක්දැයි හරියටම කියන්නේ නම්, ආණ්ඩුවෙන් ලැබෙන මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් ගැන වද නොවී වකුගඩු රෝග නිවාරණ වැඩසටහනේ දේවල් ඉටු කරන්නට තරම් ශක්තියක් දැන් දැන් එම අරමුදලට ලැබෙමින් තිබෙන බව දැනගන්නට තිබේ.

මුදල් තිබූ පමණින් ප්‍රශ්න විසඳිය නොහැක. ඊට නිශ්චිත වැඩපිළිවෙලක් තිබිය යුතුය. වකුගඩු රෝග නිවාරණයට නම් මේ මොහොතේ කළ යුතු හොඳම දේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා නිර්දේශය වූයේ පිරිසිදු පානීය ජලය ලබා දීමයි. ඒ අනුව, මෙකී රෝගය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක එකොළහක ජනතාව වෙනුවෙන් අවස්ථානෝචිතව වෙන් වෙන් වූ තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

ජනතාව වෙත ප්‍රතිලාභ සාමූහිකව භුක්ති විඳිය හැකි පිරිසිදු පානීය ජලය ලබා දීමේ සුදුසුම මාර්ගය නළ ජල සැපයුමයි. නමුත්, සෑම පුද්ගලයකුටම නළ ජලය ලබා දීම ප්‍රායෝගික නොවේ. එසේම, ඒ වෙනුවෙන් වැය කළ යුතු මුදල හා වැය වන කාලය ඉතා ඉහළය. එවැනි පසුබිමක මේ වෙනුවෙන් ලෝකය පුරා භාවිත කෙරෙන විකල්ප විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන්නට ජාතික වකුගඩු රෝග නිවාරණ වැඩසටහනට ද සිදු විය.

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති (ආර්.ඕ. ප්ලාන්ට්ස්) කෙරෙහි අවධානය යොමු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. සාමාන්‍යයෙන් මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක් ඉදිකිරීමට විශාල මුදලක් වැය වුව ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම හා තාක්ෂණික දායකත්වය ඇතිව රුපියල් ලක්ෂ පහළොවක පමණ වියදමින් එම පද්ධතියක් සාදා නිම කිරීමේ හැකියාව උදාවී තිබේ. ඒ අනුව එවැනි එක් ඒකකයකින් පුද්ගලයින් 3,000කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගත හැක. මෙතෙක් මෙලෙස ස්ථාපිත කර ඇති ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ප්‍රමාණය හාරසිය පණහකට ආසන්නය. එමගින් ලක්ෂ එකොළහක පමණ ජනතාවක් ඍජු ප්‍රතිලාභ භුක්ති විඳියි. මේ වෙනුවෙන් මෙතෙක් දරා ඇති වියදම රුපියල් මිලියන හත්සියයකට ආසන්නය.

අභියෝගයට මුහුණ පා සිටින කලාපයන් සැලකීමේ දී දක්නට ඇති පොදු ලක්ෂණයක් නම්, ඒවායේ නිවාස ඒකක අතර දුර ග්‍රාමීය සාමූහිකත්වයක් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවන තරමේ දුරක් බවයි. එවැනි තත්ත්වයක් හේතුවෙන් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති වැනි සාමූහික යාන්ත්‍රණයකින් ප්‍රතිලාභ ලැබීම අපහසු වන අවස්ථාවක දී භාවිතයට ගැනීමට වකුගඩු රෝගී පවුල් සඳහා වැසි ජල ටැංකි ලබා දීම ද මේ වන විට ක්‍රියාත්මකය. වර්ෂාවෙන් රැස් කර ගන්නා ජලය පිරිසිදු කර භාවිත කරමින් පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා ප්‍රතිලාභීන් ප්‍රමාණය දහසකට අධිකය.

ගෘහස්ථ ජල පෙරණ ලබා දීමේ වැඩසටහන වකුගඩු රෝගයෙන් ජනතාව මුදා ගැනීමේ අරමුණින් හා දැනටමත් රෝගයට මුහුණ පා සිටින ජනතාව වෙත පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණෙන් ක්‍රියාත්මක තවත් ව්‍යාපෘතියකි. ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති සඳහා ප්‍රවේශ වීමේ හැකියාව අඩු පුද්ගලයින් වෙනුවෙන් පහසුව සැලසීම මෙහි අරමුණයි. කාර්මික තාක්ෂණ ආයතනය මගින් නිර්මාණය කෙරෙන මෙම ජල පෙරණයක වෙළඳපොළ වටිනාකම රුපියල් 4,700කි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වකුගඩු රෝගීන්ගේ පහසුව හා ආර්ථික තත්ත්වය සලකා ඒ සඳහා වැයවන මුදල සම්පූර්ණයෙන්ම වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් දරනු ලබයි. ඒ අනුව මෙතෙක් ප්‍රදානය කර ඇති එවැනි ඒකක ප්‍රමාණය පන්දහසක් පමණ වේ. මෙමගින් ප්‍රතිලාභ ලබන පුද්ගලයින් ප්‍රමාණය විසි දහසකට අධික වන අතර මෙවැනි පද්ධතියක් පවුලේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා දක්වන දායකත්වය ඉතා විශාලය.

එසේම මේ වන විටත් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන වෙත යොමු වී ඇති මෙවැනි ඉල්ලීම් වෙනුවෙන් කඩිනම් ප්‍රතිචාර දක්වමින් සිටියි.

වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සටන පිරිසිදු ජලය ලබා දීම, රෝගය වැලැක්වීම හා ප්‍රතිකාර සිදු කිරීම පමණක් නොව එවැනි පවුල් වල ආර්ථික, සමාජ, සංස්කෘතික තත්ත්වයන් නගා සිටුවීම වෙනුවෙන් ද විහිදී ඇත. මේ වන විටත් ඒ සඳහා වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක වේ.

වකුගඩු රෝගී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් විශේෂිත ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ. පවුලේ ඇති අගහිගකම් හා පවුලේ ප්‍රධාන ආර්ථික සාධකය වන මව හෝ පියා හෝ දෙදෙනාම වකුගඩු රෝගයට ලක්වීම හේතුවෙන් නිවසේ ඇති වන ආර්ථික අපහසුතා හේතුවෙන් උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබූ හා උනන්දුවක් ඇති දරුවන් පවා පාසල් හැර යාමේ තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීම සඳහා එක් සිසුවෙකු වෙනුවෙන් මෙලෙස මාසිකව ලබා දෙන ශිෂ්‍යත්වයක වටිනාකම රුපියල් 3,000කි. මේ දක්වා එලෙස ප්‍රදානය කර ඇති ශිෂයත්ව වල වටිනාකම රුපියල් මිලියන පහ ඉක්මවයි.

එසේම, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් තවත් අමාත්‍යාංශය කිහිපයක් සමග එක්ව මාසිකව රුපියල් 5,000ක ජීවනාධාර දීමනාවක් ලබා දීම ද මේ වන විට සිදු කෙරේ. මින් පෙර රුපියල් 3,000ක්ව පැවති එම අගය ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි පන්දහස දක්වා ඉහළ නැංවීය. වකුගඩු රෝගී පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට හා නිවාස අලුත්වැඩියාව වෙනුවෙන් නිවාස ආධාර වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ 2017 වසරේ දී ප්‍රතිලාභීන් 1,757 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 406 ක් පිරිනැමූ අතර 2018 වසර සඳහා ද රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. දිස්ත්‍රික්ක ගණනාවක පැතිර යමින් තිබෙන මූලය හඳුනා නොගත් මෙම වකුගඩු රෝගය නිවාරණය කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මහාපරිමාණ ජාතික මට්ටමේ ව්‍යාපෘතිද ගණනාවකි.

මිනිසෙකුගේ ජීවිතය පිළිබඳ අපේක්ෂාව හා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙත පිළිබඳ බලාපොරොත්තුව එක් නිමේශයකින් හෝ දීර්ඝ කිරීමට සමත් වන්නේ නම් එය කවරෙකුට හෝ කළ හැකි මහඟු පින්කමකි. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා සිය පුද්ගලික අවධානයම ඒ වෙනුවෙන් යොමු කරමින් මෙලෙස මැදිහත්වීම දේශපාලනික භේදයකින් තොරව අප සියලු දෙනාගේ ප්‍රශංසාවට භාජනය විය යුතුය.


(භාරත තෙන්නකෝන්)
Resa Newspaper - රැස පුවත්පත
Bharatha Prabhashana Thennakoon

Wednesday, May 23, 2018

නොසැලකිල්ලට භාජනය වූ, පාසල් දරුවෝ.



හොඳම දේ දරුවන්ටය යන්න ඉතාම ආකර්ශනීය වාක්‍යයකි. එසේ වුවද, එය සිත්ගන්නාසුළු තරමෙන්ම යථාර්තවත් වන්නේද. මේ ප්‍රශ්නය ඇසූ සැණින් සිහි වන්නේ ළමා අපචාර, දූෂණ, හිංසා වාගේ ප්‍රචණ්ඩ හා මහා පරිමාණ අවුල්ය. ඔව් ඒවාද එසේය. නමුත්, බැලූ බැල්මට ඒ තරම් ප්‍රචණ්ඩ හා තිගැස්සෙනා සුළු දේ නොවූවද තවත් කප්පරක් අවුල් මේ මහපොළවේ ඇත. ඒවා ගැන එක්කෝ හෙවිල්ලක් බැලිල්ලක් නැත. නැත්නම්, පෙණුනත් නොපෙණෙනා ගානට සිටියි. එක්කෝ තාම බර මදිය.

පළමුව, ලංකාවේ පාසල් ළමුන් ප්‍රවාහන සේවා වාහන ගැන කතා කරන්නට මා කැමැත්තෙමි. මෙරට ඇති අබලන්ම හා පැරණිතම වාහන සාමූහිකව භාවිත වන්නේ කාරණා තුනක් වෙනුවෙනි. ඉන් එකක් වතුකරයේ හා සීමිත ප්‍රදේශවල මගී ප්‍රවාහනයටය. අනෙක් අතට ඒවා භාවිත වන්නේ කාර්යාල ප්‍රවාහන සේවා සඳහාය. ඒවා ද ප්‍රමාණයෙන් සීමිතය.

යටකී කාණ්ඩයේ වැඩිම වාහන ගණනක් සාමූහිකව භාවිත වන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ, ස්කූල් වෑන් සඳහාය. එය කොළඹ සිට අම්පාරටත් යාපනයේ සිට ගාල්ලටත් පොදු තත්ත්වයකි. අංක තහඩු අනුව ම ඒවා බොහෝමයක් අවුරුදු විස්සකට තිහකට වඩා පැරණිය. නමුත්, පහසුකම් හා තත්ත්වයන් අනුව ඒවා ඊටත් වඩා අබලන්ය. ආසන, දොරවල්, බඳ හා චැසිය ගත්තාත් ඇත්තේ ඉතාම ශෝකාකූල මට්ටමකය. ඒවායේ ප්‍රවාහනය කෙරෙන සිසුන්ගේ ප්‍රමාණය හා යෝග්‍ය පුද්ගල ධාරිතාව අතර ඇත්තේ විශාල පරතරයකි. ඒවා බොහෝමයක තිරිංග, පැති සංඥා ආදිය වෙනුවෙන් දැල්විය යුතු විදුලි බුබුළු දැල්වෙන්නේම නැති තරම්ය. මේවායේ ඇත්ත නැත්ත, පාසල් වෑන් රථ ගාල් කර ඇති ඕනෑම රථ ගාලකට හොස්ස එබුවහොත් දැක බලා ගැනීමේ හැකියාවක් උදාවනු ඇත. ඒ යන ගමන දඩ පොතක් රැගෙන ගියහොත්, සීආර් පොතක් පිරෙන්නට ලියන්නට අඩුපාඩු සොයා ගන්නට හැකිවනු ඇත. පාසල් වෑන් රථ ඇසුරේ අනතුරක් හෝ මරණයක් පමණක් සිදු වුවහොත්, ඒ දින කිහිපයේ දී පමණක් මේවා ගැන ටිකක් වැඩිපුර කතා කර, පසුව කාලයා සමඟ ඒ කතිකාවන්ද දියවී යයි.

නිවසේ භාවිතයට ඉහළ ආරක්ෂාවක්, ඉහළ පහසුකම් හා සුපිරි පන්නයේ ගුණාංගයන් ඇති වාහනයක් මිලදී ගැනීමට උත්සුක වන දෙමව්පියෝ ස්කූල් වෑන් එකක් තෝරා ගැනීමේ දී ඒ තරම් උනන්දු වන්නේ ද යන්න ගැටලුසහගතය. ආණ්ඩු හෝ ඊට අදාල ආයතන ද ඉඳහිට මේවා ගැන සොයා බැලීමට කඩා පැන්නද ඒවා නිතර නිතර සිදු වන බවක් පෙණෙන්නට නැත.
මෙවලමක් ලෙස වාහනය පමණක් නොව, ඒවායේ කාර්ය මණ්ඩල වලද ඇත්තේ ඒ තරම්ම අවුලකි. ‘වෑන් එකේ අංකල්ලාගේ’ ප්‍රමිතිය ගැන නිනව්වක් තිබිය යුතුය. අවම වශයෙන් ඔවුනොවුන්ගේ රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකයවත් පරීක්ෂා කරනවාදැයි අපි නොදනිමු. ඔවුන්ගේ විනය, කළමණාකරණ හැකියාව පමණක් නොව ඔවුන් මොන ජාතියේ මිනිස්සුදැයි සොයා බැලිය යුතුය. ඇදුමේ පැළදුමේ සිට විට කනවාද, කුණුහරප කියනවාද, ළමුන් මහා පරිමාණයෙන් නැතත් සුළු පරිමාණයෙන් හෝ අපහරණය කරනවාද යන්න ගැන විනිශ්චය කළ යුතුය.

අනෙත් එක ඉස්කෝලේ කැන්ටිම. කඩචෝරු එපා., කෙටි ආහාර එපා., ආදී වශයෙන් මොන තරම් දේ කීවාත් යථාර්තවාදී සත්‍යය නම් අදටත් ඉස්කෝලේ කැන්ටිම මේ අභියෝග හමුවේ ඍජුව නැගී සිටින බවයි. දරුවන්ගේ ආහාර වේලේ ගුණාත්මකභාවය හා සමබල ආහාර වේලක් සම්බන්ධයෙන් වන කැම්පේන් මොනතරම් ප්‍රබල වුවත්, පහසුව හා ලේසිය වෙනුවෙන් කෙරෙන තෝරා ගැනීම් ඊට වඩා ප්‍රබලය. එක් පැත්තකින් දෙමව්පියන්මත් අනෙක් පැත්තෙන් දරුවන්ගේ දෛනික භාවිතාවන් අනුවත් මේ තෝරා ගැනීම් සිදු කිරීමට පොළඹවා ඇත. පාසල් කැන්ටින් තුළ මාළුපාන්, බර්ගර්, සැන්ඞ්විච් විකිණෙන තරමට කව්පි, මුංඇට හෝ හදුනාගත් පෝෂදායී ආහාර පැකට් නොවිකිණීම මීට නිදසුන් සපයනු ඇත. ඒ පමණක් නොව, නම් වශයෙන් කිවහැකි පාසල් කීපයක හැර අනෙක් පාසල් වල කැන්ටින් / ආපනශාලාවල තත්ත්වයම යළි සලකා බැලිය යුතු මට්ටමක පවතින්නේය යන්න ඒවා දකිනවිට උපදින හැගීමයි. කාර්යාල හෝ ආයතන ආපනශාලා වල තත්ත්වය ගැන සෙවීමට යුනියන්, සුභසාධක සංගම්, පරිපාලනය ආදීන් සිටියත් පාසල් තුළ ඒවායේ ප්‍රායෝගික තත්ත්වය ඊට වෙනස්ය. ඒවා සොයා බැලිය යුතුය. ඒවා නියාමනය කළ යුතුය.

තොග ගණනක් එක්වර ලියා, තොගයම එකට පැත්තකට වීසි කරන්නට සිත් පහළ කරනවා වෙනුවට මේ දෙක ගැන පමණක් ලියා නවත්වමි.

Bharatha Prabhashana Thennakoon
Resa Newspaper - රැස පුවත්පත

Wednesday, May 16, 2018

තව මොනවාද නිකං දෙන්න පුළුවන්



ආණ්ඩුව තවත් ලක්ෂ ගණනකට සමෘද්ධි සහනාධාර දෙන්නට යන බවට වන කසුකුසුවක් අසන්නට ලැබීමි. සතුටුය. අප්‍රමාණව සතුටුය. තව තවත් සහනාධාර ලබා දී, මුළු රටම රජයේ නොමිලේ දීමනා වලින්ම යැපෙන රාජ්‍යයක් වී සියල්ලෝ සැපෙන් සනීපයෙන් ‘ආතල් එකේ’ ඉන්නේ නම් ඒ තරම් ප්‍රීතියක් වෙන කොහේද. ඉන්ද නොනැවතී, මුද්‍රණ ආයතන වෙත මහා පරිමාණ ටෙන්ඩර් දී මුදල් අච්චු ගැසීම විමධ්‍යගත කළ යුතුය. එතකොට සියල්ලෝ මුදල් කොළ වල පිණුම් ගසමින් සතුටින් ජීවත් විය හැක. වුවමනා වන්නේ, ඊළග ඡන්දය ඉහළින්ම දිනීම නම් ඒකත් කර ගත හැකි වනු ඇත.

නමුත්, අහෝ මේ රටේ අනාගතය.

රජයක් සිය රාජ්‍යයේ ජනතාවගේ සුභසාධනය සම්බන්ධයෙන් මැදිහත් විය යුතුය. එහි කිසි තර්කයක් නැත. නමුත්, අප වැනි තත්ත්වයක ඉන්නා රාජ්‍යයන්ගේ ආණ්ඩු ඒවා කළ යුතු සීමාවක් තිබිය යුතුය. සමෘද්ධි හෝ වේවා ජනසවිය හෝ වේවා, ආණ්ඩු විසින් හදුන්වාදෙන මෙම වර්ගයේ ධාන පාරමිතා ඕනෑවට වඩා ප්‍රමෝට් කිරීම රටක දියුණුවට උචිත නොවන බව පෙණේ. ආණ්ඩු කළ යුත්තේ ඒවා වෙනුවෙන් ජනතාව දිරිමත් කිරීම නොව, ජනතාව ඒවාට වෛර කරන, ඉන් දුරස්වන තත්ත්වයට පත් කිරීමය. සමෘද්ධි ලාභියෙක් වීම ලැජ්ජාවට කාරණයක් බවට පත් කළ යුතුය. සහනාධාර ලබන්නෙකු වීම අසරණයින්ගේ සංඛේතයක් කළ යුතුය. කළ යුත්තේ, උපයා ගැනීමට හැකි මිනිසෙක් වීමට අවශ්‍ය වේදිකාව තනා දීමයි. ඊට උනන්දු කිරීමයි. ඒ මිනිසුන් අගය කිරීමයි.

නිදහසුනක් ලෙස, ගොවියාට අවශ්‍ය ජලය ආණ්ඩුව නොමිලේ දිය යුතුය. පොහොර ටිකට සහනාධාර දිය යුතුය. බීජ නොමිලේ හෝ ලාභදායී මිලට ලබා දිය යුතුය. වෙනත් සේවා හා භාණ්ඩ වෙනුවෙන් සහන දිය යුතුය. අවසානයේ දී අස්වනු නෙළාගත් පසු, ආණ්ඩුව ඒවා ගොවියා තෘප්තිත් වන මිලකට මිලදී ගැනීම ද කළ යුතුය. සංසාර චක්‍රය වාගේ දශක ගණනාවක් තිස්සේ මේ චක්‍රය නොනැසී සිදු වෙමින් තිබේ. වී අල බතල වට්ටක්කා ළුෑණු මිරිස් ආදී හැම එකකම තත්ත්වය එයයි. සහනාධාර යැපුම් ක්‍රමය මහපොළවේ තිබෙනා තාක්කල් ගොවියෝ ඔළුව උස්සන්නේ නැත. ආණ්ඩුවට ඔළුව උස්සන්නටද නොහැකිය.

පාසල් හෝ සරසවි ශිෂ්‍යයින්ට පෙළපොත්, නිළඇදුම් හෝ වෙනත් පාසල් උපකරණ නොමිලේ දීම වෙනම කතාවකි. ආර්ථික අපහසුතා හේතුවෙන් අධ්‍යාපනයෙන් දුරස්වීම වලක්වා ගැනීම වෙනුවෙන් පාසල් දරුවන් වෙනුවෙන් කෑම බීම ආදී සියලු පහසුකම් දුන්නත් කමක් නැත. ඒවා වියදමකට වඩා රටකට අති ආයෝජනයකි. නමුත්, වැඩිහිටි ගැහැණුන්ට පිරිමින්ට මුදල් දොළපදේනි දීමේ ඇති අනාගත ආයෝජනය කුමක්ද. ඔවුන් ඉන් මිදෙන්නේ කවදාද. පිනට කෑම හුරු වීමේ නරකතම ප්‍රතිඵලය වන්නේ එය පාරම්පරික පුරුද්දක් හා උරුමයක් කර ගැනීමයි.

මෙහි ඇති අනෙක් අවුල ඉතා භයානක සහ පීඩාකාරීය. ලෝකයේ හතර වටේ හැම තැනකටම සත පණහ රුපියලේ සිීමාවේ සිට මිලියන් බිලියන් ගණන් දක්වා ණය වී සිටින රටකි. ඒවා ගෙවිය යුතුය. ඒ අතර වාරයේම රට ඇතුළේ ඉන්නා සහන දිය යුතු හා නොයුතු කප්පරක් පිරිසට එකඑක වර්ගයේ සහනාධාර හා දීමනා දෙයි. ඒවා වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අති විශාලය. මේ සියලු වියදම් පියවීමේ වගකීම ඇත්තේිහම්බ කරණ’ ජනතාවටය. වැඩ කරන ජනතාවටය. අවුරුදු දහතුනක් පාසල් ගොස්, උසස් අධ්‍යාපනයක් හෝ වෘත්තීය අධ්‍යාපනයක් ලබා ඒ හරහා ඉහළ නිපුණත්වයක් අතකර ගත් මිනිස්සු ඉහළ ආදායමක් උපයයි.තමාගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කිරීමේ කරුමයට වාගේ ඔවුන්ට ආපස්සට උපයන විට ගෙවන බදු, කන විට ගෙවන බදු, බොන විට ගෙවන බදු, වැසිකිලි බදු, ආශ්වාස බදු ප්‍රාශ්වාස බදු ආදී හැටහුට හමාරක් බදු ගෙවයි. නමුත්, පුළුවන් කාලයේ යමක් ඉගෙන නොගත්, වෘත්තීය නිපුණත්වයක් ලබා නොගත්, හරිහමං ආදායමක් උපයා ගැනීමට මහන්සි නොවූ මිනිස්සු අර මිනිස්සුන්ගෙන් එකතු කර ගත් බදු සල්ලි මාස්පතා බැංකු ගිණුමකට දමා ගනියි. කාලයෙන් කාලයට, ‘වැඩි කරපියව්’ කියා ආඩම්භරයෙන් ඉල්ලයි. එතකොට ආණ්ඩුව, ‘බදු ඉහළට’ කියා හෙඩිමක් දමා කීයක්හරි එකතු කරගෙන‘වැඩි කරා’ කියා හෙඩිමක් දමයි.

පිළිගත්තාත් නැතත් මේ ආමන්ත්‍රණය කරන්නේ ඡන්ද පදනමයි. දේශපාලනඥයින් ඊළග ඡන්දය ගැණත් රාජතාන්ත්‍රිකයින් අනාගත පරම්පරාව ගැනත් සිතන බවත් අපි දේශපාලනඥයින් නොව රාජතාන්ත්‍රිකකයින් යැයි ස්වයං පිදුම් ලැබීමකින් බලයට ආ ආණ්ඩුවක සාමාජිකයින් දැන් හොයන්නේ ‘තව මොනවාද නිකං දෙන්න පුළුවන්’ කියා මිස, ඊළග පරම්පරාව ගැන නොවන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. 

Wednesday, May 9, 2018

"එන්ජිම වෙනමත් චැසිය වෙනමත් දුවන වාහනයක්.."



එන්ජිම වෙනමත් චැසිය වෙනමත් දුවන වාහනයක් වෙතොත්, පිම්මක් දෙකක් පණිනවා හැර ඒ වාහනයට වෙන ලොකු ගමනක් නැත. රටවැසියා වෙනමත් පාලකයන් වෙනමත් දුවන රටකටද අත්වන්නේ එවැනිම ඉරණමකි. බැලූ බැල්මට දැන් අපේ රටට සිදුවෙමින් තිබෙන්නේ චැසිය වෙනමත් එන්ජිම වෙනමත් දුවන වාහනයක භූමිකාව රග දැක්වීම යැයි කවරෙක් හෝ කීවොත්, එය එසේ වන බව ඔප්පු කිරීමට දරන වෙහෙසට වඩා එය එසේ නොවන බව ඔප්පු කිරීමට වැඩි ශ්‍රමයක් හා කාලයක් නාස්ති කිරීමට සිදු වනු ඇත.

මැයි දිනයේ දී වත්මන් පාලකයින් මෙන්ම නායකත්වයට පත් වීමේ විභවයක් සහිත පුද්ගලයින් හා ඔවුන්ගේ කදවුරු විසින් සිදු කළ කතා සමූර්ණයෙන්ම හෝ වැදගත්ම කොටස් යැයි වෙන් කළ පෙන්වූ කොටස් අසන්නට අවස්ථාව ලැබිණි. ඒවා යළි යළිත් අසන්නට හැකිනම් ඒ අතරින් බොහෝ අදහස්, ගැම්මෙන් කියන විට ඉහළ උද්‍යෝගීභාවයක් තිබුණත් වෙන් කර රවුම් කර ගත් විට කිසි තාර්කිකබවක්, විද්‍යාත්මකභවක් හෝ තාක්ෂණිකභාවයකින් පමණක් නොව වෘත්තීයභාවයෙන්ද තොර බව වැටහෙනු ඇත. සමහර ඒවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා පරයයි. තවත් ඒවා සංග්‍රාම සාහිත්‍යයේ එන සියලු කව් ගී පැදි පරයයි. තව සමහරුන් වේදිකාවට වී මිස්ටර් බීන්ලාට, චාලි චැප්ලීන්ලාට හඩ කවා ඇත.

රටේ ක්‍රියාත්මක සියලු රූපවාහිනී නාලිකා වලත් මුද්‍රණය වන සියලුම පුවත්පත් වලත් පළමු පිටුව වෙන් වී ඇත්තේ යටකී පාලක ආතල් වෙනුවෙන් වුවත්, ඉන් එපිට සමස්ත ඉඩම වාගේ වෙන් වී ඇත්තේ ජනතා ශෝකාලාප වෙනුවෙනි. එක්කෝ පාලම් නැත. එක්කෝ පාසල් නැත. එක්කෝ රස්සා නැත. ගොවියන්ට පහසුකම් නැත, නිෂ්පාදකයන්ට මිලක් නැත, පාරිභෝගිකයින්ට පහසු මිලට බඩු නැත, උපයන මුදල ජීවත් වීමට ප්‍රමාණවත් නැත, මිනිස්සු නැති බැරි කමට හොරා කති, තවත් අය රස්සාවට මිනී මරති. ඒ අස්සේ අතරින් පතර එකෙක් ඇමතිකමක් ඉල්ලයි. තව එකෙක් වෙන තනතුරක් ඉල්ලයි. එකම පුවත්පතක පිටු හෝ එකම රූපවාහිනියක එකම ප්‍රවෘත්ති ප්‍රකාශයක් දෙස බලා සිටියදී ඒ එකඑකක් අතර ඇත්තේ සමතුලිත හෝ තැනිතලා බවක් නොවේ.

ඉහළ පහළත් අතර මනා සම්බන්ධයක් නැත. ඉහළට පහළ වුවමනාවල්වත් පහළට ඉහළ වුවමනාවල්වත් කාරණා නොවේ. ගෝචර නොවේ. සංවේදී නොවේ. කූඹියාට චූ පාර ගංගාවක් කියන්නා වාගේ හැමෝම තමතමන්ගේ දේවල් තමන්ගේ සාපේක්ෂ මට්ටමින් මිස යථාර්ථ මට්ටමින් වටහා ගන්නේ නැත. නිදහසුනක් ලෙස, වට්ටක්කා ගොවියාට වට්ටක්කා කිලෝවේ ගණන මහමෙරකි. නමුත්, විෂය භාර ඇමතිට මහමෙරක් ලෙස දැනෙන්නේ අලුත් වීඑයිට් එකක වෙනුවට පරණ කාර් එකක වෙනුවට යාමට සිදු වීමයි. ගම්මිරිස් ගොවියාගේ ප්‍රශ්නය, ගම්මිරිස් කිලෝවක මිල ප්‍රමාණවත් නොවීම වුවත් විෂය භාර ඇමතිට ඇති ප්‍රශ්නය, දැනට ඇති ගම්මිරිස් විෂයට අමතරව තව එකක් එල්ලා ගන්නේ කෙසේද යන්නයි. අනෙක් තැන්වලත් එසේමය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයින් පසු කැබිනට් ඇමතිවරුද ඇතුළුව සෑම ක්ෂේත්‍රයක්ම පාහේ වර්ජනය කළහ. ලෝක ඉතිහාසයේම, කැබිනට් ඇමතිවරු සාමූහිකව ආණ්ඩුවට එරෙහිව වර්ජනය කළ පළමු හෝ ඉතාම දුර්ලබ අවස්ථාවක අත්දැකීම අප අත්වින්දෙමු. යකඩ මල්ල ගැන කතාව එයනම් අනෙක් මලු ගැන කතා කුමටද. ඒ ඒ වර්ජනවල පරමාර්ථ වෙනස් වුවත් අවසන් අර්ථයෙන් ආණ්ඩුවට ආණ්ඩුවේ ඇමතිවරුන්වත් පාලනය නොවන තත්ත්වයකට පත්ව ඇත. අනෙක් අතට මේ රටේ සාමාන්‍ය ජනයාට, ගොවියාට කම්කරුවාට ශිෂ්‍යයාට පමණක් කැබිනට් ඇමතිවරුන්ටත් කප්පරක් ප්‍රශ්න ඇත. නමුත්, මෙහි අවුල තිබෙන්නේ ඇමතිලා ඇමතිලාගේ ප්‍රශ්න විසදා ගැනීමට ප්‍රමුඛතාව දී ඒවා විසදා ගැනීමට දින සති මාස ගණන් දත කද්දී සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න කන්නෙන් කන්න වැඩිවර්ධනය වෙමින් ඉස්සරහාට යාමයි. ඔය කියන හැම ඇමති කෙනෙකුට හිත හදාගෙන ජනතාවගේ ප්‍රශ්න දෙස බලන්නට වෙලාව එන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ පෙරුම්පුරා තමන්ගේ හිතුමනාපයට පාලනය කළ හැකි රාජ්‍යයක නායකත්වයට පත් වූ පසුව බව නම් නිසැකය. එතෙක් අප ඉවසා සිටිය යුතු වනු ඇත.

චැසිය වෙනමත් එන්ජිම වෙනමත් දුවනවා පමණක් නොව, දැන් ඒ චැසියේ අන්කොන් එහෙමෙහේ වැදී චැසිය ඇත්තේ අද වීය. එවැනි පසුබිමක් තුළ කවුරුන් කවුරුන් හෝ නූල් ඇද අලයිමන්ට් තියන්නට උත්සාහ කිරීම මොනතරම් දුරට සාර්ථක වෙයිදැයි අප නොදනිමු. කෙසේ නමුත්, අවසන් මාස දහඅට ගෙවෙමින් තිබෙන කාලයේදීවත් තවුසන් ටෝක් සිහින සැබෑ කර ගැනීම වෙනුවට එදාවේල ගොඩ දමා ගැනීමටවත් සිත් පහළ වන්නේ නම් යෙහෙකි. නොඑසේනම්, සුවිසල් සිහින මැද රටවැසියෝ සිහිසුන්ව ඇද වැටී සිටිනු ඇත. 

Wednesday, May 2, 2018

අලුත් කැබිනට්ටුව සහ ආණ්ඩුවේ අපරභාගය.



අලුත් කැබිනට්ටුවක්. කන්දක් විළිලා කෙන්දක් වැදුවා කියන්නා වාගේ ද විසිල් තරමට බල්ටි නෑ කියන්නා වාගේ ද අවසානයේ නිස්කාන්සුවේ කල්පනා කළ විට වෙච්ච දෙයක් නැත. සමහර ඒවා දෙස බලද්දී රටේ ජනතාවට හිතෙන්නේ, එකක් කඩතොළු වසා ගන්නට ගොස් මට වුණු කාරියා, දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉදුරුවේ ආචාරියා කියන්නා වාගේ හැගීමකි. කොහොම නමුත්, අලුත් බවක් හෝ වෙනසක් යනු යම් බලාපොරොත්තුවක් උපද්දවා ගැනීමට තරම් සාධාරණ සාධකයකි. එහෙයින්, තම තමන්ට සාපේක්ෂව එකග විය නොහැකි මොන මොන දෝෂ තිබුණත් අලුත් කැබිනට් මණ්ඩලයක් යනු රටට අලුත් බලාපොරොත්තුවකි.

වත්මන් ආණ්ඩුවට ඇත්තේ අවම වශයෙන් තවත් මාස විස්සකට මදක් වැඩි ආයුෂයකි. මේ ගෙවෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අපරභාගයයි. පූර්වභාගය එතරම් සුභ නොවූ හා කිත් යසස නැංවීමට සමත් නොවූ නිසාම, මධ්‍යහනයේ අත් වූ ප්‍රතිඵල එතරම් හොද මදිය. එය ඡන්ද ප්‍රතිඵලයකින් සාමූහිකව හා ඍජුවම ප්‍රකාශ කළ ජනතාව ඉන් පිටතදී ද තනිතනිව හා සාමූහිකව පෙන්නුම් කරමින් සිටියි. ජනතාව විසින් පමණක් නොව, ආණ්ඩුවේ මධ්‍යහන කාලය පක්ෂ හා සංවිධාන පවා ආණ්ඩුවට තරවටු කරමින් සිටින කාලයක් විය. ආණ්ඩුව කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන්නේ මෙවැනි තත්ත්වයකය. අලුත් කැබිනට් සංශෝධනයකට සර්ව දෝෂ නිවාරණය කළ නොහැකි වුවත්, එය පැරසිටමෝල්ට් පෙත්තක් පිරිටන් එකක් වාගේ ඕනෑම ව්‍යාධියකට තරමක විසදුමක් ලෙස සැලකිය හැකිය.

තම්බියා පැදුර එලූ හැටි අපි දන්නෙමු. නමස්කාරයටම දවස ගතයි කියා ව්‍යවහාරයක් ඇත. ඒ වාගේම වත්මන් ආණ්ඩුවේ කාලය ගත වෙමින් තිබෙන්නේ සැලසුම් කිරීමට, ඒවා වරින් වර පැමිණෙන එක එක්කෙනාගේ මත හා වුවමනාවන් අනුව සංශෝධනය කිරීමට සහ ආණ්ඩුව එකලාසයක් කරගැනීමට ආදී කාරණා වලටය.

ආණ්ඩුව දැන්වත් තමන්ගේ වේගය වැඩි කළ යුතුය. හැමෝටම වුවමනා දේ නොව ආණ්ඩුව ආණ්ඩුවට වුවමනා දේ කළ යුතුය. නිශ්චිත දෙයක් වෙනුවෙන් තමන් කරන්නේ අහවල් දෙය යැයි නිශ්චය කර ගැනීමෙන් පසු දෙයියන්නාන්සේටවත් ඒවා වෙනස් කිරීමට ඉඩ නොදිය යුතුය. සියලුදෙනා එකගකර ගනිමින්, සියලු දෙනාට සවන් දෙමින් හා සියල්ලන්ගේ අදහස් යෝජනා වලට අවස්ථාව දෙමින් කරුණු කාරණ ඉටු කිරීම ඉතා දියුණු ක්‍රමවේදයක් වුවත්, දැන් අප සිටින්නෙ එතැන නොව. තීන්දු තීරණ ගත යුතුය. ඒ ගන්නා තීරණ වල වගකීම භාර ගැනීමට තීරණය ගන්නාට හැකියාවක් තිබිය යුතුය. ඒ හැම තීන්දුවක් ගැනම යුක්තිසහගත සාධාරණීකරණයක් තිබිය යුතුය. නමුත්, දැන් සිදුවන්නේ ඒ හැම දෙයක්ම කාගේ හෝ ඇගේ ගසා බේරීමය. තීන්දු ගන්නේ කමිටුය. ඒවා ක්‍රියාත්මක කරන්නේ කමිටුය. අවසානයේ, ඒ තීන්දුවලට විරෝධතා පැමිණි විට විසදන්නේ ද කමිටු මගිනි. නමුත්, එකී නානාප්‍රකාර විද්වත් කමිටු විසින් කළ විද්වත් මැදිහත්වීම් ගැන දැන්වත් නිසි විගණනයක් අවශ්‍යය. එක්කෝ ඒ තෝරාගත් විද්වතුන් හරියන්නේ නැත. නැතිනම්, විද්වත් කමිටු කෙරුවාව හරියන්නේ නැත.

අදින් ඇරඹෙන්නේ ආණ්ඩුවේ එදා මෙදා තුර තීරණාත්මකම හා අභියෝගාත්මකම කාල පරිච්ඡේදයයි. එකට දීග කෑවද, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ප්‍රධාන මැතිවරණ තුනකට වෙන් වෙන්ව සූදානම් වන කාලයකි. ඊට අමතරව, ඉතිහාසයේ අන්කවරදාවත් නොතිබූ පරිදි ජයග්‍රාහී විභවයක් සහිත තුන්වන පක්ෂයක්ද විපක්ෂය තුළින් මතු වී හමාරය. ඒ ඒ ඡන්ද දිනීමට අවශ්‍ය ශක්තිය තම තමන් විසින් වෙන් වෙන්ව සකස් කර ගත යුතුය. ඒ අතරවාරයේම, තමන් සියලු දෙනා පාර්ශවකරුවන් වී ඇති ආණ්ඩුව ගොඩ දා ගත යුතුය. ඉලක්කම් සංඛ්‍යා දත්ත සමග සූක්ෂව සෙල්ලම් කළ යුතුය. ඒ සියල්ල මැද්දේ ජනතාවගේ අභිලාෂයන් ගැන කල්පනා කළ යුතුය. පූර්ව නිගමනය කළ හැකි දේ මෙන්ම ඉදිරි මාස කීපයේදී එන අනපේක්ෂිත දේ ගැන ද ආණ්ඩුවට කර ගැසීමට සිදු වේ. මේ සියල්ල කළ යුත්තේ විටෙක එකටත් විටෙක බෙදීත් ඉන්නා යටකී අලුත් නොවූ නමුත් අලුත් වූ ඇමතිවරු ප්‍රමුඛ පාලනය සමගය.

මා අවසනුව, දිවංගත ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් උපුටා දක්වනු කැමැත්තෙමි. මතු උපදින දරු පරපුරට වඩාත් සුන්දර ලෝකයක් නිර්මානය කිරීම වෙනුවෙන්, ඔබගේ අද දවස කැප කරන්න යැයි කලාම් කීවේය. එය මව් දෙමව්පියන් පුරවැසියන් ආදියට මෙන්ම, ආණ්ඩුවද අදිටන් කර ගත යුතුය.

Wednesday, April 18, 2018

ලෝකයා හිනස්සන විද්‍යාත්මක ක්‍රමය..

මෑතක සිට දේශපාලන කරළියේ ඇසෙන විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය පිළිබඳ කතා සහ පාසල් අවදියේ සිට අප උගත් දේ අතර ඇති පරස්පරතාව නිසා, විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය ප්‍රශ්නාර්ථයක් එක්කරමින් තිබේ. අනෙක් බොහෝ දේ වලදී මෙන්ම, ගැටළුව ඇත්තේ අප විද්‍යාව නොදන්නාකමේද නැතිනම් මේ වැඩකටයුතු විද්‍යාත්මකබවින් තොර වීමදැයි කල්පනා කළ විට අපට හිතහදාගන්නට ඇත්තේ, ඒ උත්තමයින් තරම් අපි විද්‍යාව ගැන දන්නේ අහවල් තරමක්ද යන ස්වයං විවේචනයකිනි. මේ විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය යළි වෙනත් වටයකින් කරළියට එන්නේ පැමිණීමට නියමිත බව කියැවෙන කැබිනට් සංශෝධනයක් සමගය.

විද්‍යාගාරයක රසායනික සංයෝගයක් හදනවා වාගේ හෝ සිවිල් ඉංජිනේරුකර්මයේදී කොන්ක්‍රීට් එකක් තනන්නට ගල්වැලි සිමෙන්ති මිශ්‍රණය කරන්නා වාගේ සූක්ෂමව හා අන්තිම තිතට දේශපාලනයේ විද්‍යාත්මක මෙහෙයුම් දියත් කළ නොහැකි බව සත්‍යයකි. එය අ පපිළිගත යුතුය. තෝරාගත් විෂයන් කීපයක් සම්බන්ධයෙන් කළපුරුද්ද හා පලපුරුද්ද ඇති දේශපාලනඥයින් කිහිප දෙනෙක් සොයාගැනීමට හැකිවනු ඇත. නමුත්, සමහර විෂයන් ගැන එවැනි විශේෂඥ අවබෝධයක් ඇති ජනතා නියෝජිතයින් නොසිටියත්, එය කරුණක් කරගෙන මගහැර යා නොහැකි බැවින් රාජ්‍යය තුළ ප්‍රතිපත්ති සැදීමට හා ඒවා මෙහෙයවීමට ආයතන දෙපාර්තමේන්තු තිබිය යුතුය. එහෙයින් ඒවාට අවස්ථානෝචිත පරිදි නායකත්වයක් තිබිය යුතුය. එසේම, විෂයයන් මහගොඩාක් සහ සීමිත නායකත්ව ඉඩක් පවතින විට සමහර අයට විෂයයන් දෙක තුනක් වුවද භාරදීමට සිදු වනු ඇත. නමුත්, එසේ වූ පමණින් සීනි වැලි සහ පාන්පිටි එකට දමා පදමට අනා කොන්ක්‍රීට් දමන සිරිතක් නැත.

එය එසේ වූයේද. ඔව්. එය එසේ සිදුවිය. එක සමාන හෝ අත්‍යාසන්න සබඳතාවක් දක්වන ඇතැම් විෂයන් සීසීකඩ කඩා වෙන්වෙන් පුද්ගලයින්ට බෙදාදී ඇත. කලක්, එකම වනාන්තරයේ ගස් එක තැනකත් සතුන් තව තැනකත් වනයේ ඇති ඇල දොළ ගංගා වැව් අමුණු වෙන තැනකත් වැට මායිම් තවත් තැනකත් තිබුණු බව අපි දැක්කෙමු. එපමණක් නොව, වෙන්වෙන්ව තැබිය යුතු හා කිසිසේත්ම නොපෑහෙන විෂයන් බොහෝ වෙහෙසවී එකට පාහා ඇති බවද දකින්නට ඇත. ඊට ඇති කදිම නිදසුන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයයි. ඉස්සර අපි දැක්කේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය එක වහළක් යට තිබූ බවයි. එක්කෝ උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු වැනි විෂයන් එකට තිබුණු බවයි. කුමක් හෝ පුද්ගල කාරණාවක් නිසා යටකී විෂයන් දෙක එක පුද්ගලයකු යටතට ගෙනාවේය. නමුත්, දැන් ඒ විෂයන් දෙක ගසට පොත්ත සේ එකට බැදී ඇත. එපමණක් නොව, ඇතැම් යල්පැනගිය විෂයන් පවා තවමත් විෂයන් ලෙස පවත්වාගෙන යන අප, බොහෝ නවීන විෂයන් වෙනුවෙන් තබා ඇති බර කිසිසේත්ම සාධාරණ නැත. නිදසුනක් ලෙස, මෙරට ත්‍රීරෝද රථ සහ ටැක්සි සේවා කොතෙකුත් තිබුණද ඒ වෙනුවෙන් විහිදුණු හා විධිමත් සංවිධානාත්මක නියාමන ආයතන පිහිටුවීමට අප තවමත් අසමත් වී ඇත. සිල්ලර කඬේ ගිනිපෙට්ටියට ඇති පාලනය, අධික්ෂණය හෝ නියාමනයවත් ඒවාට නැත.

මෙරට ඇමතිවරුන්ගේ විෂයන් බෙදීම පමණක් නොව, බොහෝ අංශයන්ගේ දේවල් තීන්දු වන්නේ පුද්ගලසාධක මතය. ඒ ඒ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදු කෙරෙන දේවල් ඒඒ පුද්ගලයා පවතින තාක්කල් වලංගු වී, ඒ පුද්ගලයින් අවලංගු වූ සැණින් ව්‍යාකූලභාවයට පත්වේ. ගැඹුරින් බලන්නේ නම් එදා මෙදා තුර මෙරට බොහෝ අණ පනත් ව්‍යවස්ථා බිහිවද්දී එහි ලියැවෙන වචන එසේ ලියා ඇත්තේ, එම ධුරය දැනට දරණ පුද්ගලයාගේ නම එහි ලිවීම සදාචාරයට එච්චරම නොගැලපෙන නිසා බව පෙණේ. ඉන්පසු, ඒවාට ගෙණෙන සංශෝධනද එසේය. ඉතාම කෙටි කලින් කලට අපට ඒවා සංශෝධනය කරගන්නට පැලැස්තර ගසන්නට සිදුවන්නේ ඒ නිසාය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙක එකට කියවන්නේ නම් මේ ගැන මූලික අදහසක් ගත හැකි වනු ඇත.

දැන් හෝ, කෝෂ්ඨාර්ථයෙන්ම විද්‍යාත්මක රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මුල්ගල් තැබීමට අවස්ථාවක් උදාවී ඇත. මේ ආණ්ඩුවට ඇති අවසන් අවස්ථාව එයයි. කළ යුතු ඇත්තේ, පුද්ගලයින් තෝරා ඔවුනොවුන් වෙත විෂයන් එල්ලීම වෙනුවට, විද්‍යාත්මකභාවයෙන් යුතුව විෂයන් තෝරා ඒඒ විෂයට ගැලපෙන පුද්ගලයින් තෝරා නායකත්වය භාර දීමෙන්ය. එය එසේ නොවන්නට, රාජ්‍ය පාලනයේ විද්‍යාත්මක ක්‍රමවේදය තවදුරටත් ලෝකයා හිනස්සන විහිළුවක් වීම වලක්වාලිය නොහැකි වනු ඇත.

Wednesday, April 11, 2018

මයික් දැක්කාම කෙළ බේරෙන තත්ත්වයෙන් දේශපාලනය මුදවා ගත යුතුය.





ආණ්ඩු පෙරළිල්ල, ආණ්ඩු හැදිල්ල ගැන තියෙන උනන්දුව ඉතාම ප්‍රශංසනීයය. එය හරියටම හයේ පන්තියට ඇතුළත් කළ දරුවෙක් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්තර පුහුණුවෙනවා හා සමානය. බැලූ බැල්මට පට්ට වැඩක් වුණත්, එය තැනට සහ අවස්ථාවට සුදුසු වැඩක්ද යන්න ප්‍රශ්නයකි. හයේ පංතියේ දරුවා සූදානම් විය යුත්තේ හයේ පංතියේ වාර විභාගයටය. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පුහුණුවීමට සුදුසු කාලයේ දී ඊට සූදානම් විය යුතුය.ලංකාවේ දේශපාලනයට වී ඇත්තේද හයේ පංතියේදී සාමාන්‍ය පෙළ පුණරීක්ෂණ පංති යන ළමයාට වෙච්ච දේමය.

අපේ මතකයෙන් ඔබ්බට කාලයේ සිට, ටීවී රේඩියෝ පත්තර හැම එකකම මූලිකත්වය හිමි වූයේ බල දේශපාලනයේ ආතල් වෙනුවෙනි. ඉදහිට තැනින් තැන එකක් දෙකක් ඊට වියුක්ත දේ වෙනුවෙන් මූලිකත්වයක් හිමි වුවත්, ඒවා හරියට මහගෙදර සහ තානායම වාගේය. මිනිස්සු ඉදහිට තානායම් වල ගත කළත් ජීවත් වෙන්නේ මහගෙදරය. එය එසේ වන්නේ කෙසේදැයි අප සෙවිය යුතුය. මීට ප්‍රධානතම හේතුව නම්, කෑලි ගණනට නිව්ස් ගහන මීඩියා ගේම් එකට ලංකාවේ දේශපාලනය ගොදුරු වීමය. එය සම්පූර්ණයෙන්ම අහුවුණු තත්ත්වයකි. සමහර විට, අපි අහුවුණා නෙවෙයි අපි විසින්ම ඒවා පාවිච්චි කළා යැයි දේශපාලඥයින්ට හිතෙනවා ඇත.

පක්ෂයේ මධ්‍යම කාරක සභා, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් වල සිට කොටහළු ගෙවල් මළගෙවල් දක්වා දේශපාලනඥයින් සහභාගී වන හැම තැනකම පාහේ මයික් කීපයක් කිහිලි ගන්නාගත් මාධ්‍යවේදීන් සිටියි. ඔවුන් මයික් එක දිග්කර මොකක් හෝ ප්‍රශ්නයක් අසයි. දේශපාලනඥයාද, ටීවි එකේ පත්තරේ මූණත්තහඩුව දමා ගැනීමට ලද අග්‍රගන්‍ය අවස්ථාවක් යැයි සිතා ලද පින් මහිමයෙන් ප්‍රයෝජන ගෙන මොකක් හෝ කතාවක් දොඩවයි. ඒක ටීවී එකේ පත්තරේ ප්‍රසිද්ධ වීමෙන් පසු ප්‍රතිඋත්තර බදියි. ආයේ ආයේ දෙපැත්තට කියවා ගනියි. කවුරුන් හෝ කෙනෙක් මලගෙදර අවසන් වී පාඩුවේ ආපසු නොයා, මයික් ඉස්සරහා කයිවාරු ගසන්නට යෑමෙන් අවසානයේ එය ජාතික දේශපාලන මාතෘකාවක් බවට වෙයි. අනෙක් සියලු දෙනාද එළියට දුවන මෙරුවන් වාගේ ඒඒ පස්සෙන් දුවයි.

කෙසේ නමුත්, මේවා පත්තු කර ගැනීමෙන් රටට මොන නස්පැත්තියක් වුණත් මේවායෙන් ප්‍රතිලාභ ලබන පාර්ශවයක් ඇත. ඒ මාධ්‍යයි. මිනිස්සු දේශාපාලන ඕපදූප අසන්නට කැමතිය. කැමති දේ ප්‍රචාරය කිරීමෙන් ඒ ආයතන වෙත ජනතා ආකර්ශනයක් ලැබේ. ඒ ඕපදූප හටගන්නේ ගැටීමක ප්‍රතිඵලයක් ලෙසනම් ගැටුම් ගැන කතා අසන්නට මිනිසුන් තුළ ඇති ස්වභාවික ප්‍රබෝධය තවදුරටත් තමන්ට වාසියක් කරගත හැක. වැඩිවැඩියෙන් ජනතාව අතර ආයතන ප්‍රසිද්ධ වන විට වැඩිවැඩියෙන් ආදායම් ලැබේ. වැඩිවැඩියෙන් ආදායම් ලැබෙන විට වැඩි වැඩියෙන් ලැභය. ලාභය වැඩිවැඩියෙන් ලැබෙන විට ඉන් කොටසක් තමන්ගේ ආයතන වල වැඩ කරන අයට බෙදා දිය හැකිය. වැඩිවැඩියෙන් ලාභය තමන්ටද හිමිවන විට, ඒවායේ සේවකයින්ද වැඩිවැඩියෙන් තමන්ට ලාභ ලැබිය හැකි ක්‍රමය ගැන සොයා බලයි. මේ ලාභ ලැබෙන්නේ අහවල් ක්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට හටගත් චක්‍රයේ කොටසක් ලෙස බව වටහාගත් පසු මාධ්‍ය වෘත්තිකයින්ද වැඩිවැඩියෙන් එවැනි අවස්ථාවන් නිර්මාණය කරයි. මේ චක්‍රය සසර චක්‍රය වාගේ නිමක් නැතිව කැරකෙයි. මේවාට මැදිවී කොටස්කාරයෙක් වූ පසු ඒ චක්‍රයෙන් ගැලවිය නොහැක.

මේ තත්ත්වය, ටීවි එකේ පත්තරේ මූණ පෙන්නා ගන්නට ආශාව ඇති හා සර්ගේ වොයිස්කට් එකක් නිව්ස් එකේ දැක්කා කියා කී විට ආහ්ලාදයක් ලබන දේශපාලනඥයින් වැඩිවැඩියෙන් පහළ වීමට සමානුපාතික වේ. අවම වශයෙන් පසුගිය වසර දහයක පමණ කාලයේ මේ වොයිස්කට් දේශපාලනය පිළිබද නිවැරදි ප්‍රස්ථාරයක් ඇදගන්න සමත් ජගතෙක් වීනම්, වොයිස්කට් දේශපාලනයේ ජනප්‍රියත්වය වැඩිවීම හා අභ්‍යන්තර දේශපාලනයේ අර්බුදමය තත්ත්වයන්ගේ ඉහළ යාමට දක්වන සමානත්වය හොදින් වැටහෙණු ඇත. ඉස්සර මාධ්‍යයට යමක් කියන්නට වුවමනා වූ විට සංවිධානාත්මක හා විධිමත් මාධ්‍ය සාකච්ඡා පවත්වයි. එක්කෝ උත්සවයක පැවැත්වූ කතාවක් මාධ්‍ය උපුටා දක්වයි. දැන් එවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේම නැති තරම්ය.

අප කුමක් කරමුද. මුලින්ම කළ යුත්තේ දේශපාලනඥයින්ට ටීවී පත්තර වලට මූණදමාගැනීම හා වොයිස්කට් දීම සම්බන්ධයෙන් ඇති හීනමානය තුරන් කළ යුතුය. ඒ වාගේම, අනෙක් හැම කෙනෙකුටම වාගේ දේශපාලනඥයින්ටද කියන කරන ගැන විනයක් අවශ්‍යය. මයික් එකක් දුටු පමණින් දුවගෙන ගොස් රෝසමලේ නටුවේ කටූ සිංදුව කීමට කුඩා දරුවන්ට ඇති ආශාවෙන් දේශපාලනඥයින් ගලවා ගත යුතුය. එසේ නොවන්නට, මේ රටේ ජනතාවට දේශපාලනඥයින් විසින් ලබාදෙන නොනිමි ආතල් නොනවතිනු ඇත. දේශපාලනඥයින් අපට ආතල් දුන්නාට කමක් නැත. නමුත්, අර්බුදය නම් ඔවුන්ට අදාල කාර්යය එය නොවීමයි.

Wednesday, April 4, 2018

කරන දේ නොකීම සහ කියන දේ නොකිරීම



[Resa Newspaper - රැස පුවත්පත අද 'තුමනි' තීරුව • පිටුව 10]

අලුත් ආණ්ඩුව පත් වූ දා සිටිම තිබුණේ රටේ නැති රාජකාරීන්ය. ඒවාගෙන් බොහෝමයක් එදාවේල ගැට ගසා ගැනිම සදහා නිර්මාණය වූ හෝ නිර්මාණය කළ ඒවා මිසක්, සාතිශය බහුතර ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ හෝ රටේ ඉදිරි ගමන වෙනුවෙන් පයිසයක තරම්වත් වැදගැම්මක් නොතිබූ ඒවාය. ඊළග ජනාධිපති ඡන්දය සහ ඊට අදාල අපේක්ෂකයින් ඉන් එකකි. කාලයෙන් කාලයට එන අලුත් අගමැති කෙනෙක් තෝරා ගැනීමේ ප්‍රශ්නය ඒ වාගේම තවත් එකකි. මේ හැරුණු විට උදේට එකක් දවාලට එකක් සහ රාත්‍රියට තවත් එකක් වශයෙන් වේලෙන් වේලට මෙවැනි ඒවා පැමිණියේය. ආපසු ගියේය. මුහුදු රළ වාගේ මේ චක්‍රය අදත් එසේම සිදු වේ. අගමැතිට එරෙහි විශ්වාසභංග කතාවද අනෙක් ඒවාට වඩා තරමක් උස නමුත් පෙර වාගේම හුදු රැල්ලක් පමණක් බව ජනතාවගේ හැගීමයි. පෙනෙන්නට ඇත්තේද එයයි.

කෙසේ නමුත්, මේ ආණ්ඩුව පත් වූ දා සිටම කියන දේ නොකිරීම සහ කරන දේ නොකීම ගැන එල්ල වන චෝදනා තෙරක් නොපෙණෙන තරම්ය. ඒවා මැතිවරණ පොරොන්දු ලේඛන වල ඇති දේ සම්බන්ධයෙන් මෙන්ම, ඉන් පසුව කලින් කලට මතු වූ විවිධ කාරණා සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. අනෙක් අතට ඡන්දයේදී සිදුවූ තද දිගැස්මෙන් පසු ආණ්ඩුවේ පාර්ශවයන්ද වේදිකාවක් වේදිකාවක් ගාණේ කීවේ අපි කරන දේවල් මිනිස්සු දන්නේ නැති බවයි. අනෙක් පැත්තෙන් පුරවැසියන් කීවේ, ‘කරපුවා අපි දැනගන්න නම් ඔයාලා කියන්න එපැයි’ කියාය. කරුණු කාරණා කෙසේ වුවත්, කියන දේ නොකිරීම සහ කරන දේ නොකීම ආණ්ඩුවේ ජනප්‍රියත්වය හෝ ප්‍රසාදය සම්බන්ධයෙන් වන ප්‍රස්තාරය පල්ලම් බැසීමට හේතු වාසනා වූයේය.

ආණ්ඩුව විසින් සිදු කළ බොහෝ සංවර්ධන ව්‍යාපෘතිවල, ප්‍රගතිශිලී තීරණ ගැන මෙන්ම විවිධ තීන්දු ගැනීමෙන් අත් වූ සාධනීය ප්‍රගතීන් සම්බන්ධයෙන් තේරෙන සිංහලෙන් ජනතාවට කියා ගන්නට ආණ්ඩුව අසමත් විය. එක්කෝ, ඉස්තාලය වසන විට අස්සයා බොහෝ පිමි පැණ දුවා අවසන්ය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබද සංවාදය, ආගමික හා ජාතිකත්ව සම්බන්ධ කාරණා ආදී සෑම කුදුමහත් කටයුත්තකදීම මේ අවුල අපි දුටුවෙමු. එසේ නොමැතිනම්, තමන්ගේ වැඬේට අදාල ක්‍රෙඩිට් එක ලබා ගැනීමට එක්කෝ ආණ්ඩුවට වුවමනාවක් තිබුණේ නැත. නැතිනම් ඊට අසමත් විය. ඇස්පණාපිට පුරන් වූ හෝ යෝජනාවක් හැර පස්පිඩැල්ලක්වත් කපා නොතිබූ ව්‍යාපෘති පරිසරයන් සාර්ථකව අවසන් කර අස්වැද්දූ ආණ්ඩුව කුඹුරෙන් ගොඩට එන්නට පෙර එහි කීර්ති ප්‍රශංසා අස්වැන්න වෙනත් පාර්ශවයක් විසින් ඩැහැ ගෙන තිබුණේය. මොරගහකන්ද, රාජගිරිය ගුවන්පාලමේ සිට ලෝටස් වටරවුමේ වතුර මල දක්වාම වූයේ එයයි.

එපමණක් නොව, උපයන විට ගෙවිය යුතු ආදායම් බද්ධක් පිළිබද මාධ්‍ය තුළ මෙන්ම බස් කෝච්චිවල හා හන්දිවල ලොකු හාහූහවක් පසුගිය සතියේ ඉපැදුණේය. දින කීපයක් ගෙවුණත්, සාමාන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් සිදු වූයේ කුමක්දැයි පැහැදිලි කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බව අප දුටුවේය. ඒ වෙනුවට හිතමිත්‍රාදීන් අතින් සිදු වුණේ, උඹේ පඩිය කීයද අසමින් කොලොප්පම් කිරීමක් පමණි. එදා අද සහ හෙට අයබදුවල උච්ඡාවචනයන් ගැන සරල වගුවක්වත් ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ වූ බව අප නොදැක්කෙමු. ඒ නිසාම ඒඒ අය තමතම නැණ පමණ හා වාසි පමණ ඒවා විග්‍රහ කර සමාජගත කළේය.

එය එසේ වූයේ ඇයිදැයි ස්වයං විවේචනයකට යන්නට පවා දැන් කාලය ගෙවී ගොස් වැඩි තරම්ය. නමුත් එය එසේ වූයේ කෙසේදැයි කල්පනා කිරීම දේශපාලනික වාසි අවාසි අරඹයා නොව, අනාගතයේදී අතීතය පිළිබද විමසිලිමත්වන අයගේ හුදු දැනගැනීම පිණිසවත් ලෙහා තැබීම වටිනේය.

වත්මන් ආණ්ඩුව පත්වූ දා පටන්ම වේලෙන් වේලට අලුත් වන බල දේශපාලනික මාතෘකා කරළියට පැමිණි බවත් ඒ වේගයෙන්ම ආපසු ගිය බවත් ඉහතින් කීවෙමි. ඒ බොහෝමයක් මුලින් මුලින් ජනතාවගේ උනන්දුව ඇති කළ හා කුකුෂ වර්ධනය කළ මාතෘකා වුවත් අද වන විට බල දේශපාලනය සම්බන්ධයෙන් කොළඹ ටවුමේ ඉදිවන කතාසාප්පු සහ ඇති වන රථ පෙළපාලි ගැන මුළු රටේම දහපහළොස් දහසකට හැර පොදු ජනතාවට කිසි උනන්දුවක් නැති බවක් පෙණෙන්නට ඇත. බල දේශපාලන සෙල්ලම් ගැන ජනතාව උනන්දුය. නමුත්, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ න්‍යාය අනුව දැන් නම් මිනිසුන්ට ඇති කරන්නේ දරුණු හිසරදයක් හා වෛරයකි. පළමුව උද්යෝගීවත් දෙවනුව සාමාන්‍යබවකිනුත් ඇති වූ මේ බල දැගලිල්ල දැන් සම්පූර්ණයෙන්ම සමාජ ප්‍රහසනයකි. දවාලේත් නිල් සහ රතු ලයිට් පත්තුවෙන වාහන කොළඹ නගරයේ තැන තැන පිස්සුබල්ලන් සේ සීසීකඩ දිවීම දෙස මිනිස්සුන් බලා සිටින්නේ අප්‍රසන්න බවකිනි.

පාලකයින් හා නායකයින් ප්‍රහසනයක කොටස්කරුවන් වී, ඒ ප්‍රහසනය තමන් විසින් ෆුල් සීරියස් ගෙන දුවන විට ජනතාවට සීරියස් වී ඇත්තේ ආණ්ඩුව කරන දේ සහ කියන දේය. ජනතාවගේ සීරියස් ප්‍රශ්නයට උත්තර දීම වෙනුවට ආණ්ඩුව ජනතාවට විහිළු සැපයීම පමණක් දක්නට ඇත. එහෙයින්, අද සවස ප්‍රතිඵලය කුමක් වුවත් හෙට දවසේ ජනතාවගේ සීරියස් තීරණ ආණ්ඩුවට දරා ගැනීම පහසු නොවනු ඇත.