Wednesday, January 17, 2018

තුමනි; ට‍්‍රැෆික් නසන පැලැස්තර, කවදා වෙනකල් වලංගුද..

දකුණු ආසියාවේ තියන ලොකුම ට‍්‍රැෆික් වලින් එකක් වෙන ලංකාවේ වෙළඳ අගනුවර සිට පරිපාලන අගනුවර දක්වා මහාමාර්ගයේ රථ වාහන තදබදය කළමණාකරණය කිරීමේ අරමුණින් ඉදිකෙරුණු ගුවන් පාලම මේ සුමානේ විවෘත කෙරුණා. ඔව්. ඒ පාරේ උදේ-හවහා යන කෙනෙක් හැටියට පොඩි සතුටක් තියනවා. ඒත්, මේ ඉදිකිරීම ගැන පිනා ගිය ප‍්‍රීතියක් මටනම් දැනෙන්නේ නෑ. (ඔව්. මේක කියපු ගමන් හිතෙන්න පුළුවන් කුහකකම කියලා. ව්‍යවහාර භාෂාවෙන්ම කියනවානම් අපි හදපු ආණ්ඩුව වැඩ කරනකොට, ආණ්ඩුව එක එක වැඬේ ගොඩ දාගන්නකොට ඔබ වෙනුවෙන් කඬේ ගිය අපිට ගැම්මෙන් පාරේ යන්න පුළුවන් තත්ත්වයක් හැදෙනවා මිසක් ඇයි අපි අමනාප වෙන්නේ වෙන්නේ.) ඒත්, ඒකට හේතුවක් තියනවා. ඒ තමයි, ඔය වැඬේ ප‍්‍රශ්නයට අදාල නියම උත්තරේ නොවෙන නිසා.

අවුරුද්දකට අලූත් වාහන ලක්ෂ දෙකහමාරක් තුනක් එක්ක වැඩිවෙන වාහන පරිභෝජනයත් එක්ක දවසින් දවස මේ පාරවල් වල වාහන වැඩි වෙනවා. ඉ`දලා හිටලා ගමනක් බිමනක් යන්න වාහනේ පාවිච්චි කරපු මිනිස්සු දැන් දැන් නිතර නිතර වාහන පාරට දානවා. වාහනයක් නඩත්තු කරන්න හෝ ඇත්තටම මෙච්චර කාලයක් වාහනේක අවශ්‍යතාවක් නොතිබුණත්, දෛනික ප‍්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් පුද්ගලික වාහනයකම අවශ්‍යතාව දැනෙන නිසා වාහනයක් මිලදී ගනිමින් ඉන්නවා. ලීසිං එකක් ෆිනෑන්ස් එකක් හරි දාලා කොහොම හරි වාහනයක් ගන්නෝනේ කියන තැනට පෙළඹෙමින් සහ පොළඹවමින් තියනවා. (ඔව්. ඒ සෝෂල් ස්ටේටස් වලටත් එක්ක තමයි. හැබැයි, වාහනයක් කියන එක සෝෂල් ස්ටේටස් වලට අදාල ප‍්‍රමුඛ සාධකයක් වෙන්නේම, ප‍්‍රවාහනය විෂය අවුලක් බවට පත් වීමේ ප‍්‍රතිඵලයක් හැටියට.)

බොහෝ දෙනෙක් පුද්ගලික වාහනේක ගමන්බිමන් යන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. ඒ කියන්නේ පොදු ප‍්‍රවාහන සේවා වල තියන අවුල නිසා. වෙලාවට නොඑන බස් එක, ඇගිල්ලක්වත් ගහගන්න ඉඩක් නැති කෝච්චි, යටත් වුණු ජාතියක වහල්ලූන්ට වගේ සලකන කාර්ය මණ්ඩල, සමූහ අඩත්තේට්ටමට ලක්වෙන දෙපැත්තේ පෝළිම් දෙක මැද්දේ ගහන පෝළිම්, ඉතුරු ඉල්ලූවාම කාසි වෙනුවට සැර උත්තර හම්බෙන ගනුදෙනු සේවා ආදී කප්පරක් ගැටළු මේවාට බලපානවා. පිළිවලකට ඇඳලා පැළ`දලා බස් එකකට නැ`ගලා ඒ පිළිවෙලටම බස් එකෙන් බහින්න පුළුවන් නම්, ඒ දවසේ වාසනාවන්තයෙක්ට පමණයි. පැයේ ගමනට පැය දෙකක් දෙක හමාරක් ගතවෙන කොටකොට යන අය වගේම, අනෙක් අතට යුධ පෙරමුණක ඉදිරි ආරක්ෂක වළල්ලේ මුරට ඉන්න සෙබළෙකුටවත් නැති අවධානමක් අරගෙන බස් එකේ ඉ`දගෙන යන්න සිද්ධ වෙනවා. පොදු ප‍්‍රවාහන සේවා ආශ‍්‍රිත බොහෝ රිය අනතුරු හදුන්වන්න වෙන්නේ හදිසි අනතුරු කියනවාට වඩා සමූහ ඝාතන හැටියටයි. එවැනි තත්ත්වයක් තුළ තමන්ට තියා ඥාතියෙක්වත් බස් එකක යවන්න හිත හදාගන්නේ අමාරුවෙන්.

ඒ විතරක් නෙවෙයි, වැහි හිරිකඬේකටවත් නොතෙමෙන්න ඔළුව ඔබාගන්න පුළුවන් බස් නැවතුම්පොළවල් ගණන ඉතාම සීමිතයි. කොළඹ කොටුවේ ඉ`දලා රට වටේට විහිදුණු දුම්රිය සේවාව පරිහරණය කරන කෙනෙකුට හිරිකියක් නැතුව තමන්ගේ ශරීර කෘත්‍ය කරගන්න පුළුවන් වැසිකිලි ප‍්‍රමාණය සහ ස්ථාන ගැන නම්-තැන් හැටියට කියන්න පුළුවන් තරමට සීමිතයි. ඒ කියන්නේම අනෙක් තැන්වල තත්ත්වය අතිශයින්ම අප‍්‍රසන්නයි. බස් නැවතුම් සහ බස් ගමන් සම්බන්ධයෙන් තත්ත්වය මීටත් වඩා දුක්ඛිතයි. පිට නොකළොත් පුපුරා මිය යා හැකි නිසා පමණක්, බොහෝ දෙනෙක් මේ ප‍්‍රවාහන පද්ධතියට අදාල සනීපාරක්ෂණ සේවා භුක්ති විදනවා. ප‍්‍රවාහන පද්ධතියට අදාල බහුතරයක් වැසිකිලි කැසිකිලි බූරු පොළවල්, ජාවාරම් මධ්‍යස්ථාන, තිත්පොළවල් බවට පත්වෙලා. ලංකාවේ ඔබ කැමති ඕනම පොදු ප‍්‍රවාහන පාරිභෝගික වැසිකිලියකට ගියොත් ඔබට මේ අත්දැකීම භුක්ති වි`දින්න පුළුවන් වෙයි. නුවර ගිය වෙලාවක ගුඞ් ෂෙඞ් එක බලලා එන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම්, ඔබේ රථ පෙළ ‘බස් කඬේක’ නතර කරලා තේ එකක් බොන්න. ඒ හැම එකක්ම බෙර ගහලා විවෘත කරනකොට කිටිි කිටියේ දිළිසුණු බව සැබෑව. ඒත් පහු පහු වෙනකොට කොහු කොහු වෙලා. නඩත්තුවක් කළමණාකරණයක් නෑ. එකක් විනාශ වුණාම අලූත් එකක් හදනවා. එතකල් මිනිස්සු අතරමං.

මේ ටිකක් විතරයි. තව බොහෝ දේවල්. ඒ නිසායි, බොහෝ අය අකමැත්තෙන් වුණත් පොදු ප‍්‍රවාහනයෙන් ඈත් වෙලා වෙන විකල්පයක් විදිහටයි පුද්ගලික වාහන පරිභෝජනයට යන්නේ. එවැනි පසුබිමක් තුළ ඔබේ එළඹෙන ධුර කාලයේදී භූගෝලීව හෝ අත්‍යාවශ්‍ය තත්ත්වයන් හැරුණුවිට වාහන තදබදය වැලැක්වීම වෙනුවෙන් තාවකාලික උත්තර හැටියට තවත් ගුවන් පාලම් කීයක් ඉදිකරන්න වෙයිද. ඒ වගේම, දෙපැත්තේ ගෙවල් කඩකඩ පාරවල් පළල් කරන එකවත්, බිම ඉඩ මදිවෙනකොට උඩින් හරි යටින් හරි අලූත් පාරවල් හදන එකවත් මේකට තවදුරටත් උත්තරයක් වෙයිද.

අවධානම දැක දැක පැලැස්තර දමමින් ඉන්නතාක්කල් මුල් ගල් තැබීමේ සහ විවෘත කිරිමේ ප‍්‍රීතියට වඩා දෙයක් ඉතිරි වෙන්නේ නැති වෙයි. ඔය හැම රථවාහන තදබදයකදීම පිච්චෙන හැම පෙට‍්‍රල් ඞීසල් බිංදුවක්ම, එක්කෝ අපේ අම්මලා, දුවලා මැදපෙරදිග ගිහිං කඹුරලා හම්බ කරන සල්ලි. එක්කෝ වතුකරේ අම්මලා දුවලා නොමැරි මැරි මැරී හම්බ කරන සල්ලි. එහෙම නැත්නම්, ගාර්මන්ට් ගාණේ අත්කකුල් වල නහර ඉලිප්පෙනකල් මැෂින් කරකවලා හම්බ කරන සල්ලි. අපි ඒ ගැනත් පොඞ්ඩක් හරි කල්පනා කරන්න ඕනේ.

මේ ගැන කතා කරන වෙලාවට ලයිට් ටේ‍්‍රන්, පොදු රථගාල්, ෂට්ල් සේවා, බේරේ වැවේ බෝට්ටු වගේ ඒවා ගැන අ`ග කිළිපොල යන විග‍්‍රහයන් ඉදිරිපත් වෙනවා. ඒ රූප හරි හැඩයි. ඒ හීන වර්ණවත්. ඒ වචන ආකර්ශනීයයි. නමුත්, අවාසනාවට කරුණ කියන්නේ කඩදාසි වල, ප්‍රොජෙක්ටර්වල තියන ඒ හීන මහපොළවේ නිර්මාණය වීම අතිශයින්ම මන්ධගාමීයි.
මේ ප‍්‍රශ්නෙට තිරසාර උත්තරයක් හොයන්න දැනටමත් අපි ප‍්‍රමාදයි. නමුත්, දැන් වුණත් පරක්කු නෑ. නමුත්, ගුවන්පාලම්, බිංගෙවල් වගේ සාම්ප‍්‍රදායික සීමා ඇතුළේ හිර නොවී, අපිට සිද්ධ වෙනවා ඊට වඩා වෙනස් එකක් හොයාගන්න.

 Bharatha Prabhashana Thennakoon

(resa newspaper 17-01-2018)

No comments: