Wednesday, February 28, 2018

ආණ්ඩුවේ උවමනාව සහ මහපොළවේ උවමනාව



[ජයතිලක තෙන්නකෝන්] සහ [භාරත තෙන්නකෝන්]


ගැඹුරින් සැලකුවත් සරලව ගත්තත් යහපාලනය යනු නීතියේ පාලනය හා යහපත් ආණ්ඩුකරණ යන එකිනෙකින් වෙන් කළ නොහැකි සංකල්ප වල එකතුවක්. එකිනෙකින් වෙන් කළ නොහැකි සිද්ධාන්තයක්. එනම් එහි පාලනය යන වචනයෙන් ආණ්ඩුකරණය යන අර්ථය ගැබ්ව ඇති නිසාම යහපාලනය යනු මොහොතකටවත් පාලනයක් නොමැතිකමක් නොවන බවත් එය යහපත් යැයි ලෝක සම්මත පාලනයක් බවත් තේරුම්ගත යුතුය. එහෙයින්, ආයතනයක් නීතියට අනුකූලව ක‍්‍රියාකරනවාද එකී ආයතනයේ ජනතාවට නිසි සේවය සැපයෙන්නේද යන්න සොයා බැලීමත්, එය එසේ සිදු නොවන්නේ නම් උපදෙස් දීම, රීති පැනවීම, චක‍්‍රලේඛ නිකුත් කිරීම, නියෝග පැණවීම, අකාර්යක්ෂම නිළධාරීන් ගැන පියවර ගැනීම මෙන්ම එකී ආයතනයෙන් අවශ්‍යයෙන්ම සිදු විය යුතු සේවය සිදු නොවනවා නම් ඊට අවශ්‍ය මැදිහත් වීමත් අදාල නීතිරීති වලට අනනුකූල නොවේ.

ඒ න්‍යාය ලංකාණ්ඩුවටද එසේමය. නමුත්, නිළධාරීන්ද පාලකයින්ද අද වන විට යහපාලනයේ සැබෑ අර්ථය මහපොළවේදී පටලවාගෙන තේරුම්ගෙන ඇති බව පෙණේ. මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට වර්ජන හා උද්ඝෝෂණවල ඉවරයක් නැත. පැය ගණන් මාර්ග අවහිර කරගෙන උද්ඝෝෂණය. ඒ හැම වේලාවකම ආණ්ඩුව සුරතල් වූවා මිස, රටට සිදුවන අවමානය හා අලාභය ගැන හෝ වර්ජකයින් සිදු කරන අසාධාරණකම් ගැන තැකීමක් කරනු දුටුවේ නැත. පොඩි මිනිස්සු පමණක් නොව, වෛද්‍යවරු වැනි විවිධ පරිපාලන මට්ටමේ වැටුප් හා වරප‍්‍රසාද ලබන නිළධාරීන්ද වර්ජනය කිරීම ජනප‍්‍රිය අවියක් කරගෙන ඇත. රටවැසියා විඳිනා දුක් අපමණය. පීඩාවට පත්වන ජනතාව නොකානොබී පැය ගණන් මහමග දුක්විඳිමින් ඉන්නා අතරතුර, මේ ආණ්ඩුව උද්ඝෝෂණ හා වර්ජන වලට දී ඇති නිදහස ගැන උදම් අනමින් ආණ්ඩුවට ආශීර්වාද කරනු ඇතැයි සිතිය හැකිද. යහපාලනය අනුවම මේවා පාලනය කිරීමේ ක‍්‍රම ගැන හෙඳින් සඳහන් වුවත්, ඒවා කි‍්‍රයාත්මක නොකර බලා සිටියේය. 

එසේම, මහාමාර්ග ඇමතිවරයා ප‍්‍රමුඛ කණ්ඩායමක් අධිවේගී මාර්ගයේ කඩවත දක්වා කොටස විවෘත කළ අවස්ථාවේදී කාන්තාවන් විසින් හිටපු ජනාධිපතිවරයාගේ රුව සහිත පුවරුවක් ඔසවාගෙන මාර්ගයට පැමිණ කරන ලද විකාරය ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය. තවත් මේ හා සමානම සිද්ධීන් ගණනාවක් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ ආරම්භයකි. එම තත්ත්වය මුලින් මුලින් පට්ට ප‍්‍රජාතාන්ත‍්‍රවාදීයැයි හැගුණද, ගැඹුරින් විමසීමේදී කෙතරම් ජුගුබ්සාජනකද. දයා ගමගේ, දුමින්ද දිසානායක, රංජන් රාමනායක ඇතුළු ඇමතිවරුන් කීප දෙනෙකුටම, රාජ්‍ය සේවකයින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුණු බවද ආයතන තුළදී හයිකාරකම් පෙන්වූ බවද ජනමාධ්‍යවල ප‍්‍රචාරය වීම මේ පටලැවිල්ලේ කූඨප‍්‍රාප්තියකි. නමුත්, එය කිසිසේත්ම කෙළවරක් ද නොවේ. මෙය හරියටම පාසලේ ළමුන් පළමුව රහසේ රතිඤ්ඤා පත්තුකර පසුව කෙළින්ම ගුරුවරුන්ට පහර දෙනවා හා සමාන ඛේදවාචකයකි. එවිට බලාසිටින අය පාසලේ විනය පිරීහී ඇති බවටත් නිසියාකාරයෙන් පාලනය කර ගැනීමට නොහැකි බවටත් දෝෂාරෝපණය කරන්නේ විදුහල්පතිට මිස ගුරුවරුන්ට හෝ ළමුන්ට නොවේ. 

මේවා ඉවසාගෙන සිටීම රජයේ නිහතමානීකම යැයි සිතා ජනතාව ආණ්ඩුවට ඡුන්දය දෙතැයි කිසිවෙක් සිතුවා නම් එය සිදුව නැත. සිදු වූයේ ජනතාව ආණ්ඩුවේ පාර්ශවය අත්හැර දමා, යළිත් දරදඩු පාලකයින් වෙත නැඹුරු වීමය. උද්ඝෝෂණ හෝ වර්ජන කළ පිරිස් පවා, තමන්ට වැඩවර්ජනය කිරීමේ නොනිමි නිදහස් ලබා දුන්නේ යැයි ප‍්‍රශංසා කොට ආණ්ඩුවට ඡුන්දය දුන්නේ නැත. සිදුවූයේ ඡුන්දයද අඩුවී ආණ්ඩුවේ ගාම්භීරත්වයද අභියෝගයට ලක්වීමය. (ගාම්භීරත්වය යනු කුමක්දැයි වටහා ගැනීමට එක නිදසුනක් ලියනු කැමැත්තෙමු. මින් පෙර සෑම යුගයකම පාහේ, ඇමතිවරයකු කොළඹ සිට නුවර යන්නේ නම්, මහපාරේ සියලූම හන්දිවල සිටින පොලිස් නිළධාරීන් නොසෙල්වී සීරුවෙන් සිටියි. විධායකයේ පාර්ශවකාරයෙක් පාරේ යන බව හැමෝටම දැනේ. එදා එසේ කළද, දැන් එසේ නොකිරීම නීතියට අනුව එකඟ විය හැක. නමුත්, මෙය ආණ්ඩුවේ ගාම්භීරත්වය පිළිබඳ කාරණාවක් බව පිළිගත යුතුය.* ආණ්ඩුවේ ගාම්භීරත්වයද රටවැසියා බලාපොරොත්තු වන දෙයකි. ගාම්භීර නොවන පාලනයන් සලකන්නේ නෝන්ජල් පාලන ලෙසය. එනිසා කුමන තත්ත්වයකදී වුව ද ආණ්ඩු, ගාම්භීරත්වය අත්නොහළ යුතුය. 

එවැනි ‘අඩුපාඩු’ද කරපින්නාගෙන යන ආණ්ඩුවට පාක්ෂිකයා ආරක්ෂා කර ගැනීමට හෝ රටවැසියා සතුටු කිරීමට කිසිම වුවමනාවක් නැති බව පෙණේ. සොරෙක් කොපමණ දේ සොරකම් කළේද යන්න ජනතාවට වැඩක් නැත. ජනතාවට දැනගන්නට වුවමනා වන්නේ, ඊට අදාලව ආණ්ඩුව කුමක් කළේ ද යන්නයි. ජාත්‍යන්තර මට්ටමේ කතාසාප්පු වලින් හෝ ගෙවීමට ඇති ණය ගැන ගණන් හදා පෙන්වා ඵලක් නැති බව ණය ගත් අයටම හේත්තු වූ ජනතාව පෙන්වා දී ඇත. තෙල් හිගයට, පොහොර හිගයට වගකිව යුත්තෝ කවුරුන්ද ඔවුන් කුමක් වූයේදැයි ජනතාව නොදනිති. සංහිඳියාව ගැනද කුමක් කීවද ද‍්‍රවිඩ මුස්ලිම් පළාත්වල ඡුන්දය පාවිච්චි කර ඇති ආකාරය ගැන විමසා බැලීමෙන් පෙනී යන්නේ ජනතාව සංහිඳියාවද  ඕනෑවට වඩා ගණන් ගෙන නොමැති බවයි. මාධ්‍යයේ දෝරේ ගලන සංහිදියා ටෝක් පාර්ලිමේන්තුවේවත් නැති බව සිංහල පිටපතක් පමණක් අතැතිව වාර්තාවක් ගැන විවාද කරන්නට කැසකැවීමෙන් අපි දැක්කෙමු. 

ආණ්ඩුවකින් අපේක්ෂා කරන ගාම්භීර පාලනයක්ද සිදු නොවන, ජනතා උවමනාවන්ට උත්තරයක් දීමටද අසමත් ආණ්ඩුවක් ගැන ජනතාව කොයිතරම් කාලයක් විශ්වාස කරයිද. ඇමතිමාරු ඇස්බැන්ඳුමකින් තවදුරටත් ජනතාව ඇන්ඳවිය හැකිද. යුක්තිය ඉටු වීම ප‍්‍රමාද වීම, යුක්තිය ඉටු නොවූවා හා සමාන යැයි නීතියේ පිළිගත් ආප්තයක් ඇත. ජනතා අපේක්ෂාවන්ද එසේමය. එහෙයින්, ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතු වන බව සිහියේ තබාගන්න.

Wednesday, February 21, 2018

විශේෂ කොමිටි, කොමඩියක් විමට ඉතාම සමීප වී ඇත.



අපේ ගෙදර ප‍්‍රශ්නයක් ආවා රාත‍්‍රී කෑම වේලට කන්නේ මොනවද කියලා. බිරිඳ කියනවා, බත් කියලා. මම කීවා ඉඳිආප්ප කියලා. කතාව ඇදෙනකොට අපි තීන්දුවක් ගත්තා රාත‍්‍රී කෑම ගැන තීන්දුවක් ගන්න අපේ අක්කාගේ පුතා, බිරිඳගේ අක්කගේ දුව, අපේ පුංචි, බිරිඳගේ නැන්දා සහ සමෘද්ධි නියාමක ඉන්න පංච පුද්ගල කොමිටියක් පත් කරන්න. කොමිටියේ වාර්තාව එනකල් දවස් දෙකක්ම බඩ ගින්නේ ඉන්න බැරි නිසා අපි විවිධ දේවල් කාලා බීලා සාමාන්‍ය විදිහට ජීවත් වුණා. අවසානයේ, කොමිටිය දවස් දෙකක් රැුස් වෙලා නිගමනයක් දුන්නා වඩාත්ම සුදුසු, අපි දෙන්නා කතාබහ කරලා සුදුසු දෙයක් කරන එකයි කියලා. ඒ අස්සේ, අපේ අක්කගේ පුතා ඒ වාර්තාවේ ෆුට් නෝට් එකක් දාලා තිබ්බා,ගෘහ මූලිකයා ඔයානම් පිරිමියෙක් වගේ තීරණයක් ගන්නැතුව ඇයි මාමේ මේ පොඩිදේටත් කොමිටිදදා කොමඩියක් වෙන්න හදන්නේ කියලා. 
ඒක වෙනම කතාවක්. මං මේ කියන්න ආවේ වෙන දෙයක්. ප‍්‍රශ්නයක් ආවහම තනි හිතුවක්කාර තීන්දුවක් නොගෙන අවබෝධයැති අයගේ සහ ප‍්‍රාමාණික වියතුන්ගේ උපදෙස් අරගෙන යම් තීන්දුවක් ගැනීම හොඳ ලක්ෂණයක්. නායකත්වයකට පත් වුණාම ‘මං තමයි පොර’ කියන හැඟීම ආරූඨ කරගන්න මිනිස්සු අතරේ පිරිසක් සමඟ සාකච්ඡුා කරන්න තීන්දු කිරීමම එක්තරා කොලිටියක්. නමුත්, ඒක කොච්චර හොඳ වුණත්, ඒ ක‍්‍රමය බත්පතේ ඉඳලා රටක් ඇල්ලීම දක්වා කුදු මහත් සෑම අවස්ථාවකටම උචිත උපක‍්‍රමයක් නොවන බව නම් තේරුම් ගත යුතුය. ක‍්‍රිකට් වලදී හැම බෝලෙටම එකම ෂොට් එක ගහනවා වගේ, හැම ප‍්‍රශ්නෙටම එකම ක‍්‍රමවේදය අනුගමනය කරලා හරියන්නෑ. අනික එහෙම කරන්න නම් නායකයෝ පාලකයෝ උවමනා නෑ. උවමනා වෙලාවට හැමෝටම කන්දීලා තීන්දු ගන්නත් උවමනා වෙලාවට තනියම තීන්දුවක් අරගෙන ක්ෂණික උත්තරයක් දෙන්නත් නායකයෙක් දක්ෂ වෙන්න  ඕනේ. 

බුදුන් පවා, සමහර වෙලාවට සභාව රැුස් කරලා මතය විමසලා තීරණ ගත්තා වගේම අවශ්‍ය හැම වෙලාවකම තමන්වහන්සේගේ අවසානාත්මක තීන්දුව ලබා දුන් බවත් අපි කියවනවා. ඇතැම් විට බොහෝ දෙනා එපා කියනකොට පවා විවිධ තීන්දු අරගෙන ක‍්‍රියාත්මක කළා. එහෙමයි කියලා කිසි ප‍්‍රාඥයෙක්, බුදුන් කියන්නේ ඒකාධිපතියෙක්ය කියලා කියන්න ආවේ නෑ. සමහර විට එහෙම නොකළා නම්, බුදුන් කියන්නේ තීරණයක් ගන්න බැරි, පෞරුෂයක් නැති මනුස්සයෙක් කියලා කියන්න ඉඩ තිබුණා. 

පහුගිය කාලයේ රටේ මතුවුණු බොහෝ ප‍්‍රශ්න වලට නානාප‍්‍රකාර කොමිටි දාන බව නිරන්තරයෙන් අපි දැක්කා. සමහර ඒවා ඉතා ප‍්‍රශංසනීයයි. ඒත් සමහර කොමිටි සහ ඒවා දැමීම ගැන සමාජය තුළ තියෙන්නේ කල්මැරීමේ හෝ ඍජුබවක් නැතිකමේ ලක්ෂණයක් හැටියට ඒවා උපන්නා කියන අදහසක්. මොන ප‍්‍රශ්නයක් ආවත් මේකටත් කොමිටියක් තමයි කියලා කවුරු වුණත් පූර්වාකල්පනය කරන තත්ත්වයටම දැන් කොමිටි සුලභවෙලා. 

තමන් විසින් පාලනය මෙහෙයවිමේ ක‍්‍රමවේදය සහ ප‍්‍රතිපත්ති පිළිබඳ යෝජනා ඇතුළත් මැතිවරණ ප‍්‍රකාශනයක් ජනතාව වෙත ඉදිරිපත් කරලා, ඒ ප‍්‍රකාශනය ජනතාව විසින් අනුමත කිරීමෙන් පසු, ජනතාව, තමන්ගේ විධායන බලය ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලය වෙතත්, ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවටත් පිරිනමලා තියනවා. එවැනි පසුබිමක, අවශ්‍ය විධායක සහ පරිපාලන තීන්දු ගැනීමේදී පාලකයින් කුකුසක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නෑ. යළි යළිත් ඒ ගැන ජනතාවගෙන් අසමින් ජනතාවට කරදර කරමින් ජනමතය හෑල්ලූ කරන්න උවමනාවක් නැත. සිදුකළ යුත්තේ ඒවා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත‍්‍රණය නිවැරදිවත් වේගවත්වත් ඇති කිරීම පමණයි. ජනතාව ආණ්ඩුත් එක්ක විරසක වෙන්නේ තමන් විසින් අනුමත කළ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක නොකරන විටදී විනා, ඒවා ක‍්‍රියාත්මක කිරීමේ දී නොවේ. ජනතාව නායකයින්ට කොන්ද පණ නෑ කියලා බණින්නේ, පොරොන්දු ඉටු නොකරන විටදී විනා ඒවා ඉටු කිරීමේදී නොවේ.

අනෙක් අතට, යහපාලනය යනු ආයතන දෙපාර්තමේන්තු ආදිය උපදේශකයන්ට හා නිළධාරීන්ට  ඕනෑ  ඕනෑ විදිහට හිතුමනාපෙට කරන්නට දී, යහපාලනේ නිසා අඟිලි ගහන්නෑ කියා පැවසීම යනු යහපාලනය නොවේ. යහපාලනය හෝ නීතියේ පාලනය යන්නට අනවශ්‍ය පරිදි ඇගිලි නොගැසීම වගේම, උවමනා පරිදි මැදිහත්විමද යන දෙකම අයත්වන බව සිහියේ තබා ගත යුතුය. නොඑසේ නම්, ධූරාවලියේ පහළින් සිටින ග‍්‍රාම නිළධාරීවරයෙක් විධායකයේ සාමාජිකයකු වන ඇමතිවරයෙකුගෙන්, ඔයා කවුද මට උපදෙස් දෙන්න කියලා ඇහුවා වගේම හෙට දවසේ ජනාධිපතිවරයාගෙන්ද එවැන්නක් විමසිය හැකිය. ග‍්‍රාම නිළධාරීවරයා තමන් කවුද කියලා දැනගන්නවා වගේම, ඇමතිවරයා ද තමන් කවුද කියලාත් දැනගත යුතුය. එසේ නොවන්නේ නම් එය යහපාලනය යැයි වරදවා තේරුම් ගෙන ගෝණි නැතිව කරේ යාමත් පාලනයක් නොමැතිව දඩාවතේ යාමත් වැලැක්විය නොහැකි වනු ඇත. එහෙයින්, යහපාලනය, නීතියේ පාලනය, ප‍්‍රජාතාන්ත‍්‍රවාදය වැනි දේවල් සහ නෝන්ජල්කම, බයාදුබව, නොදන්නාකම වැනි දේ සමඟ පටලවා ගත නොයුතුය.

ලොකු හාමුදුරුවන්ගෙන් යමක් ඇසූ විට, පොඩි නමගෙන් අසන්න, ඇබිත්තියාගෙන් අසන්නයි නිතර නිතර කියන්නේ නම් කලක් ඇවෑමෙන් නිරායාසයෙන්ම ලොකු හාමුදුරුවෝ කොන් වී පොඩි හාමුදුරුවෝ සහ ඇබිත්තියෝ ලොකු වීම වැලැක්විය නොහැක. එය ආණ්ඩුවකට හෝ රටකටද එසේමය. පාලකයා හෝ පාලනය යන්න කෝෂ්ඨාර්ථයෙන්ම ගත්තාත් පාලනයක් තිබිය යුතුය. නායකත්වයක් තිබිය යුතුය. එය අත්හළ නොහැක. අත්හළ නොයුතුය. අවසන කියමි. කාගේවත් සිත් නොරිදවන ‘ඉතා හොඳ මිනිහෙක්’ වීම සහ ‘හොඳ පාලකයෙක්’ වීම යන සම්මාන දෙකම එකවර දිනාගත නොහැක. කරුණාකර එකක් තෝරා ගන්න.

Wednesday, February 14, 2018

එය එසේ වූයේ කෙසේද..


පළාත් පාලන මැතිවරණයේ ඡුන්ද ප‍්‍රතිඵලය නිකුත් වූවා පමණක් නොව, ඒ ප‍්‍රතිඵලය අවසානයේ දේශපාලනයේ සෑම ස්ථරයක්ම ව්‍යාකූලභාවයට පත් කර ඇත. ඉන් දී ඇති ප‍්‍රමුඛ පණිවුඩය නම්, අද තත්ත්වය සෑහෙන්න දරුණු බවයි. එය එසේ වූයේ කෙසේදැයි විවිධ අය මත දක්වන අවස්ථාවේ තවත් එකක් කීමට අන්‍යවශ්‍යය. නමුත්, මේ අල්ලපනල්ලේම මේ කාරණයත් සිහිපත් කළ යුතුය.

එය එසේ වීමට මේවාද බලපෑවේය. පාලකයින් බලය අතට ගත්තාට පසු, තමන්ට බලය ලැබුණේ කෙසේද කොහෙන්ද යන්න පිළිබද අවබෝධයක් තිබිය යුතුය. ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට ඒ ගැන හාන්කවිසියක මායිමක් නොවූ සේය. ඔවුන් විශ්වාස කළේ මේ සියල්ල සිදු වූයේ ඔවුන්ගේ තනි හපන්කමකට පමණක් වන බවයි. එහෙයින්, බලය පවරා දෙනු ලැබූ ජනතාව සම්පූර්ණයෙන්ම පාහේ අමතක කර දැමුවේය. ජනවරම යනු දියෙන් උපන් දිය ලුණු වාගේ බවත් ලුණු දියේ දිය වී යන්නා වාගේ ජනවරමින්ම දියකළ හැකි බව ඔවුහු නොදන්නාහ. ගම් වලට ගොස් මහජන දිනයක් පවත්වා ජනතාවගේ දුක් ගැනවිලි ගැන අවධානය යොමු කළේ අලසවය. ඡුන්ද දායකයෙක් හෝ පාක්ෂිකයෙක් පැමිණ ලියුම් කඩදාසියක් දෙන්නැයි කරන ඉල්ලීමේ සිට අහිංසක යුක්තිසහගත බොහෝ ඉල්ලීම් නොසලකා හැරියේය. ඒ නිකම්ම නොව, ඔවුන්ගේ ඒ නිශ්ප‍්‍රභ කිරීම් තුළ තිබුණේ උද්දච්ච ස්වරයකි. 

යටිතල පහසුකම්, මූලික අවශ්‍යතා, පොදු පහසුකම් ආදිය පිළිබද වන ඉල්ලීම් උත්ප‍්‍රාසයෙන් හෝ කෝපයෙන් යුතුව බැහැර කළහ. ඒ බව මා වාගේම බොහෝ දෙනෙක් දැක ඇති බව මා විශ්වාස කරමි. දුර බැහැර ගම්මාන වල සිට ඇමතිවරුන් හා නිළධාරීන් සොයාගෙන ජනතාව පැමිණෙන විට දේශපාලනඥයින් නොව ඔවුන්ට හමු වූයේ ලේකම්වරුන් හා පුද්ගලික කාර්ය මණ්ඩලය. ඔවුන්ගේ ගෙම්බර ඇමති ඌෂ්ණයෙන් ගිණියම් බව කියමින් මිනිස්සු බැණ බැණ ගම් වලට ආපසු ගියෝය. ඔවුන් ඒ ගැන ඔවුනොවුන් අතර කතා කළහ. ගිය ආණ්ඩුවල වියදම් ගැන හෝ සෝභන නාස්ති ගැන වේදිකා පැලෙන තුරු බෙරිහන් දුන් ඔවුන් සිය පුරෝගාමීන් පරයන අයුරින් නාස්තිකාර වියදම් කරන බැව් ජනතාව පිළිකුලෙන් යුතුව බලා සිටියහ. ඇතැම් නායකයින් ගුවනින් ගොස් ඡුන්දය දී යළි ගුවනින් කොළඹ එන බව අපි දැක්කෙමු. තව තවත් තැන් වල ඉහළින්ම යන ඉහළින්ම එන නියෝජිතයෝ බොහෝය. අහෝ., එවන් පසුබිමක මහපොළවේ සිටින ජනතාවගේ ප‍්‍රශ්න කියන්නේ කාටද. ඒවා හදුනාගන්නේ කෙසේද. එවන් මිනිසුන් කුමන හෝ ඡුන්දයකට ගිය විට මෙවන් විපත්තියක් අත්පත් වීම අරුමයක්ද. තමා හමුවට එන ජනතාවට තමුසේ ඔ්යි අයිසේ කියා අතිශයින්ම ග‍්‍රාම්‍ය ව්‍යවහාරයෙන් අමතන ඇමතිවරුන් රටේ ඉහළම විධායක ආයතනයක් වන කැබිනට් මණ්ඩලයේ සිටින බව නොරහසකි. කැමරාවක්, වේදිකාවක් සහ මයික් කීපයක් දුටු විට කියන්නට උවමනා දේ හෝ නුවමනා දේ ගැන මෙලෝ මලදාන විඥානයක් නැත. මරු කියවති. මිනිස්සු ඉන් කිපෙති. උත්තර දෙති. මෙසේ කියන්නේ නම්, කප්පරක් කතා කියන්නට හැක. ඒ හැම අනුවණකමකින්ම අවසානයේ සිදු වන්නේ පරාජයට යන මාවත ගොඩනැගීම පමණක් නොව, අගාධයට යන මාවත පුළුල් කර ගැනීමය.

ආර්ථිකය හැදිය යුතුය. දූෂණයට භීෂණයට තිත තැබිය යුතුය. නමුත්, ඒවා ආරම්භ කළ යුතුව තිබුණේ පිං පෙට්ටියට සීල් තැබීමෙන් නොව. පාසල් පෙළ පොත්, නිළ ඇදුම් වෙනුවට වවුචර් දී දරුවන්ද දෙමව්පියන්ද පෝළිමේ තබා නොව. සැමට සමානාත්මතාව දිය යුතු බව සෑබෑව. එසේ වුවද, ඒවා ආරම්භ කළ යුතුව තිබුණේ අරක්කු ගැසට් එකෙන් නොවේ. ඊට මුල්ගල තැබිය යුත්තේ සමලිංගික පනත් ගැන කතාවෙන් නොවේ. හොරු ඇල්ලිය යුතුය. පට්ට හොරු සුරතල් කරමින් නළවමින් පොල් හොරුන් කැන් හොරුන් දඩුකදේ ගැසීම ක‍්‍රමය නොවේ. එය සීමිත පිරිසක ප‍්‍රශංසාවට හෝ ඇගයීමට ලක් වුවද භූමිය හදුනා නොගෙන දේශපාලනය කරන්නට ගොස්, ජනතාව හමුවේ ප‍්‍රතික්ෂේප වීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ වඩා යහපත් අනාගතයක් පිළිබද අපේක්ෂා සීමිත කරුණු හේතුවෙන් අහිමි වී ගොස් ඡුන්දය පරාජය වී, යළිත් මුග්ධයින් හා නරුමයින් විසින් පාලනය අත්පත් කර ගැනීමය. 

කොටින්ම කියන්නේ නම්, ආණ්ඩුව හමුවේ ඇති මේ ප‍්‍රතිඵලය, ජනතා ප‍්‍රතිචාරයකටත් වඩා ඉල්ලාගෙන කෑමකි. මෙවැනි පරාජයකදී බොහෝ දේශපාලනඥයින් කියන්නට හදන්නේ ජනතාව ගොනාට ඇද ඇති බවයි. ජනතාව මෝඩයින් වී විවිධ තීන්දු අරගෙන ඇති බවයි. පාලකයින් ඒ තක්සේරුවේ සිටිනා තාක්කල් තමන් සිටින්නේ කොතැනදැයි වටහා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබේ. 

මා, ඔබද ප‍්‍රිය කරනා ගුත්තිලය උපුටා ගනු කැමැත්තෙමි. එහි මෙසේ ඇත.
‘සමවත වැසි සුළග කෙත් වත් වැවෙන  මෙන
ලොවසත රැුකෙයි නිසි රජ නැණැති මැති ගෙන
එමහත තල නලින් වන දහන වන  මෙන
දුසිරිත රජ කුමැති ගෙන් නසිය හැම තැන’

කොහොම නමුත්, දේශපාලනඥයින්ට හෝ නායකයින්ට ඡුන්දය දිය හැකිය. පඩියක් පෙන්ෂන් එකක් වාහන කීපයක් ආරක්ෂකයින් මෙන්ම විවිධ පහසුකම් ලබා දිය හැකිය. නමුත්, ඔවුන්ට මොලේ දිය නොහැක. කරුණාකර මේ තීරණාත්මක මොහොතේ ඔවුන්ට ප‍්‍රායෝගික ලෝකය පිළිබද අවබෝධයත්, මහපොළව පිළිබද ප‍්‍රඥාව කළ`දකුත් ලබා දෙන්න. දැන් එළැඹ ඇත්තේ අඩුවෙන් කතා කරමින් වැඩියෙන් වැඩ කරමින්, කෘතිම මීඩියා පබ්ලිසිටි ගැන නොසිතා ජනතා ප‍්‍රසාදය ගැන පමණක් සිතා වැඩ කිරීමය. එවිට බොහෝ ප‍්‍රශ්න විසදේවි.

Wednesday, February 7, 2018

නායකත්වය සුදුස්සාට පමණක් දෙන්න..


පළාත් පාලන ඡුන්දයට තවත් ඇත්තේ පැය කීපයකි. කරන්නට ඇති හැකියාව කෙසේ වෙතත්, කරනවායැයි කියූ කෝටි ප‍්‍රකෝටි ගණනක් වන පොරොන්දු සමග සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඡුන්දයට ඉදිරිපත්ව සිටියි. නියත වශයෙන්ම ලබන සෙනසුරාදා ඒ ඒ පළාත් පාලන ආයතනයේ බලය හිමි වන්නේ කාටද යන්න තීරණය වනු ඇත. ඒ කෙසේ වෙතත් තමන්ගේ ප‍්‍රදේශයේ නියෝජිතයා කවුරුන්ද යන්න නියතවම එදින මධ්‍යම රාත‍්‍රියට පෙර තීන්දු වනවා නිසැකය.
අපි දරුණු උභතෝකෝටික දෙකක සිරවී සිටිමු. ඉන් පළමුවැන්න නම් අපි දන්නා හදුනන කීප දෙනා අතරින් අපේ නියෝජිතයා ලෙස පත් කර ගන්නේ කවුද යන්නයි. ඒ සමහරක් ඒවා පළමු බෙදීමකදීම ඉවත් කර ගැනීමට හැකියාව ඇතත්, සමහර ඒවා අවසන් තත්ත්පරය දක්වාම තීන්දු කර ගැනීමට නොහැක. අපි මුළින් ඉල්ලුවේ ඇස් දෙක පියාගන කතිරේ ගහන්න පුළුවන් අපේක්ෂකයින් අපේ නියෝජිතයින් ලෙස තෝරා පත් කර ගැනීමේ වරණයට යටත් කිරීමට අප වෙත එවන ලෙසයි. සමහර අපේක්ෂකයින් දෙස බැලූ විට, අපිට තේරෙන එකම දේ නම් අපේ ඉල්ලීම පයිසෙකට මායිම් නොකොට දෙනවානම් දීපං නැත්නම් නිකං හිටපං න්‍යාය යටතේ ක‍්‍රියාත්මක වී ඇති බවයි. ඉන් ද සමහරත් ඒවා ජනතාව වන අපව සමච්චලයට ලක් කරමින් දුන් නාමයෝජනා බව පවා දකින්නට ලැබේ. ඔවුන්ට අපව නියෝජනය කරමින් අපේ ප‍්‍රශ්න විසදනවා තබා ඔවුනොවුන්ගේ ප‍්‍රශ්න විසදාගන්නටවත් මේ අවුරුදු හතර ප‍්‍රමාණවත් නැත. නමුත්, සමහර ඒවා ඉතාම ප‍්‍රශස්තය.
අනෙක් අතට සියලු පක්ෂ නායකයින් ජනතාවට යම් ප‍්‍රමාණයකට වෙට්ටු දමන්නට උත්සාහ ගත් බවද ජනතාව නොදන්නවා නොවේ. ප‍්‍රදේශයේ කීර්තියක් හා පිළිගැනීමක් ඇති පුද්ගලයින් කොට්ඨාශ මට්ටමින් ලයිස්තුවට දැමූ ඔවුහු උවමනාම මිනිස්සු ටික ලයිස්තුවට ඇතුළත් කර ඇති බව ජනතාව තැන්තැන්වල කසුකුසුගාන බව දක්නා ලැබේ. එහෙයින්, ජනතාවගේ සිත්තුළ ඇති මේ කුකුස දුරලීමේ වගකීම ඇත්තේද ඔබ අතේය. සුදු චරිත ඡුන්දයට දමා කළු චරිත ලයිස්තුවෙන්ද ගැනීමට උත්සාහ කරන්නේ නම් එය පත්තරේදිත් රූපවාහිනියේදීත් ඔබ දකින දකින වාරයක් ගාණේ ඔබේ රුවට පවා ශාප කරන්නට හේතු වනු ඇත. ඇතැම් පුද්ගලයින්ට නාම යෝජනා දීම ගැන පවා ජනතාව නිහඩව සිටින්නේ, ඔබ විසින් කළ දේ සුදුසු බව පිළිගන්නා නිසා නොවේ, කළු ගල් වල හිස ගසා ගැනීමට සූදානම් නැති නිසා පමණක් බව මේ තීරණාත්මක වේලාවේ සිහිපත් කරමි.
දැන් ගිය හකුරට අඩා වැඩක් නැත. එවා ඇති ලයිස්තුවෙන් ජනතාව වඩාත් ප‍්‍රිය කරනා හෝ නායකත්වයට සුදුසු යැයි විශ්වාස කරන පුද්ගලයින් දහ වැනිදා කතිරයෙන් පත් කර එවනු ඇත. ඉන් ජනතාවගේ වගකීම අවසන්ය. ඉන් පසු ඇත්තේ ජනතාවගේ දෙවැනි උභතෝකෝටිකයට විසදුම් සෙවීමයි. පුළුපුළුවන් ආකාරයට පෙරා බේරා එවනු ලබන නියෝජිතයින් අතුරින් නායකත්ව වගකීම් පවරන්නන් තීන්දු කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතේය. සුදුසු හා ගැලපෙන නායකයින්ට එම වගකීම් භාර දිය යුතුය. එහෙම නැත්තං, අවුරුදු හතරක් ගෙවුණු පසු ජනතාව ප‍්‍රතිචාර දක්වන්න පටන් ගත්තහාමත් ඔබ විසින්ම පත් කළ ප‍්‍රාදේශීය නායකයින් ඔවුනොවුන්ගේ ප‍්‍රගති වාර්තා පෙන්වන විට මං මේ මොකද්ද කරගත්තේ කියලා හිතෙයි. ඒ සිතිවිල්ල පුද්ගලික පශ්චත්තාපය ඉක්මවා ගොසින්, ජාතියක් විසින් සාප කරන කරුණක් බවටද පරිවර්තනය වන බව නියතය.
පාලකයෝ පත් වන්නේ ජනතාවගේ හැටියට වුවත්, නව පළාත් පාලන ඡුන්ද ක‍්‍රමය අනුව එය එසේම නොවන බව ඔබට මට නොරහසකි. පාලකයින් පත් වන්නේ පක්ෂ නායකයින්ගේ හැටියටයි යන්න ඊට වඩාත් ගැලපෙන ප‍්‍රකාශය බව පෙනේ. එහෙයින්, නායකත්වය යනු තනතුරක් හෝ නමක් පමණක් නොවන බවද විශේෂයෙන්ම මේ වාගේ වේලාවක ඔබ තීන්දු ගත යුත්තේද හැසිරිය යුත්තේද වෙනදාටත් වඩා සැලකිල්ලෙන් හා ප‍්‍රවේශමෙන් බව සිහිපත් කරමි. උපදෙසක් දෙන්නට තරම් වයසක් හෝ අත්දැකීමක් නැති වුවත් මේ ඉල්ලීම දරුවෙක් විසින් පියෙකුට කියන්නා ආයාචනයක් කොට සලකතැයි විශ්වාස කරමි.
එහෙයින්, අද වනතුරු වේදිකා ගාණේ කියවූ දාර්ශනික වදන් දූර්දර්ශී ප‍්‍රතිපත්ති පිළිබද දේශනා නිසැකයෙන්ම ප‍්‍රත්‍යක්ෂවම තමන් විසින් අනුගමනය කරන බව පෙන්වීමට ඔබට ඇති අවස්ථාවද ඒ ඒ පළාත් පාලන ආයතන වල නායකත්ව වගකීම් දෙන්නන් තෝරා පත් කර ගැනීමේ දී අනුගමනය කරන ක‍්‍රමවේදයයි. හොරකමට වංචාවට දූෂණයට එරෙහිව මයික් පැළෙන තුරු කෑ ගැසූ ඔබ, ඔබේ අතට තෝරා ගැනීමේ යශ්ඨිය පැමිණි විට තේරී පත් වී ඇති නොම්බර එකේ තක්කඩියෙක් වෙත පිරිනමන්නේ නම් දෙවියන් යදිනවා හැර ජනතාවට අන් විකල්පයක් නොවනු ඇත. ඒ ජනතා ශාපය වදිනා ආකාරයෙන් හැසිරීමෙන් වලකින මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නට මෙය වෙලාවක් කරගනිමි.
තුමනි, මේ තීරණාත්මක වේලාවේ දී පක්ෂයේ පැවැත්ම, ගොඩ වැඩි කර ගැනීම, පුද්ගලික හිතවත්කම්, පරණ යාළුකම්, නොකර බැරිකම් ගැන නොසිතා ජනතාවගේ අභිලාෂය ගැන සිතා ජනවරමට හිස නමා සුදුස්සන් පමණක් සුදුසු තැන්හි පිහිටුවීමට සුභ සිත් පහළ වේවායි ප‍්‍රාර්ථනා කරමි. ජය වේවා.