Wednesday, February 28, 2018

ආණ්ඩුවේ උවමනාව සහ මහපොළවේ උවමනාව



[ජයතිලක තෙන්නකෝන්] සහ [භාරත තෙන්නකෝන්]


ගැඹුරින් සැලකුවත් සරලව ගත්තත් යහපාලනය යනු නීතියේ පාලනය හා යහපත් ආණ්ඩුකරණ යන එකිනෙකින් වෙන් කළ නොහැකි සංකල්ප වල එකතුවක්. එකිනෙකින් වෙන් කළ නොහැකි සිද්ධාන්තයක්. එනම් එහි පාලනය යන වචනයෙන් ආණ්ඩුකරණය යන අර්ථය ගැබ්ව ඇති නිසාම යහපාලනය යනු මොහොතකටවත් පාලනයක් නොමැතිකමක් නොවන බවත් එය යහපත් යැයි ලෝක සම්මත පාලනයක් බවත් තේරුම්ගත යුතුය. එහෙයින්, ආයතනයක් නීතියට අනුකූලව ක‍්‍රියාකරනවාද එකී ආයතනයේ ජනතාවට නිසි සේවය සැපයෙන්නේද යන්න සොයා බැලීමත්, එය එසේ සිදු නොවන්නේ නම් උපදෙස් දීම, රීති පැනවීම, චක‍්‍රලේඛ නිකුත් කිරීම, නියෝග පැණවීම, අකාර්යක්ෂම නිළධාරීන් ගැන පියවර ගැනීම මෙන්ම එකී ආයතනයෙන් අවශ්‍යයෙන්ම සිදු විය යුතු සේවය සිදු නොවනවා නම් ඊට අවශ්‍ය මැදිහත් වීමත් අදාල නීතිරීති වලට අනනුකූල නොවේ.

ඒ න්‍යාය ලංකාණ්ඩුවටද එසේමය. නමුත්, නිළධාරීන්ද පාලකයින්ද අද වන විට යහපාලනයේ සැබෑ අර්ථය මහපොළවේදී පටලවාගෙන තේරුම්ගෙන ඇති බව පෙණේ. මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට වර්ජන හා උද්ඝෝෂණවල ඉවරයක් නැත. පැය ගණන් මාර්ග අවහිර කරගෙන උද්ඝෝෂණය. ඒ හැම වේලාවකම ආණ්ඩුව සුරතල් වූවා මිස, රටට සිදුවන අවමානය හා අලාභය ගැන හෝ වර්ජකයින් සිදු කරන අසාධාරණකම් ගැන තැකීමක් කරනු දුටුවේ නැත. පොඩි මිනිස්සු පමණක් නොව, වෛද්‍යවරු වැනි විවිධ පරිපාලන මට්ටමේ වැටුප් හා වරප‍්‍රසාද ලබන නිළධාරීන්ද වර්ජනය කිරීම ජනප‍්‍රිය අවියක් කරගෙන ඇත. රටවැසියා විඳිනා දුක් අපමණය. පීඩාවට පත්වන ජනතාව නොකානොබී පැය ගණන් මහමග දුක්විඳිමින් ඉන්නා අතරතුර, මේ ආණ්ඩුව උද්ඝෝෂණ හා වර්ජන වලට දී ඇති නිදහස ගැන උදම් අනමින් ආණ්ඩුවට ආශීර්වාද කරනු ඇතැයි සිතිය හැකිද. යහපාලනය අනුවම මේවා පාලනය කිරීමේ ක‍්‍රම ගැන හෙඳින් සඳහන් වුවත්, ඒවා කි‍්‍රයාත්මක නොකර බලා සිටියේය. 

එසේම, මහාමාර්ග ඇමතිවරයා ප‍්‍රමුඛ කණ්ඩායමක් අධිවේගී මාර්ගයේ කඩවත දක්වා කොටස විවෘත කළ අවස්ථාවේදී කාන්තාවන් විසින් හිටපු ජනාධිපතිවරයාගේ රුව සහිත පුවරුවක් ඔසවාගෙන මාර්ගයට පැමිණ කරන ලද විකාරය ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය. තවත් මේ හා සමානම සිද්ධීන් ගණනාවක් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ ආරම්භයකි. එම තත්ත්වය මුලින් මුලින් පට්ට ප‍්‍රජාතාන්ත‍්‍රවාදීයැයි හැගුණද, ගැඹුරින් විමසීමේදී කෙතරම් ජුගුබ්සාජනකද. දයා ගමගේ, දුමින්ද දිසානායක, රංජන් රාමනායක ඇතුළු ඇමතිවරුන් කීප දෙනෙකුටම, රාජ්‍ය සේවකයින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුණු බවද ආයතන තුළදී හයිකාරකම් පෙන්වූ බවද ජනමාධ්‍යවල ප‍්‍රචාරය වීම මේ පටලැවිල්ලේ කූඨප‍්‍රාප්තියකි. නමුත්, එය කිසිසේත්ම කෙළවරක් ද නොවේ. මෙය හරියටම පාසලේ ළමුන් පළමුව රහසේ රතිඤ්ඤා පත්තුකර පසුව කෙළින්ම ගුරුවරුන්ට පහර දෙනවා හා සමාන ඛේදවාචකයකි. එවිට බලාසිටින අය පාසලේ විනය පිරීහී ඇති බවටත් නිසියාකාරයෙන් පාලනය කර ගැනීමට නොහැකි බවටත් දෝෂාරෝපණය කරන්නේ විදුහල්පතිට මිස ගුරුවරුන්ට හෝ ළමුන්ට නොවේ. 

මේවා ඉවසාගෙන සිටීම රජයේ නිහතමානීකම යැයි සිතා ජනතාව ආණ්ඩුවට ඡුන්දය දෙතැයි කිසිවෙක් සිතුවා නම් එය සිදුව නැත. සිදු වූයේ ජනතාව ආණ්ඩුවේ පාර්ශවය අත්හැර දමා, යළිත් දරදඩු පාලකයින් වෙත නැඹුරු වීමය. උද්ඝෝෂණ හෝ වර්ජන කළ පිරිස් පවා, තමන්ට වැඩවර්ජනය කිරීමේ නොනිමි නිදහස් ලබා දුන්නේ යැයි ප‍්‍රශංසා කොට ආණ්ඩුවට ඡුන්දය දුන්නේ නැත. සිදුවූයේ ඡුන්දයද අඩුවී ආණ්ඩුවේ ගාම්භීරත්වයද අභියෝගයට ලක්වීමය. (ගාම්භීරත්වය යනු කුමක්දැයි වටහා ගැනීමට එක නිදසුනක් ලියනු කැමැත්තෙමු. මින් පෙර සෑම යුගයකම පාහේ, ඇමතිවරයකු කොළඹ සිට නුවර යන්නේ නම්, මහපාරේ සියලූම හන්දිවල සිටින පොලිස් නිළධාරීන් නොසෙල්වී සීරුවෙන් සිටියි. විධායකයේ පාර්ශවකාරයෙක් පාරේ යන බව හැමෝටම දැනේ. එදා එසේ කළද, දැන් එසේ නොකිරීම නීතියට අනුව එකඟ විය හැක. නමුත්, මෙය ආණ්ඩුවේ ගාම්භීරත්වය පිළිබඳ කාරණාවක් බව පිළිගත යුතුය.* ආණ්ඩුවේ ගාම්භීරත්වයද රටවැසියා බලාපොරොත්තු වන දෙයකි. ගාම්භීර නොවන පාලනයන් සලකන්නේ නෝන්ජල් පාලන ලෙසය. එනිසා කුමන තත්ත්වයකදී වුව ද ආණ්ඩු, ගාම්භීරත්වය අත්නොහළ යුතුය. 

එවැනි ‘අඩුපාඩු’ද කරපින්නාගෙන යන ආණ්ඩුවට පාක්ෂිකයා ආරක්ෂා කර ගැනීමට හෝ රටවැසියා සතුටු කිරීමට කිසිම වුවමනාවක් නැති බව පෙණේ. සොරෙක් කොපමණ දේ සොරකම් කළේද යන්න ජනතාවට වැඩක් නැත. ජනතාවට දැනගන්නට වුවමනා වන්නේ, ඊට අදාලව ආණ්ඩුව කුමක් කළේ ද යන්නයි. ජාත්‍යන්තර මට්ටමේ කතාසාප්පු වලින් හෝ ගෙවීමට ඇති ණය ගැන ගණන් හදා පෙන්වා ඵලක් නැති බව ණය ගත් අයටම හේත්තු වූ ජනතාව පෙන්වා දී ඇත. තෙල් හිගයට, පොහොර හිගයට වගකිව යුත්තෝ කවුරුන්ද ඔවුන් කුමක් වූයේදැයි ජනතාව නොදනිති. සංහිඳියාව ගැනද කුමක් කීවද ද‍්‍රවිඩ මුස්ලිම් පළාත්වල ඡුන්දය පාවිච්චි කර ඇති ආකාරය ගැන විමසා බැලීමෙන් පෙනී යන්නේ ජනතාව සංහිඳියාවද  ඕනෑවට වඩා ගණන් ගෙන නොමැති බවයි. මාධ්‍යයේ දෝරේ ගලන සංහිදියා ටෝක් පාර්ලිමේන්තුවේවත් නැති බව සිංහල පිටපතක් පමණක් අතැතිව වාර්තාවක් ගැන විවාද කරන්නට කැසකැවීමෙන් අපි දැක්කෙමු. 

ආණ්ඩුවකින් අපේක්ෂා කරන ගාම්භීර පාලනයක්ද සිදු නොවන, ජනතා උවමනාවන්ට උත්තරයක් දීමටද අසමත් ආණ්ඩුවක් ගැන ජනතාව කොයිතරම් කාලයක් විශ්වාස කරයිද. ඇමතිමාරු ඇස්බැන්ඳුමකින් තවදුරටත් ජනතාව ඇන්ඳවිය හැකිද. යුක්තිය ඉටු වීම ප‍්‍රමාද වීම, යුක්තිය ඉටු නොවූවා හා සමාන යැයි නීතියේ පිළිගත් ආප්තයක් ඇත. ජනතා අපේක්ෂාවන්ද එසේමය. එහෙයින්, ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතු වන බව සිහියේ තබාගන්න.

1 comment:

Bisandu Thilakarathne said...

මල්ලී ඔයාගේ කථා මම යාපනේ ඉන්න දවස්වල ඉඳලා කියවනවා... ඒ කියන්නේ 2011 වගේ ඉඳලා...ඒ දවස්වල උඹේ පෝස්ට් මම නොවරදවාම කියෙව්වා....ඒවා හරි සැරයි මල්ලී...හරි තදයි...උබ තරහ වෙන්න එපා, මම මේ දේ කිව්වට..දැන් උඹ ලියන ස්ටෝරි සැර මදි මල්ලී...හරිම සිනිඳුයි...

ඇත්තම කිව්වෝත්....! ඉස්සර තිබිච්ච ගතිය...ආතල් එක දැන් උබේ කථාවල නෑ...... වෙරි සොරි..ඒත් කියවනවා....