Wednesday, March 21, 2018

ඔබට ඒ වෙඩි හඬ නෑසේද..




තොග පිටින් මිනිසුන් මිය ගියත් ඉලක්කම බලා වගක් නැතිවම තමන්ගේ වැඩක් කරගත් යුගයක් නිමාකර අදට දශකයකට ආසන්නය. එකල්හි අප පුදුම වූයේ, නොමැරී ගෙදර ආවේනම් මිස මහමගදී මිය ගියානම් නොවේ. ඉන් පසුද ටික කාලයක් බෝම්බ, පිස්තෝල, ඝාතන, මරාගෙන මැරීම්, තුවක්කුකරුවන් වැනි වචන ඇසීම අපට අමුත්තක් නොවිණි. නමුත්, යම් කාලයකින් පසු ඒවා තරමක් දුරට තුළනය වූ බවක් අප දුටුවේය. එවැනි පසුබිමක් තුළ දැන් දැන් යළිත් පාතාල සෙල්ලම් ගැන වැඩියෙන් අසන්නට ලැබීම අප කාගේත් සිත් දිගස්සන බව අමුතුවෙන් කිව යුතු නැත. ගෙවුණු මාස තුනේදී එම ගණයේ වෙඩි තැබීම් පහළොවක් පමණ වාර්තා වූ බව වාර්තා වේ. ඒවා බහුතරය කොළඹ අවටය. කොළඹ යනු රටේ අගනුවරයි.

ඒ කිසිවක් ගැන සාමාන්‍ය මිනිස්සු තරම් ආණ්ඩුව කලබල වූ බවක් අප නොදැක්කෙමු. එය රටේ නිදහසට විශාල බලපෑමකි. නීතියේ පාලනයට, සමාජ සංහිදියාවට තර්ජනයකි. පොලීසිය රැකවල් දමා සිටින කලාපයන් තුළදී පවා දවල්, රෑ, පාන්දර, සවස කියා වෙනසක් නැතිවම රහසේම පැමිණ රහසේම කොකා ගස්සා රහසේම පලාගිය බව ඇසෙන්නට ඇත. මෙවැනි දේ මගින් රටවැසියා තිගැස්මට, භීතියට පමණක් නොව, සෙනග ගැවසෙන තැන්වල එක්වරම සටපට ගා වෙඩි පුපුරන්නේ නම් කුමක් සිදුවන්නේදැයි සිතාගැනීමට නොහැකිව භ්‍රාන්තව සිටින බව පමණක් අපි දකිමු. පාතාලය හා කප්පම්කරුවන් වැන්නවුන් හිස එසවීම සාමාන්‍ය ජනතාවට අමතරව, ව්‍යාපාරිකයින්, යමක් කමක් ඇති අය හා සමාජ ක්‍රියාකාරිකයින් වැන්නවුන් මහත් භීතියට පත් කරන්නකි. ඔවුහු නිහඩ වීම හා නිෂ්ක්‍රීය වීම රටකට හොඳ මදිය. ඉන් සමාජයට සිදුවන නිෂේධනීය බලපෑම අමුතුවෙන් කිව යුතු නැත. නිතර නිතර වෙඩි පුපුරපු කිසි තැනක් දියුණු වී නැත.

එහෙයින්, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රතාපවත් බවට හා අභිවෘද්ධියට වින කටින දේ මර්ධනය හෝ පාලනය කිරීම මානව නිදහස රැකීමේම කොටසක්ය. එය ආණ්ඩුවේ වගකීමයි. කැමති තැනක ජීවත්වීමට, නීත්‍යානුකූල රැකියාවක හෝ ව්‍යවසායක නියැලීමට පුරවැසියනට ඇති අයිතිය හුදු මානව අයිතියක් ලෙස පමණක් නොව, මූලික අයිතියක් ලෙසද රටතුළ පිළිගෙන ඇත. එවැනි පසුබිමක් තුළ එකී සංසිදීමට අභියෝග කරන්නවුන් මර්ධනය කිරීම මානව අයිතිය පමණක් නොව රටේ මූලික අයිතිය පවා තහවුරු කිරීමේ වෑයමක් ලෙස සැලකිය යුතුය. එහෙත්, දරුවන් නැළවීම සහ සමාජ විරෝධීන් මර්ධනය යන දෙකම එකම විධික්‍රමයකින් කළ නොහැකි බව නම් කිව යුතුය. සංවිධානාත්මක සමාජවිරෝධී ක්‍රියාකාරකම් සාර්ථකව මර්ධනය කළ ලොව සෑම රටක්ම ඔප්පු එය කර ඇත. එවැන්නක් කිරීමට නම් අවංක උනන්දුවක් තිබිය යුතුය. පොදුජන නිදහස හා අභිමානය රැක්ක යුත්තේ ඔවදන් දීමෙන්ද ඇග බැඳීමෙන්ද දඩුවම් දීමෙන්ද නැතිනම් වෙඩි තැබීමෙන්ද යන්න තීන්දු කිරීම ආණ්ඩුවේ වැඩකි. ඒ වෙනුවෙන් ජනතාව ගෙවති. කැපකරති. පාලකයින්ට සැපදෙති. බලය දී ඇත. ජනතාවට අවශ්‍ය අවසන් උත්තරය දැන් අප නිදහසේ හුස්ම ගැනීමට තරම් සුරක්ෂිතද නැද්ද යන්න පමණි.

මේ එළියේ සරන්නේ හාම්පුතුන් නොවන බවත් ඔවුන්ගේ හීලෑ බල්ලන් පමණක් බවත් රට දන්නා කරුණකි. යථාර්ථය නම්, දඩාවතේ යන බල්ලන් එකෙක් දෙන්නෙකුට ඉන්ජෙක්ෂන් දෙන විට අනෙක් හාම්පුතාලා තමතමන්ගේ බල්ලන් කූඩුවල ගාල් කර ගනිති. එක්කෝ, එකක් දෙකක් ආරංචි වන විට ස්වේච්ඡාවෙන්ම ඔවුන්ිසීන් එකෙන් අයින් වෙනවා’ ඇත. නමුත්, ඒවා මර්ධනය කරන්නට සූදානම් වන විට තරහා සමනය කරන්නට, බේරා ගන්නට, ඩීල් දමන්නට එන අයගේ සමාජ, දේශපාලන හෝ මුල්‍යමය බලයන් හමුවේ දෙකට නැවී ඇඹරී පස්සට අඩි තබා ඒවා කළ නොහැක. බොහෝ අයගේ විශ්වාසය නම්, අනෙක් සියලු මෘග ක්‍රියාකාරකම් වලදී මෙන්ම මේ හැම කෙළිකාරකමක් පිටුපසත් දේශපාලනයේ අන්කොන් ගෑවී තිබීම නිසා මේවා පාලනය කිරීමට නොහැකි වී ඇත යන්නය. හිතවත්කම්, පක්ෂපාතීකම්, අපේකම්, ගමේකම් ගැන නොසිතා කොන්ද පණ ඇති තීන්දුවක් ගත යුතුය. ඊට අවශ්‍ය බලය ජනතාව විසින් ජනවරමක් ලෙස දී ඇති ඇත. අනෙක් අතට ව්‍යවස්ථා නීති ආදියෙන් පිරිනමා ඇත.

පාතාලය මර්ධනය කරනවා, කුඩු නවත්තනවා, රට සුඛිත මුදිත කරනවා ආදී වශයෙන් ලෝකෙට පෙණෙන්නට කයිවාරු ගැසීම පමණක් තිබී ඒවා කළ නොහැක. රටේ මිනිසුන්ගේ මානව නිදහස වෙනුවෙන්, ඊට බාධා කරන්නවුන් හොඳින් හෝ නරකින් ‘සීන් එකෙන් අයින් කළ යුතු’ය. නමුත්, එවැන්නක් වූ බවක් පෙණෙන්නට නැත. සමහරු සමහර දේ නෑසුණු කන් ඇතිව ඉන්නේ බියගුළු බව නිසාදැයි ජනතාවට සිතේ. පාතාලය, කුඩු හෝ කප්පම් හෝ මැඩීමට වුවමනා නම් අවශ්‍ය වන්නේ වුවමනාව පමණි. නමුත්, අපට පෙණෙන හැටියට නැත්තේද වුවමනාවයි .එක්කෝ දෙපැත්ත බැලන්ස් කරනවා විය හැක. එය එසේ නම්, මෙය ආසියාවේ චිකාගෝව වීම නවතාලනු නොහැකි වනු ඇත.

බංගලියෝ පෙණේ පිප්පීමෙන් පසු.


නිදහස් කුසලාන ක්‍රිකට් තරගාලවිය අවසන් විය. අපේ නිදහස වෙනුවෙන් සංවිධාන වුණු මේ තරගාවලිය අපි නැතිව අවසන් විය. බංගලියෝ අපට පෙණේ පිප්පූහ. අපි ඉන්දියාන්කාරයින් ලවා බංගලියන්ට පෙණේ පුම්බා පෙන්නා හිත හදාගත්තා. එසේ හිත රවට්ටාගත්තාට, අපි පිළිගත යුතු යථාර්ථවාදී සත්‍යය නම් බංගලියෝ මෙන්ම ඉන්දියන්කාරයෝද අපට පෙණේ පිප්පූ බවයි. සාමාන්‍යයෙන්ම මේ වගේ තරගාවලියක් පරාජයට පත් වූවාට පසු එකඑක වර්ගයේ පණ්ඩිත වාක්‍ය කියමින් අරෙහෙමයි මෙහෙමයි කියා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන සහ නිරීක්ෂණ නිගමන වාර්තා දෙන අය ඕනෑ තරම් ඉන්නා නිසා ඒ නිගමන කතාද දැන් වැඩකට නැති වහසි බස් පමණක් වී ඇත. කෙසේ නමුත්, මට නම් පෙණෙන්නේ නිදහස් කුසලානයේදී අත්වූ ඉරණම, හරියටම පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ඉරණමට සමානය. එනම් හිත රවට්ටාගත්තාට, ඇත්ත වසන් කළ නොහැක.

පසුගිය වසර කීපය සැලකීමේදී හාවා හඳ දකින්නා වාගේ එහෙන් මෙහෙන් තරගයක් හෝ තරගාවලියක් දිනා තිබුණාට, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයක හෝ තරග දිනන තත්ත්වයක නොවන බව අප පිළිගත යුතුය. ඒ වෙනුවෙන් කළ යුතු දේ කුමක්දැයි ටිකට් එකක් අරගෙන හෝ ටීවී එකේ චැනල් එක මාරු කරගෙන ක්‍රිකට් මැච් බලන ප්‍රේක්ෂකයින්ට තක්කෙටම කිව නොහැකි වුවත්, ක්‍රිකට් වලම ජීවත්වන පුද්ගලයින්ට ඒ ගැන අදහසක් තිබිය යුතුය. නමුත්, ක්‍රිකට් බලන අපට පෙණෙන්නට ඇති එක දෙයක් ඇත. එනම්, යටකී පුද්ගලයින්ට සිදු වී ඇති දේ හා සිදු කළ යුතු දේ ගැන අදහසක් තිබිය යුතුයැයි අප විසින් පූර්වෝපකල්පනය කළද ඔවුන් සතුව එවැනි අදහසක් නැත යන්නයි.

බංගලියන් දක්ෂයන් බවට පත් වී ඇත. ඒ ගැන විවාදයක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් ලබා දෙදශකයක් ගෙවෙන විට ලෝක කුසලානයක් ඇතුළු කුසලාන කප්පරක් දිනා තිබිණි. ඒ නිසා, අප පුදුම විය යුත්තේ ටෙස්ට් වරම් ලබා දශක දෙකකටත් කිට්ටු බංග්ලාදේශ ක්‍රීඩකයින් එසේ නොවූයේනම් මිස එසේ වූයේනම් නොව. හැත්තෑව අසූව දශකයේ පතාකයින්ව සිටි බටහිර ඉන්දීය කොදෙව්වන්ට වූ දේ පිළිබද අප කල්පනා කළ යුතුය. අද වන විට ක්‍රීඩාකරන්නට එකොළොස් දෙනෙක් සොයා ගැනීම පවා අපහසු තත්ත්වයටම ක්‍රිකට් පිරිහී ඇත. 2016 වසරේ ඉන්දියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය දිනූ කොදෙව් පිළේ නායකයාගේ කතාව අප යළියළිත් සීරුවෙන් ශ්‍රවණය කළ යුතුය. එක පැත්තකින් එය උත්ප්‍රේරකයක් වනවා සේම, කොදෙව් ක්‍රිකට් වංශකතාව ඛේදවාචකයක් වූයේ ඇයිදැයි ඔබට දැණෙනු ඇත. අනූව දශකයේ කැපී පෙණෙන දක්ෂයින් වූ සිම්බාබ්වේ සහ කෙන්යානු කණ්ඩායම් අද සිටින්නේ කොතැනද. මේ සෑම කණ්ඩායමක්ම පාහේ පිරිහෙන්නට හේතු වූයේ පරිපාලනමය වශයෙන් ගත යුතු තීන්දු නොගැනීම සහ නොගත යුතු තීන්දු ගැනීමෙන් බව නොරහසකි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී පාසල, ගම, ක්‍රීඩා සමාජය, ඥාති හිතමිත්‍රාදී සබදකම් පමණක් නොව දේශපාලනික මතය යනේවා වඩාත් සැලකිළිමත් වන බවට අරක මේක යැයි ඇගිල්ල දිගුකර පෙන්වීමට තරම් භෞතික සාක්ෂි නැතත් සංඥානනය වන දේවල් ඇති බව කවුරුත් පිළිගන්නා බව පමණක් දනිමි. ජනවාරි 17 වැනිදා යෝගානන්ද විජේසුන්දර මහතාට ප්‍රණාම පුදකළ උළෙලේ හිටපු නායක අර්ජුන රණතුංග විසින් වරායට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු වෙනත් ක්‍රීඩා සමාජයකට යාම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ බවට කළ කතාව ඊට කදිම විශේෂඥ සාක්ෂියක් යැයි විශ්වාස කරමි. ‘මල්ලි ඔයා අපේ ක්ලබ් එකට ගහන්න එන්නැත්තං, මං ඉන්නකල් සිලෝන් ටීම් ගහන්න හිතන්නවත් එපා’ යැයි එකම නම ඇති ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර සිදු වූ බව කියන සංවාදයක් ගැන මීට වසර ගණනකට පෙර මා අසා ඇත. ඒවා එසේ වන්නේ කෙසේද. ඒවා එසේ වන්නේ නම්, මේ පිටියේ ඉන්නේ දක්ෂයින්මද යන්න සැකමතු නොවන්නේද. විවිධ දක්ෂයින් දක්ෂතා නොවන වෙනත් ගැටළු හේතුවෙන් එළියේ ඉන්නා බවට මේවා ඉගි නොවන්නේද.

අද වන විට අප පත්ව සිටින අසරණබව හා කරකියාගත නොහැකි බව අහම්බයක් හෝ එකපාරටම සිදුවූවක් නොවේ. එය එක පැත්තකින් ක්‍රීඩකයින් ද ඇතුළු ක්‍රීඩාවේ සක්‍රීයව නියැලෙන්නන්ගේ මෙන්ම ඊට අදාල අනෙක් අනෙක් අයගේ දෝෂවල එකතුවකි. ඒ දෝෂ හදුනානොගන්නා තාක්කල් ඉදිරි පිම්මක් නැත. ඇත්තේ ආපස්සට යාමක් පමණි. එසේ නොවන්නට බංගලියන් පෙණේ පුප්පා නැවතුනද, ලෝකයේ ක්‍රිකට් බාලයින් සියල්ලෝම අප ඉදිරියේ කොකා පෙන්නනු ඇත.

Wednesday, March 14, 2018

බුදුහාමුදුරුවන්ට බුද්ධාගම ඉගැන්වීම

සමහර ඒවා මෘදුවට කීවාම තේරෙනවා. සමහර ඒවා ටිකක් දැඩිව කියන්න ඕනේ. හැබැයි සමහර ඒවා තියනවා එහෙම බෑ. එල්ලලා දෙකක් දීලා කීවහමයි තේරෙන්නේ. ඒත්, බුදු දහම හෝ බුද්ධ සාසනය කියන්නේ එල්ලලා නෙළලා අවබෝධ කරනවන එකක්වත්, එවැනි දේ තුළින් ආරක්ෂා කර ගත යුතු හෝ හැකි එකක් නොවේ. නමුත්, මේ කතාවත් සමහර අයට මෘදුවට කීවහම තේරෙනවා. සමහර අයට ටිකක් දැඩිව රළුවට. ඒත් සමහර අයට පොල්ලක් අරගෙන ඔළුවට ගහලා කීවාත් තේරෙන්නේ නෑ.

මෙලෙස දේවල් අවබෝධ කර ගැනීමේ හැකියාව හෝ විභවය අඳින ඇªම, කතාකරන භාෂාව, උපදින කුලය, ජනපදය හෝ පවුල අනුව තීන්දු වෙන්නේ නෑ. කවුරුහරි හිතනාවනම් ටයි කෝර්ට් දාන අයට වඩා හොඳට ජාතික ඇªමක් ඇන්දම බුදුදහම වැටහෙනවා කියලා, එහෙම නැත්තං ටයි කෝර්ට් අඳින මිනිස්සුන්ට වඩා හොඳට භික්ෂූන්ට දහම අවබෝධ වෙනවා කියලා ඒක සත්‍යයක් නෙවෙයි. පුද්ගලයෙක් භික්ෂුවක් විය යුත්තේ ද භික්ෂූන් සැමවිටම දේශනා කළ යුත්තේ තථාගත දහම මත පමණක් වුවද, ඇතැමුන්ගෙන් සිදු වන්නේ එය නොවන බව දක්නට අසන්නට ඇති දේවල් සහ ඒවායේ හිටපු පාත‍්‍රවර්ගයා දැක්කහාම ප‍්‍රත්‍යක්ෂ වෙනවා.

භාවිතාවෙන් අවුන්සයක්වත් නැති වුණාට, අපේ රට ධර්මිශ්ඨ සමාජයක්, ධර්ම රාජ්‍යයක් වාගේ කතා මෙටි‍්‍රක් ටොන් ගණනින් රැුව්පිළිරැුව් දුන් රටකි. ඒ හැම වෙලාවකම වගේ, අපිට අනෙකෙක් ඉන්නා බවත් අනෙකා සුන්නද්ධූලි කිරීමෙන් පමණක් මේ ස්වර්ග රාජ්‍යය නිර්මාණය කර ගත හැකි බවත් අපිට එවැනි රාජ්‍යයක් හදාගැනීමට බැරි වී ඇත්තේ දෙමළා හෝ තම්බියා නිසා යැයි ඇතැම් දෙනෙක් විශ්වාස කළා. අදත් එසේමය. නමුත්, එවැනි සමාජයක් වෙනුවෙන් අවශ්‍ය කරන අංගෝපාංගයන් ගැණවත්, හරය ගැණවත්, පවත්නා සත්‍යය බාධාවන් ගැණවත් පයිසෙකට මායිම් කළේ නැත.

ජාතිය හෝ ආගම රැුක ගැනීම හෝ ප‍්‍රවර්ධනය කිරීම හෝ කියා මිනී මැරීම, දේපල විනාශ කිරීම, කදු පිටින් මළ කදන් ගොඩ ගැසීම, ඇළ දොළ ගංගා රත් පැහැ ගැන්වීම බුදු දහමේ ඉගැන්වීම නොවේ. එවැනි ඉගැන්වීමක් කිසි ආගමික ශාස්තෘන් වහන්සේ නමක් දේශනා කරාවි යැයි මිලි තත්ත්පරයකට හෝ සිතීමට පවා නොහැක. මේ වෙනකොට සිංහල දෙමළ මුස්ලිම් කවුරු වුණත් අපේ රටේ පුරවැසියන්ට තියන භයානකම අභියෝගයක් තමයි අරක්කු, සිගරට්, මත්කුඩු වගේ සාම්ප‍්‍රදායික ම්තද‍්‍රව්‍ය සහ ටැබා වගේ විකල්ප මත්ද‍්‍රව්‍යය. ඒ වෙනුවෙන් ගෙවන මුදල, ගෙවන ශ‍්‍රමය සහ විදින විදවිල්ල ගැන අපිට කිසි වගක් නෑ. ඒත්, ධර්මරාජ්‍යයක් හදන්න උවමනායි කියලා අධිශ්ඨාන කරන ඇතැම් අය කරන්නේ, කසිප්පු පොට්ල බාර්ල රා තැබෑරුම් පහුකරගෙන ගිහිං මුස්ලිම් එකෙකුගේ බේත්තෙල් කඬේකට හරි රෙදි කඬේකට හරි ගහලා එන. බුද්ධ දේශනාවේ වඩාත්ම වැදගත් වටිනාකමක් තියන දේ තමයි ප‍්‍රතිපත්තිය. එහෙම නැත්නම් පැවැත්ම සහ පිලිවෙත. හැබැයි අපේ නැත්තේම ඒ කෑල්ල. හරක් මස් කඩ වහන්න කියලා ගිණිතියාගත්තා, රටඅරක්කු බාර් වහන්න කියලා කටගොන්නක් කසිප්පු බීගන ගිහිං ගල් ගැහුවා.

අම්පාරේ කඬේ වඳ පෙත්තක් තිබුණා කියලා නටපු නඬේ අනිත් එවැනි නඩ වගේම නොකරපුම දේ තමයි බුද්ධ දේශනාව අනුගමනය නොකිරීම. එක අතිකින් ගුලියත් අනෙක් අතෙන් හුළුඅත්තකුත් අරගෙන කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ආකිමිඞීස් වගේ දුවන්න පටන් ගත්තේ ඒ නිසා. දැන් වෙනකොට වගේ වගක් නැති හලාල් හුටපටේ, අලූත් අවුරුද්ද කිට්ටු වෙනකොට එන කඩ විරෝධය, රෙදි විරෝධය වගේ මේ හැම එකක්ම එහෙමයි. මේ නුවණින් නොවිමසීමේ ගතිය සමාන වෙන්නේ තමන්ගේ බිරිඳ මැදපෙරදිග ගෘහසේවයට පිටමං කරලා කඩුවක් අරගෙන ගිහිං මරක්කලයට කොටන බේබද්දෙකුගේ හැසිරීම නොවේද. කරුණාකර වසලකම වෙනුවට මනුස්සකම තෝරාගන්න.

ආගමේ හෝ ජාතියේ නාමයෙන් මිනීමරලා ආගම උත්කර්ශයට නැංවීම වඩාත් සමීප වන්නේ දෙව්දත් දහමට මිස තථාගත දහමට නොවන බවත් ඒ හැගීම බුදුන් මරා බුදුබව අත්කර ගැනීමට වෑයමට සමානයි. මෛත‍්‍රීය පංචශීලය ධම්මපදය ත‍්‍රිපිටකය වැනි බෞද්ධයා හික්මවන කිසි තැක මෙවැනි දේ පසසා නැත. දහමට පිටුපා දහම රැුක්ක නොහැකි බව පමණක් කිව යුතුය. සියලූ සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන ආගමක්, මේ දක්කන්නේ කොහෙටදැයි හැෙ`ගන විට දැනෙන්නේ සංවේගයක්මැයි.

පුවත්පත පළ නොකළ කොටස :

(‘තෝ කවුද ඒවා අහන්න’ කියලා කවුරුහරි අහනවානම්) සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේගේ අනුගාමික බෞද්ධයෙක් ලෙස මට එසේ අසන්නට අයිතියක් ඇති බව පමණක් කියමි.

Wednesday, March 7, 2018

යුද්ධය නිසා සාරවත් වුණු භූමියෙන් වැඩක් ගන්න.

[Bharatha Prabhashana Thennakoon ] අද රැස - Resa| 7 වැනි පිටුව

ඇගිල්ල දික්කරලා හඳ පෙන්නුවහම, හඳ දිහා නොබලා ඇගිල්ල දිහා බලන එක සමස්ත මානව සංහතියේම අඩුවැඩි වශයෙන් තියන ලක්ෂණයක්. මේ ගතිය එක් එක් සමාජ සංස්කෘතික භාවිතාවන්ට සාපේක්ෂව උච්ඡුාවචනය වෙනවා. ලංකාව වගේ රටක මේ ගතිය වැඩියෙන් දකින්න පුළුවන්. සමහර අය හිතාගෙන ඉන්නේ, මිනිස්සු තමන් පත් කරගත්ත ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්නේත් පාලකයින්ට දැනෙන විදිහට විවිධ ස්වරූපයෙන් ඒවා මතුකරන්නෙත අවි අමෝරාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ කිරීමේ පූර්ව සූදානමක් හැටියට මිසක්, අපේ ආණ්ඩු අපි නිවැරදි කර ගැනීමේ අටියෙන් නොවන බවයි. කවුරු මොනවා කීවාත් ඒ දිහා බලන්නේම, කුමන්ත‍්‍රණකාරයෝ, කඩාකප්පල්කාරයෝ, මරුවට යන රට විනාස කරන්න හදන ගේම්කාරයෝ කියන කෝණයෙන් නම් අන්න ඒ දැක්මම අර ඇගිල්ලයි හඳයි වගේ තත්ත්වයක්. මේ කියන්න යන කතාව හුදෙක් ආදරේට කියන එකක් මිසක් ආණ්ඩු පෙරළලා රජ වෙන්න ගහන ගේමක ප‍්‍රකාශනයක් හැටියට තේරුම් නොගනිත්වා කියලා මුලින්ම කියන්න ඔ්නේ.

ගිංතොට මොකද්ද සිද්ධික් වුණා. ඊට පස්සේ අම්පාරේ සිද්ධියක් වුණා. ඒ ගින්න වෙනත් වටයකින් තෙද්දෙණියේදී ඉහළට එනවා. මෙච්චර තැනින් තැන එක එක මුහුණුවරින් දේවල් මතු වෙනකොටත්, අවුල තියෙන්නේ මිනිස්සුන්ගේ මිසක් ඔවුනොවුන් ඉපදුණු ජාතියේ, අදහන ආගමේ හෝ කතා කරන භාෂාවේ නොවන බව පොදු ජනතාව අතරේ ප‍්‍රත්‍යක්ෂාවබෝධයක් ඇති කරන්න හැකි වුණේ නැති තරම්. ස්වභාවිකව හටගත් ගින්නක් කෘතිමව නිමා දැම්මහම යළිත් ඒ ගින්න වෙනත් තැනකින් ස්වභාවිකව උපදින්න පුළුවන්කමක් තියනවා. කොමිටි හෝ උපදේශක සභා පශ්චාත් මරණ පරීක්ෂණ තිබ්බාත් මේ සම්බන්ධයෙන් වන නියමාකාර සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් කරලා ඊට අදාලව විද්‍යාත්මක ප‍්‍රවේශයකින් මැදිහත් වෙන්න තවමත් අපි රටක් හැටියට අසමත්.

අවුරුදු තිහක යුද්ධයක් තිබුණු රටක් කියන්නේ සාරවත් සමාජ විද්‍යාත්මක පර්යේෂණාගාරයක්. එක අතකින් ගෝලීයව ඵලප‍්‍රයෝජන ගන්න පුළුවන් විදිහේ ඓතිහාසික භූමියක්. එහෙම විද්‍යාගාර කෘතිමව නිර්මාණය කරන්න ලෝකෝ කාටවත් බැරිවෙයි. විශේෂයෙන්ම ජාති ආගම් කුල භාෂා පංති විවිධත්වයක් සමග වගේම විවිධ ආර්ථික උපායමාර්ගයන් සමග ජීවත්වන ජනතා විවිධත්වයක් ලෝකයේ මේ තරම් පොඩි ඉඩ ප‍්‍රමාණයකදී හම්බෙන්නේ අඩුවෙන්. එහෙම නැත්නම් නැති තරම්. ඉතිං අප කළ යුතුව තිබුණේ මේ විද්‍යාගාරය නිසි වටිනාකමක් එක්ක පාවිච්චි කරන එක. නමුත්, දැන් අපි කරමින් ඉන්නේ ඉන් ප‍්‍රයෝජන ගැනීම වෙනුවට ගිණි තියලා කුඩු කරලා විනාස කරලා දාන එක. අපි එහෙම කරන්න ගියොත්, එකක් බේදවාචකය තුළින් මතුවුණු වාසිසහගත සාරවත් භූමිය අපි නිස්කාරණේ නාස්ති කළ වෙනවා. ඒ වගේම, අනෙක් අතට අපි බේදවාචකයේ භූමියක් තවත් බේදනීය ඉරණමකට තල්ලූ කළා වෙනවා.

සමාජ විද්‍යා පර්යේෂකයින් සම්මන්ත‍්‍රණ ශාලා වලට වෙලා වාර්තා හදහද ඉන්නවාට වඩා කළ යුතු දේ තමයි, භූමියේ තියන ප‍්‍රශ්නයට අතරැුුහන එක. හැබැයි එහෙම කරන්න නම් ජාතීන් සහ ආගම් අතර යම් ප‍්‍රමාණයක හිත් නොහොදකම් සහ අනවබෝධයක් තියනවාය කියලා අපි කවුරුත් පිළිගන්න ඔ්නේ. නෑ නෑ එහෙම එකක් නෑ කියකිය ඉන්න තාක්කල් වැඩේ ලෙඩේ වෙනවා. යුද්ධේ ඉවරයි ප‍්‍රශ්නේ ඉවරයි දැන් ඔක්කෝම එකා වගේ කියකිය පාරම්භානවාට වඩා වැදත් දේ තමයි උත්සව සහ සැමරුම් වලින් වියුක්ත වුණු ඇත්ත සංහිදියා වැඩකට අතගහන එක. වේදිකාවකට නැගලා සිංහල දෙමළ මුස්ලිම් නැටුම් තුනක් නටලා සිංදු තුකක් කීවාට මහපොළවේ සංහිදියාව ඇති වෙයි කියලා හිතන්න අමාරුයි. මේ මොහොතේ මහපොළවේ ඇත්ත සංහිදියාව වෙනුවෙන් පරිශ‍්‍රමයක් දරන්න අපි සූදානම් නැත්තනම්, අපිට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන් පසුකාලීනව විශාල මිලක් ගෙවන්න ලෑස්ති වෙන්න.