Wednesday, March 21, 2018

ඔබට ඒ වෙඩි හඬ නෑසේද..




තොග පිටින් මිනිසුන් මිය ගියත් ඉලක්කම බලා වගක් නැතිවම තමන්ගේ වැඩක් කරගත් යුගයක් නිමාකර අදට දශකයකට ආසන්නය. එකල්හි අප පුදුම වූයේ, නොමැරී ගෙදර ආවේනම් මිස මහමගදී මිය ගියානම් නොවේ. ඉන් පසුද ටික කාලයක් බෝම්බ, පිස්තෝල, ඝාතන, මරාගෙන මැරීම්, තුවක්කුකරුවන් වැනි වචන ඇසීම අපට අමුත්තක් නොවිණි. නමුත්, යම් කාලයකින් පසු ඒවා තරමක් දුරට තුළනය වූ බවක් අප දුටුවේය. එවැනි පසුබිමක් තුළ දැන් දැන් යළිත් පාතාල සෙල්ලම් ගැන වැඩියෙන් අසන්නට ලැබීම අප කාගේත් සිත් දිගස්සන බව අමුතුවෙන් කිව යුතු නැත. ගෙවුණු මාස තුනේදී එම ගණයේ වෙඩි තැබීම් පහළොවක් පමණ වාර්තා වූ බව වාර්තා වේ. ඒවා බහුතරය කොළඹ අවටය. කොළඹ යනු රටේ අගනුවරයි.

ඒ කිසිවක් ගැන සාමාන්‍ය මිනිස්සු තරම් ආණ්ඩුව කලබල වූ බවක් අප නොදැක්කෙමු. එය රටේ නිදහසට විශාල බලපෑමකි. නීතියේ පාලනයට, සමාජ සංහිදියාවට තර්ජනයකි. පොලීසිය රැකවල් දමා සිටින කලාපයන් තුළදී පවා දවල්, රෑ, පාන්දර, සවස කියා වෙනසක් නැතිවම රහසේම පැමිණ රහසේම කොකා ගස්සා රහසේම පලාගිය බව ඇසෙන්නට ඇත. මෙවැනි දේ මගින් රටවැසියා තිගැස්මට, භීතියට පමණක් නොව, සෙනග ගැවසෙන තැන්වල එක්වරම සටපට ගා වෙඩි පුපුරන්නේ නම් කුමක් සිදුවන්නේදැයි සිතාගැනීමට නොහැකිව භ්‍රාන්තව සිටින බව පමණක් අපි දකිමු. පාතාලය හා කප්පම්කරුවන් වැන්නවුන් හිස එසවීම සාමාන්‍ය ජනතාවට අමතරව, ව්‍යාපාරිකයින්, යමක් කමක් ඇති අය හා සමාජ ක්‍රියාකාරිකයින් වැන්නවුන් මහත් භීතියට පත් කරන්නකි. ඔවුහු නිහඩ වීම හා නිෂ්ක්‍රීය වීම රටකට හොඳ මදිය. ඉන් සමාජයට සිදුවන නිෂේධනීය බලපෑම අමුතුවෙන් කිව යුතු නැත. නිතර නිතර වෙඩි පුපුරපු කිසි තැනක් දියුණු වී නැත.

එහෙයින්, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රතාපවත් බවට හා අභිවෘද්ධියට වින කටින දේ මර්ධනය හෝ පාලනය කිරීම මානව නිදහස රැකීමේම කොටසක්ය. එය ආණ්ඩුවේ වගකීමයි. කැමති තැනක ජීවත්වීමට, නීත්‍යානුකූල රැකියාවක හෝ ව්‍යවසායක නියැලීමට පුරවැසියනට ඇති අයිතිය හුදු මානව අයිතියක් ලෙස පමණක් නොව, මූලික අයිතියක් ලෙසද රටතුළ පිළිගෙන ඇත. එවැනි පසුබිමක් තුළ එකී සංසිදීමට අභියෝග කරන්නවුන් මර්ධනය කිරීම මානව අයිතිය පමණක් නොව රටේ මූලික අයිතිය පවා තහවුරු කිරීමේ වෑයමක් ලෙස සැලකිය යුතුය. එහෙත්, දරුවන් නැළවීම සහ සමාජ විරෝධීන් මර්ධනය යන දෙකම එකම විධික්‍රමයකින් කළ නොහැකි බව නම් කිව යුතුය. සංවිධානාත්මක සමාජවිරෝධී ක්‍රියාකාරකම් සාර්ථකව මර්ධනය කළ ලොව සෑම රටක්ම ඔප්පු එය කර ඇත. එවැන්නක් කිරීමට නම් අවංක උනන්දුවක් තිබිය යුතුය. පොදුජන නිදහස හා අභිමානය රැක්ක යුත්තේ ඔවදන් දීමෙන්ද ඇග බැඳීමෙන්ද දඩුවම් දීමෙන්ද නැතිනම් වෙඩි තැබීමෙන්ද යන්න තීන්දු කිරීම ආණ්ඩුවේ වැඩකි. ඒ වෙනුවෙන් ජනතාව ගෙවති. කැපකරති. පාලකයින්ට සැපදෙති. බලය දී ඇත. ජනතාවට අවශ්‍ය අවසන් උත්තරය දැන් අප නිදහසේ හුස්ම ගැනීමට තරම් සුරක්ෂිතද නැද්ද යන්න පමණි.

මේ එළියේ සරන්නේ හාම්පුතුන් නොවන බවත් ඔවුන්ගේ හීලෑ බල්ලන් පමණක් බවත් රට දන්නා කරුණකි. යථාර්ථය නම්, දඩාවතේ යන බල්ලන් එකෙක් දෙන්නෙකුට ඉන්ජෙක්ෂන් දෙන විට අනෙක් හාම්පුතාලා තමතමන්ගේ බල්ලන් කූඩුවල ගාල් කර ගනිති. එක්කෝ, එකක් දෙකක් ආරංචි වන විට ස්වේච්ඡාවෙන්ම ඔවුන්ිසීන් එකෙන් අයින් වෙනවා’ ඇත. නමුත්, ඒවා මර්ධනය කරන්නට සූදානම් වන විට තරහා සමනය කරන්නට, බේරා ගන්නට, ඩීල් දමන්නට එන අයගේ සමාජ, දේශපාලන හෝ මුල්‍යමය බලයන් හමුවේ දෙකට නැවී ඇඹරී පස්සට අඩි තබා ඒවා කළ නොහැක. බොහෝ අයගේ විශ්වාසය නම්, අනෙක් සියලු මෘග ක්‍රියාකාරකම් වලදී මෙන්ම මේ හැම කෙළිකාරකමක් පිටුපසත් දේශපාලනයේ අන්කොන් ගෑවී තිබීම නිසා මේවා පාලනය කිරීමට නොහැකි වී ඇත යන්නය. හිතවත්කම්, පක්ෂපාතීකම්, අපේකම්, ගමේකම් ගැන නොසිතා කොන්ද පණ ඇති තීන්දුවක් ගත යුතුය. ඊට අවශ්‍ය බලය ජනතාව විසින් ජනවරමක් ලෙස දී ඇති ඇත. අනෙක් අතට ව්‍යවස්ථා නීති ආදියෙන් පිරිනමා ඇත.

පාතාලය මර්ධනය කරනවා, කුඩු නවත්තනවා, රට සුඛිත මුදිත කරනවා ආදී වශයෙන් ලෝකෙට පෙණෙන්නට කයිවාරු ගැසීම පමණක් තිබී ඒවා කළ නොහැක. රටේ මිනිසුන්ගේ මානව නිදහස වෙනුවෙන්, ඊට බාධා කරන්නවුන් හොඳින් හෝ නරකින් ‘සීන් එකෙන් අයින් කළ යුතු’ය. නමුත්, එවැන්නක් වූ බවක් පෙණෙන්නට නැත. සමහරු සමහර දේ නෑසුණු කන් ඇතිව ඉන්නේ බියගුළු බව නිසාදැයි ජනතාවට සිතේ. පාතාලය, කුඩු හෝ කප්පම් හෝ මැඩීමට වුවමනා නම් අවශ්‍ය වන්නේ වුවමනාව පමණි. නමුත්, අපට පෙණෙන හැටියට නැත්තේද වුවමනාවයි .එක්කෝ දෙපැත්ත බැලන්ස් කරනවා විය හැක. එය එසේ නම්, මෙය ආසියාවේ චිකාගෝව වීම නවතාලනු නොහැකි වනු ඇත.

No comments: