Wednesday, April 18, 2018

ලෝකයා හිනස්සන විද්‍යාත්මක ක්‍රමය..

මෑතක සිට දේශපාලන කරළියේ ඇසෙන විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය පිළිබඳ කතා සහ පාසල් අවදියේ සිට අප උගත් දේ අතර ඇති පරස්පරතාව නිසා, විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය ප්‍රශ්නාර්ථයක් එක්කරමින් තිබේ. අනෙක් බොහෝ දේ වලදී මෙන්ම, ගැටළුව ඇත්තේ අප විද්‍යාව නොදන්නාකමේද නැතිනම් මේ වැඩකටයුතු විද්‍යාත්මකබවින් තොර වීමදැයි කල්පනා කළ විට අපට හිතහදාගන්නට ඇත්තේ, ඒ උත්තමයින් තරම් අපි විද්‍යාව ගැන දන්නේ අහවල් තරමක්ද යන ස්වයං විවේචනයකිනි. මේ විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය යළි වෙනත් වටයකින් කරළියට එන්නේ පැමිණීමට නියමිත බව කියැවෙන කැබිනට් සංශෝධනයක් සමගය.

විද්‍යාගාරයක රසායනික සංයෝගයක් හදනවා වාගේ හෝ සිවිල් ඉංජිනේරුකර්මයේදී කොන්ක්‍රීට් එකක් තනන්නට ගල්වැලි සිමෙන්ති මිශ්‍රණය කරන්නා වාගේ සූක්ෂමව හා අන්තිම තිතට දේශපාලනයේ විද්‍යාත්මක මෙහෙයුම් දියත් කළ නොහැකි බව සත්‍යයකි. එය අ පපිළිගත යුතුය. තෝරාගත් විෂයන් කීපයක් සම්බන්ධයෙන් කළපුරුද්ද හා පලපුරුද්ද ඇති දේශපාලනඥයින් කිහිප දෙනෙක් සොයාගැනීමට හැකිවනු ඇත. නමුත්, සමහර විෂයන් ගැන එවැනි විශේෂඥ අවබෝධයක් ඇති ජනතා නියෝජිතයින් නොසිටියත්, එය කරුණක් කරගෙන මගහැර යා නොහැකි බැවින් රාජ්‍යය තුළ ප්‍රතිපත්ති සැදීමට හා ඒවා මෙහෙයවීමට ආයතන දෙපාර්තමේන්තු තිබිය යුතුය. එහෙයින් ඒවාට අවස්ථානෝචිත පරිදි නායකත්වයක් තිබිය යුතුය. එසේම, විෂයයන් මහගොඩාක් සහ සීමිත නායකත්ව ඉඩක් පවතින විට සමහර අයට විෂයයන් දෙක තුනක් වුවද භාරදීමට සිදු වනු ඇත. නමුත්, එසේ වූ පමණින් සීනි වැලි සහ පාන්පිටි එකට දමා පදමට අනා කොන්ක්‍රීට් දමන සිරිතක් නැත.

එය එසේ වූයේද. ඔව්. එය එසේ සිදුවිය. එක සමාන හෝ අත්‍යාසන්න සබඳතාවක් දක්වන ඇතැම් විෂයන් සීසීකඩ කඩා වෙන්වෙන් පුද්ගලයින්ට බෙදාදී ඇත. කලක්, එකම වනාන්තරයේ ගස් එක තැනකත් සතුන් තව තැනකත් වනයේ ඇති ඇල දොළ ගංගා වැව් අමුණු වෙන තැනකත් වැට මායිම් තවත් තැනකත් තිබුණු බව අපි දැක්කෙමු. එපමණක් නොව, වෙන්වෙන්ව තැබිය යුතු හා කිසිසේත්ම නොපෑහෙන විෂයන් බොහෝ වෙහෙසවී එකට පාහා ඇති බවද දකින්නට ඇත. ඊට ඇති කදිම නිදසුන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයයි. ඉස්සර අපි දැක්කේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය එක වහළක් යට තිබූ බවයි. එක්කෝ උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු වැනි විෂයන් එකට තිබුණු බවයි. කුමක් හෝ පුද්ගල කාරණාවක් නිසා යටකී විෂයන් දෙක එක පුද්ගලයකු යටතට ගෙනාවේය. නමුත්, දැන් ඒ විෂයන් දෙක ගසට පොත්ත සේ එකට බැදී ඇත. එපමණක් නොව, ඇතැම් යල්පැනගිය විෂයන් පවා තවමත් විෂයන් ලෙස පවත්වාගෙන යන අප, බොහෝ නවීන විෂයන් වෙනුවෙන් තබා ඇති බර කිසිසේත්ම සාධාරණ නැත. නිදසුනක් ලෙස, මෙරට ත්‍රීරෝද රථ සහ ටැක්සි සේවා කොතෙකුත් තිබුණද ඒ වෙනුවෙන් විහිදුණු හා විධිමත් සංවිධානාත්මක නියාමන ආයතන පිහිටුවීමට අප තවමත් අසමත් වී ඇත. සිල්ලර කඬේ ගිනිපෙට්ටියට ඇති පාලනය, අධික්ෂණය හෝ නියාමනයවත් ඒවාට නැත.

මෙරට ඇමතිවරුන්ගේ විෂයන් බෙදීම පමණක් නොව, බොහෝ අංශයන්ගේ දේවල් තීන්දු වන්නේ පුද්ගලසාධක මතය. ඒ ඒ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදු කෙරෙන දේවල් ඒඒ පුද්ගලයා පවතින තාක්කල් වලංගු වී, ඒ පුද්ගලයින් අවලංගු වූ සැණින් ව්‍යාකූලභාවයට පත්වේ. ගැඹුරින් බලන්නේ නම් එදා මෙදා තුර මෙරට බොහෝ අණ පනත් ව්‍යවස්ථා බිහිවද්දී එහි ලියැවෙන වචන එසේ ලියා ඇත්තේ, එම ධුරය දැනට දරණ පුද්ගලයාගේ නම එහි ලිවීම සදාචාරයට එච්චරම නොගැලපෙන නිසා බව පෙණේ. ඉන්පසු, ඒවාට ගෙණෙන සංශෝධනද එසේය. ඉතාම කෙටි කලින් කලට අපට ඒවා සංශෝධනය කරගන්නට පැලැස්තර ගසන්නට සිදුවන්නේ ඒ නිසාය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙක එකට කියවන්නේ නම් මේ ගැන මූලික අදහසක් ගත හැකි වනු ඇත.

දැන් හෝ, කෝෂ්ඨාර්ථයෙන්ම විද්‍යාත්මක රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මුල්ගල් තැබීමට අවස්ථාවක් උදාවී ඇත. මේ ආණ්ඩුවට ඇති අවසන් අවස්ථාව එයයි. කළ යුතු ඇත්තේ, පුද්ගලයින් තෝරා ඔවුනොවුන් වෙත විෂයන් එල්ලීම වෙනුවට, විද්‍යාත්මකභාවයෙන් යුතුව විෂයන් තෝරා ඒඒ විෂයට ගැලපෙන පුද්ගලයින් තෝරා නායකත්වය භාර දීමෙන්ය. එය එසේ නොවන්නට, රාජ්‍ය පාලනයේ විද්‍යාත්මක ක්‍රමවේදය තවදුරටත් ලෝකයා හිනස්සන විහිළුවක් වීම වලක්වාලිය නොහැකි වනු ඇත.

Wednesday, April 11, 2018

මයික් දැක්කාම කෙළ බේරෙන තත්ත්වයෙන් දේශපාලනය මුදවා ගත යුතුය.





ආණ්ඩු පෙරළිල්ල, ආණ්ඩු හැදිල්ල ගැන තියෙන උනන්දුව ඉතාම ප්‍රශංසනීයය. එය හරියටම හයේ පන්තියට ඇතුළත් කළ දරුවෙක් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්තර පුහුණුවෙනවා හා සමානය. බැලූ බැල්මට පට්ට වැඩක් වුණත්, එය තැනට සහ අවස්ථාවට සුදුසු වැඩක්ද යන්න ප්‍රශ්නයකි. හයේ පංතියේ දරුවා සූදානම් විය යුත්තේ හයේ පංතියේ වාර විභාගයටය. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පුහුණුවීමට සුදුසු කාලයේ දී ඊට සූදානම් විය යුතුය.ලංකාවේ දේශපාලනයට වී ඇත්තේද හයේ පංතියේදී සාමාන්‍ය පෙළ පුණරීක්ෂණ පංති යන ළමයාට වෙච්ච දේමය.

අපේ මතකයෙන් ඔබ්බට කාලයේ සිට, ටීවී රේඩියෝ පත්තර හැම එකකම මූලිකත්වය හිමි වූයේ බල දේශපාලනයේ ආතල් වෙනුවෙනි. ඉදහිට තැනින් තැන එකක් දෙකක් ඊට වියුක්ත දේ වෙනුවෙන් මූලිකත්වයක් හිමි වුවත්, ඒවා හරියට මහගෙදර සහ තානායම වාගේය. මිනිස්සු ඉදහිට තානායම් වල ගත කළත් ජීවත් වෙන්නේ මහගෙදරය. එය එසේ වන්නේ කෙසේදැයි අප සෙවිය යුතුය. මීට ප්‍රධානතම හේතුව නම්, කෑලි ගණනට නිව්ස් ගහන මීඩියා ගේම් එකට ලංකාවේ දේශපාලනය ගොදුරු වීමය. එය සම්පූර්ණයෙන්ම අහුවුණු තත්ත්වයකි. සමහර විට, අපි අහුවුණා නෙවෙයි අපි විසින්ම ඒවා පාවිච්චි කළා යැයි දේශපාලඥයින්ට හිතෙනවා ඇත.

පක්ෂයේ මධ්‍යම කාරක සභා, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් වල සිට කොටහළු ගෙවල් මළගෙවල් දක්වා දේශපාලනඥයින් සහභාගී වන හැම තැනකම පාහේ මයික් කීපයක් කිහිලි ගන්නාගත් මාධ්‍යවේදීන් සිටියි. ඔවුන් මයික් එක දිග්කර මොකක් හෝ ප්‍රශ්නයක් අසයි. දේශපාලනඥයාද, ටීවි එකේ පත්තරේ මූණත්තහඩුව දමා ගැනීමට ලද අග්‍රගන්‍ය අවස්ථාවක් යැයි සිතා ලද පින් මහිමයෙන් ප්‍රයෝජන ගෙන මොකක් හෝ කතාවක් දොඩවයි. ඒක ටීවී එකේ පත්තරේ ප්‍රසිද්ධ වීමෙන් පසු ප්‍රතිඋත්තර බදියි. ආයේ ආයේ දෙපැත්තට කියවා ගනියි. කවුරුන් හෝ කෙනෙක් මලගෙදර අවසන් වී පාඩුවේ ආපසු නොයා, මයික් ඉස්සරහා කයිවාරු ගසන්නට යෑමෙන් අවසානයේ එය ජාතික දේශපාලන මාතෘකාවක් බවට වෙයි. අනෙක් සියලු දෙනාද එළියට දුවන මෙරුවන් වාගේ ඒඒ පස්සෙන් දුවයි.

කෙසේ නමුත්, මේවා පත්තු කර ගැනීමෙන් රටට මොන නස්පැත්තියක් වුණත් මේවායෙන් ප්‍රතිලාභ ලබන පාර්ශවයක් ඇත. ඒ මාධ්‍යයි. මිනිස්සු දේශාපාලන ඕපදූප අසන්නට කැමතිය. කැමති දේ ප්‍රචාරය කිරීමෙන් ඒ ආයතන වෙත ජනතා ආකර්ශනයක් ලැබේ. ඒ ඕපදූප හටගන්නේ ගැටීමක ප්‍රතිඵලයක් ලෙසනම් ගැටුම් ගැන කතා අසන්නට මිනිසුන් තුළ ඇති ස්වභාවික ප්‍රබෝධය තවදුරටත් තමන්ට වාසියක් කරගත හැක. වැඩිවැඩියෙන් ජනතාව අතර ආයතන ප්‍රසිද්ධ වන විට වැඩිවැඩියෙන් ආදායම් ලැබේ. වැඩිවැඩියෙන් ආදායම් ලැබෙන විට වැඩි වැඩියෙන් ලැභය. ලාභය වැඩිවැඩියෙන් ලැබෙන විට ඉන් කොටසක් තමන්ගේ ආයතන වල වැඩ කරන අයට බෙදා දිය හැකිය. වැඩිවැඩියෙන් ලාභය තමන්ටද හිමිවන විට, ඒවායේ සේවකයින්ද වැඩිවැඩියෙන් තමන්ට ලාභ ලැබිය හැකි ක්‍රමය ගැන සොයා බලයි. මේ ලාභ ලැබෙන්නේ අහවල් ක්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට හටගත් චක්‍රයේ කොටසක් ලෙස බව වටහාගත් පසු මාධ්‍ය වෘත්තිකයින්ද වැඩිවැඩියෙන් එවැනි අවස්ථාවන් නිර්මාණය කරයි. මේ චක්‍රය සසර චක්‍රය වාගේ නිමක් නැතිව කැරකෙයි. මේවාට මැදිවී කොටස්කාරයෙක් වූ පසු ඒ චක්‍රයෙන් ගැලවිය නොහැක.

මේ තත්ත්වය, ටීවි එකේ පත්තරේ මූණ පෙන්නා ගන්නට ආශාව ඇති හා සර්ගේ වොයිස්කට් එකක් නිව්ස් එකේ දැක්කා කියා කී විට ආහ්ලාදයක් ලබන දේශපාලනඥයින් වැඩිවැඩියෙන් පහළ වීමට සමානුපාතික වේ. අවම වශයෙන් පසුගිය වසර දහයක පමණ කාලයේ මේ වොයිස්කට් දේශපාලනය පිළිබද නිවැරදි ප්‍රස්ථාරයක් ඇදගන්න සමත් ජගතෙක් වීනම්, වොයිස්කට් දේශපාලනයේ ජනප්‍රියත්වය වැඩිවීම හා අභ්‍යන්තර දේශපාලනයේ අර්බුදමය තත්ත්වයන්ගේ ඉහළ යාමට දක්වන සමානත්වය හොදින් වැටහෙණු ඇත. ඉස්සර මාධ්‍යයට යමක් කියන්නට වුවමනා වූ විට සංවිධානාත්මක හා විධිමත් මාධ්‍ය සාකච්ඡා පවත්වයි. එක්කෝ උත්සවයක පැවැත්වූ කතාවක් මාධ්‍ය උපුටා දක්වයි. දැන් එවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේම නැති තරම්ය.

අප කුමක් කරමුද. මුලින්ම කළ යුත්තේ දේශපාලනඥයින්ට ටීවී පත්තර වලට මූණදමාගැනීම හා වොයිස්කට් දීම සම්බන්ධයෙන් ඇති හීනමානය තුරන් කළ යුතුය. ඒ වාගේම, අනෙක් හැම කෙනෙකුටම වාගේ දේශපාලනඥයින්ටද කියන කරන ගැන විනයක් අවශ්‍යය. මයික් එකක් දුටු පමණින් දුවගෙන ගොස් රෝසමලේ නටුවේ කටූ සිංදුව කීමට කුඩා දරුවන්ට ඇති ආශාවෙන් දේශපාලනඥයින් ගලවා ගත යුතුය. එසේ නොවන්නට, මේ රටේ ජනතාවට දේශපාලනඥයින් විසින් ලබාදෙන නොනිමි ආතල් නොනවතිනු ඇත. දේශපාලනඥයින් අපට ආතල් දුන්නාට කමක් නැත. නමුත්, අර්බුදය නම් ඔවුන්ට අදාල කාර්යය එය නොවීමයි.

Wednesday, April 4, 2018

කරන දේ නොකීම සහ කියන දේ නොකිරීම



[Resa Newspaper - රැස පුවත්පත අද 'තුමනි' තීරුව • පිටුව 10]

අලුත් ආණ්ඩුව පත් වූ දා සිටිම තිබුණේ රටේ නැති රාජකාරීන්ය. ඒවාගෙන් බොහෝමයක් එදාවේල ගැට ගසා ගැනිම සදහා නිර්මාණය වූ හෝ නිර්මාණය කළ ඒවා මිසක්, සාතිශය බහුතර ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ හෝ රටේ ඉදිරි ගමන වෙනුවෙන් පයිසයක තරම්වත් වැදගැම්මක් නොතිබූ ඒවාය. ඊළග ජනාධිපති ඡන්දය සහ ඊට අදාල අපේක්ෂකයින් ඉන් එකකි. කාලයෙන් කාලයට එන අලුත් අගමැති කෙනෙක් තෝරා ගැනීමේ ප්‍රශ්නය ඒ වාගේම තවත් එකකි. මේ හැරුණු විට උදේට එකක් දවාලට එකක් සහ රාත්‍රියට තවත් එකක් වශයෙන් වේලෙන් වේලට මෙවැනි ඒවා පැමිණියේය. ආපසු ගියේය. මුහුදු රළ වාගේ මේ චක්‍රය අදත් එසේම සිදු වේ. අගමැතිට එරෙහි විශ්වාසභංග කතාවද අනෙක් ඒවාට වඩා තරමක් උස නමුත් පෙර වාගේම හුදු රැල්ලක් පමණක් බව ජනතාවගේ හැගීමයි. පෙනෙන්නට ඇත්තේද එයයි.

කෙසේ නමුත්, මේ ආණ්ඩුව පත් වූ දා සිටම කියන දේ නොකිරීම සහ කරන දේ නොකීම ගැන එල්ල වන චෝදනා තෙරක් නොපෙණෙන තරම්ය. ඒවා මැතිවරණ පොරොන්දු ලේඛන වල ඇති දේ සම්බන්ධයෙන් මෙන්ම, ඉන් පසුව කලින් කලට මතු වූ විවිධ කාරණා සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. අනෙක් අතට ඡන්දයේදී සිදුවූ තද දිගැස්මෙන් පසු ආණ්ඩුවේ පාර්ශවයන්ද වේදිකාවක් වේදිකාවක් ගාණේ කීවේ අපි කරන දේවල් මිනිස්සු දන්නේ නැති බවයි. අනෙක් පැත්තෙන් පුරවැසියන් කීවේ, ‘කරපුවා අපි දැනගන්න නම් ඔයාලා කියන්න එපැයි’ කියාය. කරුණු කාරණා කෙසේ වුවත්, කියන දේ නොකිරීම සහ කරන දේ නොකීම ආණ්ඩුවේ ජනප්‍රියත්වය හෝ ප්‍රසාදය සම්බන්ධයෙන් වන ප්‍රස්තාරය පල්ලම් බැසීමට හේතු වාසනා වූයේය.

ආණ්ඩුව විසින් සිදු කළ බොහෝ සංවර්ධන ව්‍යාපෘතිවල, ප්‍රගතිශිලී තීරණ ගැන මෙන්ම විවිධ තීන්දු ගැනීමෙන් අත් වූ සාධනීය ප්‍රගතීන් සම්බන්ධයෙන් තේරෙන සිංහලෙන් ජනතාවට කියා ගන්නට ආණ්ඩුව අසමත් විය. එක්කෝ, ඉස්තාලය වසන විට අස්සයා බොහෝ පිමි පැණ දුවා අවසන්ය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබද සංවාදය, ආගමික හා ජාතිකත්ව සම්බන්ධ කාරණා ආදී සෑම කුදුමහත් කටයුත්තකදීම මේ අවුල අපි දුටුවෙමු. එසේ නොමැතිනම්, තමන්ගේ වැඬේට අදාල ක්‍රෙඩිට් එක ලබා ගැනීමට එක්කෝ ආණ්ඩුවට වුවමනාවක් තිබුණේ නැත. නැතිනම් ඊට අසමත් විය. ඇස්පණාපිට පුරන් වූ හෝ යෝජනාවක් හැර පස්පිඩැල්ලක්වත් කපා නොතිබූ ව්‍යාපෘති පරිසරයන් සාර්ථකව අවසන් කර අස්වැද්දූ ආණ්ඩුව කුඹුරෙන් ගොඩට එන්නට පෙර එහි කීර්ති ප්‍රශංසා අස්වැන්න වෙනත් පාර්ශවයක් විසින් ඩැහැ ගෙන තිබුණේය. මොරගහකන්ද, රාජගිරිය ගුවන්පාලමේ සිට ලෝටස් වටරවුමේ වතුර මල දක්වාම වූයේ එයයි.

එපමණක් නොව, උපයන විට ගෙවිය යුතු ආදායම් බද්ධක් පිළිබද මාධ්‍ය තුළ මෙන්ම බස් කෝච්චිවල හා හන්දිවල ලොකු හාහූහවක් පසුගිය සතියේ ඉපැදුණේය. දින කීපයක් ගෙවුණත්, සාමාන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් සිදු වූයේ කුමක්දැයි පැහැදිලි කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බව අප දුටුවේය. ඒ වෙනුවට හිතමිත්‍රාදීන් අතින් සිදු වුණේ, උඹේ පඩිය කීයද අසමින් කොලොප්පම් කිරීමක් පමණි. එදා අද සහ හෙට අයබදුවල උච්ඡාවචනයන් ගැන සරල වගුවක්වත් ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ වූ බව අප නොදැක්කෙමු. ඒ නිසාම ඒඒ අය තමතම නැණ පමණ හා වාසි පමණ ඒවා විග්‍රහ කර සමාජගත කළේය.

එය එසේ වූයේ ඇයිදැයි ස්වයං විවේචනයකට යන්නට පවා දැන් කාලය ගෙවී ගොස් වැඩි තරම්ය. නමුත් එය එසේ වූයේ කෙසේදැයි කල්පනා කිරීම දේශපාලනික වාසි අවාසි අරඹයා නොව, අනාගතයේදී අතීතය පිළිබද විමසිලිමත්වන අයගේ හුදු දැනගැනීම පිණිසවත් ලෙහා තැබීම වටිනේය.

වත්මන් ආණ්ඩුව පත්වූ දා පටන්ම වේලෙන් වේලට අලුත් වන බල දේශපාලනික මාතෘකා කරළියට පැමිණි බවත් ඒ වේගයෙන්ම ආපසු ගිය බවත් ඉහතින් කීවෙමි. ඒ බොහෝමයක් මුලින් මුලින් ජනතාවගේ උනන්දුව ඇති කළ හා කුකුෂ වර්ධනය කළ මාතෘකා වුවත් අද වන විට බල දේශපාලනය සම්බන්ධයෙන් කොළඹ ටවුමේ ඉදිවන කතාසාප්පු සහ ඇති වන රථ පෙළපාලි ගැන මුළු රටේම දහපහළොස් දහසකට හැර පොදු ජනතාවට කිසි උනන්දුවක් නැති බවක් පෙණෙන්නට ඇත. බල දේශපාලන සෙල්ලම් ගැන ජනතාව උනන්දුය. නමුත්, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ න්‍යාය අනුව දැන් නම් මිනිසුන්ට ඇති කරන්නේ දරුණු හිසරදයක් හා වෛරයකි. පළමුව උද්යෝගීවත් දෙවනුව සාමාන්‍යබවකිනුත් ඇති වූ මේ බල දැගලිල්ල දැන් සම්පූර්ණයෙන්ම සමාජ ප්‍රහසනයකි. දවාලේත් නිල් සහ රතු ලයිට් පත්තුවෙන වාහන කොළඹ නගරයේ තැන තැන පිස්සුබල්ලන් සේ සීසීකඩ දිවීම දෙස මිනිස්සුන් බලා සිටින්නේ අප්‍රසන්න බවකිනි.

පාලකයින් හා නායකයින් ප්‍රහසනයක කොටස්කරුවන් වී, ඒ ප්‍රහසනය තමන් විසින් ෆුල් සීරියස් ගෙන දුවන විට ජනතාවට සීරියස් වී ඇත්තේ ආණ්ඩුව කරන දේ සහ කියන දේය. ජනතාවගේ සීරියස් ප්‍රශ්නයට උත්තර දීම වෙනුවට ආණ්ඩුව ජනතාවට විහිළු සැපයීම පමණක් දක්නට ඇත. එහෙයින්, අද සවස ප්‍රතිඵලය කුමක් වුවත් හෙට දවසේ ජනතාවගේ සීරියස් තීරණ ආණ්ඩුවට දරා ගැනීම පහසු නොවනු ඇත.