Wednesday, April 18, 2018

ලෝකයා හිනස්සන විද්‍යාත්මක ක්‍රමය..

මෑතක සිට දේශපාලන කරළියේ ඇසෙන විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය පිළිබඳ කතා සහ පාසල් අවදියේ සිට අප උගත් දේ අතර ඇති පරස්පරතාව නිසා, විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය ප්‍රශ්නාර්ථයක් එක්කරමින් තිබේ. අනෙක් බොහෝ දේ වලදී මෙන්ම, ගැටළුව ඇත්තේ අප විද්‍යාව නොදන්නාකමේද නැතිනම් මේ වැඩකටයුතු විද්‍යාත්මකබවින් තොර වීමදැයි කල්පනා කළ විට අපට හිතහදාගන්නට ඇත්තේ, ඒ උත්තමයින් තරම් අපි විද්‍යාව ගැන දන්නේ අහවල් තරමක්ද යන ස්වයං විවේචනයකිනි. මේ විද්‍යාත්මක ක්‍රමය හා විද්‍යාත්මකභාවය යළි වෙනත් වටයකින් කරළියට එන්නේ පැමිණීමට නියමිත බව කියැවෙන කැබිනට් සංශෝධනයක් සමගය.

විද්‍යාගාරයක රසායනික සංයෝගයක් හදනවා වාගේ හෝ සිවිල් ඉංජිනේරුකර්මයේදී කොන්ක්‍රීට් එකක් තනන්නට ගල්වැලි සිමෙන්ති මිශ්‍රණය කරන්නා වාගේ සූක්ෂමව හා අන්තිම තිතට දේශපාලනයේ විද්‍යාත්මක මෙහෙයුම් දියත් කළ නොහැකි බව සත්‍යයකි. එය අ පපිළිගත යුතුය. තෝරාගත් විෂයන් කීපයක් සම්බන්ධයෙන් කළපුරුද්ද හා පලපුරුද්ද ඇති දේශපාලනඥයින් කිහිප දෙනෙක් සොයාගැනීමට හැකිවනු ඇත. නමුත්, සමහර විෂයන් ගැන එවැනි විශේෂඥ අවබෝධයක් ඇති ජනතා නියෝජිතයින් නොසිටියත්, එය කරුණක් කරගෙන මගහැර යා නොහැකි බැවින් රාජ්‍යය තුළ ප්‍රතිපත්ති සැදීමට හා ඒවා මෙහෙයවීමට ආයතන දෙපාර්තමේන්තු තිබිය යුතුය. එහෙයින් ඒවාට අවස්ථානෝචිත පරිදි නායකත්වයක් තිබිය යුතුය. එසේම, විෂයයන් මහගොඩාක් සහ සීමිත නායකත්ව ඉඩක් පවතින විට සමහර අයට විෂයයන් දෙක තුනක් වුවද භාරදීමට සිදු වනු ඇත. නමුත්, එසේ වූ පමණින් සීනි වැලි සහ පාන්පිටි එකට දමා පදමට අනා කොන්ක්‍රීට් දමන සිරිතක් නැත.

එය එසේ වූයේද. ඔව්. එය එසේ සිදුවිය. එක සමාන හෝ අත්‍යාසන්න සබඳතාවක් දක්වන ඇතැම් විෂයන් සීසීකඩ කඩා වෙන්වෙන් පුද්ගලයින්ට බෙදාදී ඇත. කලක්, එකම වනාන්තරයේ ගස් එක තැනකත් සතුන් තව තැනකත් වනයේ ඇති ඇල දොළ ගංගා වැව් අමුණු වෙන තැනකත් වැට මායිම් තවත් තැනකත් තිබුණු බව අපි දැක්කෙමු. එපමණක් නොව, වෙන්වෙන්ව තැබිය යුතු හා කිසිසේත්ම නොපෑහෙන විෂයන් බොහෝ වෙහෙසවී එකට පාහා ඇති බවද දකින්නට ඇත. ඊට ඇති කදිම නිදසුන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයයි. ඉස්සර අපි දැක්කේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය එක වහළක් යට තිබූ බවයි. එක්කෝ උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු වැනි විෂයන් එකට තිබුණු බවයි. කුමක් හෝ පුද්ගල කාරණාවක් නිසා යටකී විෂයන් දෙක එක පුද්ගලයකු යටතට ගෙනාවේය. නමුත්, දැන් ඒ විෂයන් දෙක ගසට පොත්ත සේ එකට බැදී ඇත. එපමණක් නොව, ඇතැම් යල්පැනගිය විෂයන් පවා තවමත් විෂයන් ලෙස පවත්වාගෙන යන අප, බොහෝ නවීන විෂයන් වෙනුවෙන් තබා ඇති බර කිසිසේත්ම සාධාරණ නැත. නිදසුනක් ලෙස, මෙරට ත්‍රීරෝද රථ සහ ටැක්සි සේවා කොතෙකුත් තිබුණද ඒ වෙනුවෙන් විහිදුණු හා විධිමත් සංවිධානාත්මක නියාමන ආයතන පිහිටුවීමට අප තවමත් අසමත් වී ඇත. සිල්ලර කඬේ ගිනිපෙට්ටියට ඇති පාලනය, අධික්ෂණය හෝ නියාමනයවත් ඒවාට නැත.

මෙරට ඇමතිවරුන්ගේ විෂයන් බෙදීම පමණක් නොව, බොහෝ අංශයන්ගේ දේවල් තීන්දු වන්නේ පුද්ගලසාධක මතය. ඒ ඒ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදු කෙරෙන දේවල් ඒඒ පුද්ගලයා පවතින තාක්කල් වලංගු වී, ඒ පුද්ගලයින් අවලංගු වූ සැණින් ව්‍යාකූලභාවයට පත්වේ. ගැඹුරින් බලන්නේ නම් එදා මෙදා තුර මෙරට බොහෝ අණ පනත් ව්‍යවස්ථා බිහිවද්දී එහි ලියැවෙන වචන එසේ ලියා ඇත්තේ, එම ධුරය දැනට දරණ පුද්ගලයාගේ නම එහි ලිවීම සදාචාරයට එච්චරම නොගැලපෙන නිසා බව පෙණේ. ඉන්පසු, ඒවාට ගෙණෙන සංශෝධනද එසේය. ඉතාම කෙටි කලින් කලට අපට ඒවා සංශෝධනය කරගන්නට පැලැස්තර ගසන්නට සිදුවන්නේ ඒ නිසාය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙක එකට කියවන්නේ නම් මේ ගැන මූලික අදහසක් ගත හැකි වනු ඇත.

දැන් හෝ, කෝෂ්ඨාර්ථයෙන්ම විද්‍යාත්මක රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මුල්ගල් තැබීමට අවස්ථාවක් උදාවී ඇත. මේ ආණ්ඩුවට ඇති අවසන් අවස්ථාව එයයි. කළ යුතු ඇත්තේ, පුද්ගලයින් තෝරා ඔවුනොවුන් වෙත විෂයන් එල්ලීම වෙනුවට, විද්‍යාත්මකභාවයෙන් යුතුව විෂයන් තෝරා ඒඒ විෂයට ගැලපෙන පුද්ගලයින් තෝරා නායකත්වය භාර දීමෙන්ය. එය එසේ නොවන්නට, රාජ්‍ය පාලනයේ විද්‍යාත්මක ක්‍රමවේදය තවදුරටත් ලෝකයා හිනස්සන විහිළුවක් වීම වලක්වාලිය නොහැකි වනු ඇත.

No comments: