Wednesday, April 11, 2018

මයික් දැක්කාම කෙළ බේරෙන තත්ත්වයෙන් දේශපාලනය මුදවා ගත යුතුය.





ආණ්ඩු පෙරළිල්ල, ආණ්ඩු හැදිල්ල ගැන තියෙන උනන්දුව ඉතාම ප්‍රශංසනීයය. එය හරියටම හයේ පන්තියට ඇතුළත් කළ දරුවෙක් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්තර පුහුණුවෙනවා හා සමානය. බැලූ බැල්මට පට්ට වැඩක් වුණත්, එය තැනට සහ අවස්ථාවට සුදුසු වැඩක්ද යන්න ප්‍රශ්නයකි. හයේ පංතියේ දරුවා සූදානම් විය යුත්තේ හයේ පංතියේ වාර විභාගයටය. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පුහුණුවීමට සුදුසු කාලයේ දී ඊට සූදානම් විය යුතුය.ලංකාවේ දේශපාලනයට වී ඇත්තේද හයේ පංතියේදී සාමාන්‍ය පෙළ පුණරීක්ෂණ පංති යන ළමයාට වෙච්ච දේමය.

අපේ මතකයෙන් ඔබ්බට කාලයේ සිට, ටීවී රේඩියෝ පත්තර හැම එකකම මූලිකත්වය හිමි වූයේ බල දේශපාලනයේ ආතල් වෙනුවෙනි. ඉදහිට තැනින් තැන එකක් දෙකක් ඊට වියුක්ත දේ වෙනුවෙන් මූලිකත්වයක් හිමි වුවත්, ඒවා හරියට මහගෙදර සහ තානායම වාගේය. මිනිස්සු ඉදහිට තානායම් වල ගත කළත් ජීවත් වෙන්නේ මහගෙදරය. එය එසේ වන්නේ කෙසේදැයි අප සෙවිය යුතුය. මීට ප්‍රධානතම හේතුව නම්, කෑලි ගණනට නිව්ස් ගහන මීඩියා ගේම් එකට ලංකාවේ දේශපාලනය ගොදුරු වීමය. එය සම්පූර්ණයෙන්ම අහුවුණු තත්ත්වයකි. සමහර විට, අපි අහුවුණා නෙවෙයි අපි විසින්ම ඒවා පාවිච්චි කළා යැයි දේශපාලඥයින්ට හිතෙනවා ඇත.

පක්ෂයේ මධ්‍යම කාරක සභා, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් වල සිට කොටහළු ගෙවල් මළගෙවල් දක්වා දේශපාලනඥයින් සහභාගී වන හැම තැනකම පාහේ මයික් කීපයක් කිහිලි ගන්නාගත් මාධ්‍යවේදීන් සිටියි. ඔවුන් මයික් එක දිග්කර මොකක් හෝ ප්‍රශ්නයක් අසයි. දේශපාලනඥයාද, ටීවි එකේ පත්තරේ මූණත්තහඩුව දමා ගැනීමට ලද අග්‍රගන්‍ය අවස්ථාවක් යැයි සිතා ලද පින් මහිමයෙන් ප්‍රයෝජන ගෙන මොකක් හෝ කතාවක් දොඩවයි. ඒක ටීවී එකේ පත්තරේ ප්‍රසිද්ධ වීමෙන් පසු ප්‍රතිඋත්තර බදියි. ආයේ ආයේ දෙපැත්තට කියවා ගනියි. කවුරුන් හෝ කෙනෙක් මලගෙදර අවසන් වී පාඩුවේ ආපසු නොයා, මයික් ඉස්සරහා කයිවාරු ගසන්නට යෑමෙන් අවසානයේ එය ජාතික දේශපාලන මාතෘකාවක් බවට වෙයි. අනෙක් සියලු දෙනාද එළියට දුවන මෙරුවන් වාගේ ඒඒ පස්සෙන් දුවයි.

කෙසේ නමුත්, මේවා පත්තු කර ගැනීමෙන් රටට මොන නස්පැත්තියක් වුණත් මේවායෙන් ප්‍රතිලාභ ලබන පාර්ශවයක් ඇත. ඒ මාධ්‍යයි. මිනිස්සු දේශාපාලන ඕපදූප අසන්නට කැමතිය. කැමති දේ ප්‍රචාරය කිරීමෙන් ඒ ආයතන වෙත ජනතා ආකර්ශනයක් ලැබේ. ඒ ඕපදූප හටගන්නේ ගැටීමක ප්‍රතිඵලයක් ලෙසනම් ගැටුම් ගැන කතා අසන්නට මිනිසුන් තුළ ඇති ස්වභාවික ප්‍රබෝධය තවදුරටත් තමන්ට වාසියක් කරගත හැක. වැඩිවැඩියෙන් ජනතාව අතර ආයතන ප්‍රසිද්ධ වන විට වැඩිවැඩියෙන් ආදායම් ලැබේ. වැඩිවැඩියෙන් ආදායම් ලැබෙන විට වැඩි වැඩියෙන් ලැභය. ලාභය වැඩිවැඩියෙන් ලැබෙන විට ඉන් කොටසක් තමන්ගේ ආයතන වල වැඩ කරන අයට බෙදා දිය හැකිය. වැඩිවැඩියෙන් ලාභය තමන්ටද හිමිවන විට, ඒවායේ සේවකයින්ද වැඩිවැඩියෙන් තමන්ට ලාභ ලැබිය හැකි ක්‍රමය ගැන සොයා බලයි. මේ ලාභ ලැබෙන්නේ අහවල් ක්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට හටගත් චක්‍රයේ කොටසක් ලෙස බව වටහාගත් පසු මාධ්‍ය වෘත්තිකයින්ද වැඩිවැඩියෙන් එවැනි අවස්ථාවන් නිර්මාණය කරයි. මේ චක්‍රය සසර චක්‍රය වාගේ නිමක් නැතිව කැරකෙයි. මේවාට මැදිවී කොටස්කාරයෙක් වූ පසු ඒ චක්‍රයෙන් ගැලවිය නොහැක.

මේ තත්ත්වය, ටීවි එකේ පත්තරේ මූණ පෙන්නා ගන්නට ආශාව ඇති හා සර්ගේ වොයිස්කට් එකක් නිව්ස් එකේ දැක්කා කියා කී විට ආහ්ලාදයක් ලබන දේශපාලනඥයින් වැඩිවැඩියෙන් පහළ වීමට සමානුපාතික වේ. අවම වශයෙන් පසුගිය වසර දහයක පමණ කාලයේ මේ වොයිස්කට් දේශපාලනය පිළිබද නිවැරදි ප්‍රස්ථාරයක් ඇදගන්න සමත් ජගතෙක් වීනම්, වොයිස්කට් දේශපාලනයේ ජනප්‍රියත්වය වැඩිවීම හා අභ්‍යන්තර දේශපාලනයේ අර්බුදමය තත්ත්වයන්ගේ ඉහළ යාමට දක්වන සමානත්වය හොදින් වැටහෙණු ඇත. ඉස්සර මාධ්‍යයට යමක් කියන්නට වුවමනා වූ විට සංවිධානාත්මක හා විධිමත් මාධ්‍ය සාකච්ඡා පවත්වයි. එක්කෝ උත්සවයක පැවැත්වූ කතාවක් මාධ්‍ය උපුටා දක්වයි. දැන් එවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේම නැති තරම්ය.

අප කුමක් කරමුද. මුලින්ම කළ යුත්තේ දේශපාලනඥයින්ට ටීවී පත්තර වලට මූණදමාගැනීම හා වොයිස්කට් දීම සම්බන්ධයෙන් ඇති හීනමානය තුරන් කළ යුතුය. ඒ වාගේම, අනෙක් හැම කෙනෙකුටම වාගේ දේශපාලනඥයින්ටද කියන කරන ගැන විනයක් අවශ්‍යය. මයික් එකක් දුටු පමණින් දුවගෙන ගොස් රෝසමලේ නටුවේ කටූ සිංදුව කීමට කුඩා දරුවන්ට ඇති ආශාවෙන් දේශපාලනඥයින් ගලවා ගත යුතුය. එසේ නොවන්නට, මේ රටේ ජනතාවට දේශපාලනඥයින් විසින් ලබාදෙන නොනිමි ආතල් නොනවතිනු ඇත. දේශපාලනඥයින් අපට ආතල් දුන්නාට කමක් නැත. නමුත්, අර්බුදය නම් ඔවුන්ට අදාල කාර්යය එය නොවීමයි.

No comments: