Wednesday, May 2, 2018

අලුත් කැබිනට්ටුව සහ ආණ්ඩුවේ අපරභාගය.



අලුත් කැබිනට්ටුවක්. කන්දක් විළිලා කෙන්දක් වැදුවා කියන්නා වාගේ ද විසිල් තරමට බල්ටි නෑ කියන්නා වාගේ ද අවසානයේ නිස්කාන්සුවේ කල්පනා කළ විට වෙච්ච දෙයක් නැත. සමහර ඒවා දෙස බලද්දී රටේ ජනතාවට හිතෙන්නේ, එකක් කඩතොළු වසා ගන්නට ගොස් මට වුණු කාරියා, දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉදුරුවේ ආචාරියා කියන්නා වාගේ හැගීමකි. කොහොම නමුත්, අලුත් බවක් හෝ වෙනසක් යනු යම් බලාපොරොත්තුවක් උපද්දවා ගැනීමට තරම් සාධාරණ සාධකයකි. එහෙයින්, තම තමන්ට සාපේක්ෂව එකග විය නොහැකි මොන මොන දෝෂ තිබුණත් අලුත් කැබිනට් මණ්ඩලයක් යනු රටට අලුත් බලාපොරොත්තුවකි.

වත්මන් ආණ්ඩුවට ඇත්තේ අවම වශයෙන් තවත් මාස විස්සකට මදක් වැඩි ආයුෂයකි. මේ ගෙවෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අපරභාගයයි. පූර්වභාගය එතරම් සුභ නොවූ හා කිත් යසස නැංවීමට සමත් නොවූ නිසාම, මධ්‍යහනයේ අත් වූ ප්‍රතිඵල එතරම් හොද මදිය. එය ඡන්ද ප්‍රතිඵලයකින් සාමූහිකව හා ඍජුවම ප්‍රකාශ කළ ජනතාව ඉන් පිටතදී ද තනිතනිව හා සාමූහිකව පෙන්නුම් කරමින් සිටියි. ජනතාව විසින් පමණක් නොව, ආණ්ඩුවේ මධ්‍යහන කාලය පක්ෂ හා සංවිධාන පවා ආණ්ඩුවට තරවටු කරමින් සිටින කාලයක් විය. ආණ්ඩුව කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන්නේ මෙවැනි තත්ත්වයකය. අලුත් කැබිනට් සංශෝධනයකට සර්ව දෝෂ නිවාරණය කළ නොහැකි වුවත්, එය පැරසිටමෝල්ට් පෙත්තක් පිරිටන් එකක් වාගේ ඕනෑම ව්‍යාධියකට තරමක විසදුමක් ලෙස සැලකිය හැකිය.

තම්බියා පැදුර එලූ හැටි අපි දන්නෙමු. නමස්කාරයටම දවස ගතයි කියා ව්‍යවහාරයක් ඇත. ඒ වාගේම වත්මන් ආණ්ඩුවේ කාලය ගත වෙමින් තිබෙන්නේ සැලසුම් කිරීමට, ඒවා වරින් වර පැමිණෙන එක එක්කෙනාගේ මත හා වුවමනාවන් අනුව සංශෝධනය කිරීමට සහ ආණ්ඩුව එකලාසයක් කරගැනීමට ආදී කාරණා වලටය.

ආණ්ඩුව දැන්වත් තමන්ගේ වේගය වැඩි කළ යුතුය. හැමෝටම වුවමනා දේ නොව ආණ්ඩුව ආණ්ඩුවට වුවමනා දේ කළ යුතුය. නිශ්චිත දෙයක් වෙනුවෙන් තමන් කරන්නේ අහවල් දෙය යැයි නිශ්චය කර ගැනීමෙන් පසු දෙයියන්නාන්සේටවත් ඒවා වෙනස් කිරීමට ඉඩ නොදිය යුතුය. සියලුදෙනා එකගකර ගනිමින්, සියලු දෙනාට සවන් දෙමින් හා සියල්ලන්ගේ අදහස් යෝජනා වලට අවස්ථාව දෙමින් කරුණු කාරණ ඉටු කිරීම ඉතා දියුණු ක්‍රමවේදයක් වුවත්, දැන් අප සිටින්නෙ එතැන නොව. තීන්දු තීරණ ගත යුතුය. ඒ ගන්නා තීරණ වල වගකීම භාර ගැනීමට තීරණය ගන්නාට හැකියාවක් තිබිය යුතුය. ඒ හැම තීන්දුවක් ගැනම යුක්තිසහගත සාධාරණීකරණයක් තිබිය යුතුය. නමුත්, දැන් සිදුවන්නේ ඒ හැම දෙයක්ම කාගේ හෝ ඇගේ ගසා බේරීමය. තීන්දු ගන්නේ කමිටුය. ඒවා ක්‍රියාත්මක කරන්නේ කමිටුය. අවසානයේ, ඒ තීන්දුවලට විරෝධතා පැමිණි විට විසදන්නේ ද කමිටු මගිනි. නමුත්, එකී නානාප්‍රකාර විද්වත් කමිටු විසින් කළ විද්වත් මැදිහත්වීම් ගැන දැන්වත් නිසි විගණනයක් අවශ්‍යය. එක්කෝ ඒ තෝරාගත් විද්වතුන් හරියන්නේ නැත. නැතිනම්, විද්වත් කමිටු කෙරුවාව හරියන්නේ නැත.

අදින් ඇරඹෙන්නේ ආණ්ඩුවේ එදා මෙදා තුර තීරණාත්මකම හා අභියෝගාත්මකම කාල පරිච්ඡේදයයි. එකට දීග කෑවද, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ප්‍රධාන මැතිවරණ තුනකට වෙන් වෙන්ව සූදානම් වන කාලයකි. ඊට අමතරව, ඉතිහාසයේ අන්කවරදාවත් නොතිබූ පරිදි ජයග්‍රාහී විභවයක් සහිත තුන්වන පක්ෂයක්ද විපක්ෂය තුළින් මතු වී හමාරය. ඒ ඒ ඡන්ද දිනීමට අවශ්‍ය ශක්තිය තම තමන් විසින් වෙන් වෙන්ව සකස් කර ගත යුතුය. ඒ අතරවාරයේම, තමන් සියලු දෙනා පාර්ශවකරුවන් වී ඇති ආණ්ඩුව ගොඩ දා ගත යුතුය. ඉලක්කම් සංඛ්‍යා දත්ත සමග සූක්ෂව සෙල්ලම් කළ යුතුය. ඒ සියල්ල මැද්දේ ජනතාවගේ අභිලාෂයන් ගැන කල්පනා කළ යුතුය. පූර්ව නිගමනය කළ හැකි දේ මෙන්ම ඉදිරි මාස කීපයේදී එන අනපේක්ෂිත දේ ගැන ද ආණ්ඩුවට කර ගැසීමට සිදු වේ. මේ සියල්ල කළ යුත්තේ විටෙක එකටත් විටෙක බෙදීත් ඉන්නා යටකී අලුත් නොවූ නමුත් අලුත් වූ ඇමතිවරු ප්‍රමුඛ පාලනය සමගය.

මා අවසනුව, දිවංගත ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් උපුටා දක්වනු කැමැත්තෙමි. මතු උපදින දරු පරපුරට වඩාත් සුන්දර ලෝකයක් නිර්මානය කිරීම වෙනුවෙන්, ඔබගේ අද දවස කැප කරන්න යැයි කලාම් කීවේය. එය මව් දෙමව්පියන් පුරවැසියන් ආදියට මෙන්ම, ආණ්ඩුවද අදිටන් කර ගත යුතුය.

No comments: