Tuesday, July 24, 2018

ඉතින්, මහවැලිය හමාරයි!

ලංකා දේශපාලනයේ සදාතනික පොරොන්දු සමුච්චයක් ඇත. ජාතික ප්‍රශ්නය විසඳීම ඒ අතරින් ප්‍රමුඛතම පොරොන්දුවයි. එපමණක් නොව, දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් හා උසස් මානව සංස්කෘතියක් වෙනුවෙන් තිබිය යුතු යැයි ලෝක සම්මතයට පැමිණි මාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය, රාජ්‍ය මුදල් සම්බන්ධ වගවීම හා වගකීම තහවුරු කරන අණ පනත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි ඒවා උත්සාහයකින් තොරවම මතකයට එන එවැනි පොරොන්දුය. බාගවිට ජාතික ප්‍රශ්නයේද කොටසක් යැයි කියනු ලබන අසම්පූර්ණ මහවැලි ව්‍යාපාරය සර්ව සම්පූර්ණ කොට අවසන් කිරීම එවැනිම තවත් පොරොන්දුවකි.
තිස් අවුරුදු මහවැලි සැලැස්ම කඩිනම් මහවැලි ව්‍යාපාරය බවට පත් වූ අතර ඒ ගැන ගුණඅගුණ අඩුවැඩිව කතා කළද එය සමස්තයක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක විය. නමුත්, එය කඩිනම් කිරීමට තැබූ බර සම්පූර්ණ කිරීමට තැබුණේ නැත. කඨෝර මහපොළොව දියෙන් තෙත් කොට, දිය ඇති තැන් මෙන්ම නැති තැන්වලද අස්වද්දනු දැකීම මේ ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන්ගේද විටින් විට ඒ ව්‍යාපෘතියට කර ගැසූ, උර දුන් වගකීම් උසුලන්නන්ගේද ඒකායන සිහිනය විය. අතරින් පතර විවිධ දේශපාලන හැලහැප්පීම්, ලකුණු දමා ගැනීම්, දේශපාලනික අවදානම් ගැනීමට ඇති බය, ඇතැමෙක් ඉස්මතු වේ යැයි යන බිය වැනි කරුණු හේතුවෙන් මේ ව්‍යාපෘතිය උපරිම සාර්ථකත්වය කරා ගෙන ඒමේ දී බාධා එල්ල විය. කෙටියෙන්ම කියතොත්, මහවැලිය ව්‍යාපාරයටද යටකී තොරතුරු පනත, විගණන පනත, විධායකය අහෝසි කිරීම වැනි ධානාත්මක දේවලට අත්වුණු ඉරණමම අත් නොවූවා නොවේ.
කඩවුණු පොරොන්දු
මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ යෝජනාව ඉදිරිපත් වී මේ වන විට දශක පහකටත් අධිකය. තවත් විධියකින් කිවහොත් සියවස් බාගයකි. දසක පහ තිස්සේම අඩුවැඩි වශයෙන් දේශපාලන වේදිකාවට, සිතියම් ලකුණුකිරීම්වලට හා ජනතාවගේ සිතේ තැන්පත් කෙරෙන සිහිනයකට පමණක්ම එම ව්‍යාපෘතිය සීමා විය. නමුත්, කලින් කලට වගකීම් භාර වූ විෂයභාර අමාත්‍යවරුන් හා කලාපය භාර ජනතා නියෝජිතයින්ගෙන් ඉටු වූ වගකීම්වල තරම ඉක්මවා සහ සැලකිල්ල අභිභවා, මේ ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂයෙන් කල්පනා කරන්නට වූයේය. දේශපාලන හැලහැප්පීම්, කැපිළි කෙටිලි මැද දිවි හිමියෙන් මේ වෙනුවෙන් ඔහු සටන් කරන්නේද එහෙයිනි.
වර්ග කිලෝමීටර 768ක පමණ වපසරියක් ජලයෙන් තෙත් කෙරෙන මෙම ව්‍යාපෘතිය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් පමණ වේ. දේශපාලනික පුරසාරමක් නොවන මෙම ප්‍රමාණය හරියටම ගණනින් අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් පමණ වේ. මෙලෙස එක්රැස් කරන ජලය උතුරුමැද, වයඹ, නැගෙනහිර හා උතුරු පළාත් සඳහා යොමු කිරීමට පියවර ගැනේ. යටකී උතුර නැගෙනහිර වයඹ හා උතුරු මැද යන පළාත් හතරම සැලකෙන්නේ වියළි කලාපයට අයත් ප්‍රදේශ ලෙසයි. අද වන විට වසරේ වැඩි කාලයක් නියගයෙන් පීඩා විඳින වැසියන් සිටින කලාපයක් බවට පත්ව ඇති මෙම කලාපයේ ගොවිතැන් බතට පමණ නොව ඇතැම් කාල වලදී උයා පිහා ගැනීමට හා බීමට පවා ජලය නොමැති තත්ත්වයක් උදා වේ. එවැනි කාලවල දී විධිමත් ජලය ඒකරාශී කිරීමේ ක්‍රමවේදයක් නොවූයෙන් වැව් අමුණු පවා සඳී යන්නේ ඉතා ඉක්මනිනි. රටේ එක් පසෙක තත්ත්වය එසේ වුවද තවත් පසෙකින් රට මැදින් උත්පාදනය වන ජල සම්පත මහා සාගරය වෙත ගලා යන්නේ උපරිම පලප්‍රයෝජන නොගත් පසුබිමකය.
උමං මාර්ග තුනක්
සාර්ථකව ජනතා ප්‍රතිලාභ වෙනුවෙන් විවර වන මෙම මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට අනුව, අභිනවයෙන් ඉදිකෙරෙන විශාල හා දීර්ඝ උමං මාර්ග තුනක් ඔස්සේ මෙම කලාපය වෙත ජලය රැගෙන යාමට නියමිතය. එමගින් ඉදිවන නව මහ වැව් ගණන අටකි. තවද මෙමගින් එල්ලංගා පද්ධති ඇතුළු වැව් 2,000ක් පමණ ජලයෙන් පෝෂණය වීමට නියමිතය. මෙම ලොකු කුඩා වැව්වල වසර පුරා අඛණ්ඩව ජලය රඳවා තබා ගැනීමේ හැකියාව නිසාම, හෙක්ටයාර 84,000ක පමණ භූමියක අලුතෙන් යල හා මහ යන දෙකන්නයේම ගොවිතැන් හා වගා සිදු කිරීමේ පහසුව උදා වේ.
ඒ අනුව, කාලගුණික විපර්යාසයන්, වැහි රටාවේ සිදුව ඇති වෙනස් වීම් හමුවේ උද්ගතව ඇති අභියෝග, අසාමාන්‍ය හා අනපේක්ෂිත කාලයක් පුරා පවතින නියඟය ආදී ජලය හිඟ වීමේ ගැටලු වලට පමණක් නොව, අතිරේක වර්ෂා ජලය කළමණාකරණය කිරීමේ දුර්වලතා හේතුවෙන් හට ගන්නා හදිසි ගංවතුර වැනි ගොවියන් හා පුරවැසියන් මුහුණ දෙන අර්බුද ගණනාවකට ද සාර්ථක විසඳුම් ලැබෙනු ඇත.
බහුවිධ අරමුණු
මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හුදෙක් ගොවිතැන වෙනුවෙන් ජලය සපයන ජල යෝජනා ක්‍රමයක්ම නොවේ. මෙමගින් සැකසෙන පානීය ජලය දැනට වියළි කලාපයට විශාල අභියෝගයක්ව ඇති පිරිසිදු පානීය ජල අවශ්‍යතාවටද විසඳුමක් ලබා දේ. දැනට මූලය හඳුනානොගත් වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා මූලිකම අවශ්‍යතාව ලෙස සැලකෙන පානීය ජලය මෙමගින් ලබා දීමට හැකි වීම එම ප්‍රදේශයේ ජනතාව ලබන විශාල ලාභයකි. එපමණක් නොව, දැනට වකුගඩු රෝග අවදානම් දිස්ත්‍රික්ක ලෙස ප්‍රකාශිත දිස්ත්‍රික්ක දොළහෙන් අටකට වැඩි ගණනක් මෙමගින් ඍජුවම ආවරණය වනු ඇත.
මහවැලි ව්‍යාපෘතියේ අවසන් හා උසම කඩුල්ල පැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපතිවරයා හමුවේ උද්ගත වූ පළමු ප්‍රශ්නය නම් මුදල්ය. සංකල්පීයව ගොඩ නැගෙන මෙවැනි ව්‍යාපෘති සංකල්ප ලෙස ම පරව යන්නේ ඒවා සාර්ථක කිරීමට අවශ්‍ය සෙසු වුවමනාවන් සපුරා ගැනීමට ඇති නොහැකියාව නිසාය. ඇතැම් ව්‍යාපෘති සිතියම් හා සිතිවිලි වලට පමණක් සීමා වී ඇත්තේ ඒ නිසාය. ඒ සිතිවිලි සැබෑ කළ පසු ඒවාට අයිතිවාසිකම් කියන්නට දස දහස් ගණන් පෙළ ගැසීම වෙනම කරුණකි. එය සංස්කෘතික ලක්ෂණයකි.
කෙසේ නමුත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, අවිවාදයෙන්ම මෑත ඉතිහාසයේ නිර්මිත මිල අධිකම ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වියදම වූ රුපියල් කෝටි 23,000 සොයා ගැනීමේ විශ්වසනීය සංග්‍රාමය ආරම්භ කරන්නේ නොබෝ කාලයේදීය. ඉතාම කෙටි කාලයක් තුළ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, හරිත දේශගුණික අරමුදල, චීන ජපාන හා නෙදර්ලන්ත රාජ්‍යයන්, සවුදි හා කුවේට් අරමුදල් මෙන්ම ඔපෙක් සංවිධානය පවා මේ සඳහා නැඹුරු කර ගැනීමට ඔහු සමත් විය. විවිධ අදියර වලදී ඔවුන්ගෙන් මෙතරම් විශාල සහයක් ලබා ගැනීමට සමත් වූයේ ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාව හා පවත්වාගෙන යන්නා වූ විශ්වසනීය මිත්‍රශීලීභාවය නිසාය.
ලෝක ප්‍රජාවගේ ශක්තිය සහ දෙස් විදෙස් ඉංජිනේරුවරුන්ගේ විස්කම් මහිමයෙන් මෙලෙස ඉදි වන ව්‍යාපෘතිය හරහා ජලය ඝන මීටර් දසලක්ෂ 818ක පමණ වූ ජලකඳකට නව වටිනාකමක් ලබා දී මෙරට සහෝදර ජනතාවගේ සාපිපාසාව, බව බෝග වැවීමේ වුවමනාව හා නේකවිධ ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කළමනාකරණය කෙරේ.
වැදගත් සංධිස්ථානයක්
කෙසේ නමුත්, අද අප එළැඹ තිබෙන්නේ ලංකා වාරි, කෘෂි, සංවර්ධන, ආර්ථික හා සංස්කෘතික පමණක් නොව දේශපාලනික ආදී සෑම අංශයකම පාහේ ඉතාම වැදගත් සංධිස්ථානයකටය. එනම් මහවැලි ව්‍යාපෘතිය දැන් දිනුම් කණුව වෙත පැමිණ ඇතැයි අපට කියා සිටිය හැකි අවස්ථාවකි. ජනාධිපතිවරයා රට කරන්නේ බොහෝ අයගේ අවලාද ආක්‍රෝශ පරිභව පමණක් නොව නොනිම් නින්දා අපහසාස මධ්‍යයේ බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. අවාසනාවක තරම නම් ඒ එකක් වත් මෛත්‍රී කළ වැරදි නොවේ. නමුත්, ඒ චෝදනා කරන සියල්ලන්ම උවමනාවෙන් වාගේ මගහරින කොටසක් ඇත. එනම්, මෛත්‍රී කළ කොටසයි. මෙතෙක් කී කතාන්දරය අයිති වන්නේ මෛත්‍රී කළ කොටසටය. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතා දරුවෙකු, තරුණයකු, මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍යවරයකු ලෙස පමණක් නොව ජනාධිපතිවරයා ලෙස ද දුටු සිහිනය අදින් සපල වේ. ඒ සිහිනය එසේ සපල වන්නේ, යථාර්ථයක් වූ දේ ගැන තවදුරටත් සිහින දැකිය යුතු නොවන නිසාය. අදින් පසු, සැබෑ වුණු මහවැලි සිහිනයේ ප්‍රතිලාභ භුක්ති විඳීමේ භාග්‍යය අප සියලු දෙනාට පමණක් නොව උපනූපන් පරපුරටද හිමි වනු ඇත. ජනාධිපතිවරයාට සහ ඊට උරදුන් අයට ඒ සතුටු කඳුළු දෙස බලා සැනසිය හැක.
[භාරත තෙන්නකෝන්]

http://www.resa.lk/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/2018/jul/23/2577/%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92

No comments: