Tuesday, August 7, 2018

වයඹ පොළවත් තෙත් කෙරෙන මෛත්‍රීගේ ‘වතුර’ සංග්‍රාමය..

මින් දශක කිහිපයකට පෙර මහවැලි ව්‍යාපාරය පිළිබඳ අදහස ඉදිරිපත් වන්නේම මූලික පරමාර්ථ කිහිපයක් මුල් කරගෙනය. ඉන් පළමුවැන්න වූයේ වියළි බිම් තෙත් කරමින් සරුසාර ගොවිබ්ම් බවට පත් කිරීමේ අරමුණයි. ඒ හා සමානම වටිනාකමක් හිමි වූයේ රටේ විශාල ජනතාවක් මුහුණු දී තිබූ උග්‍ර අර්බුදයක් වූ පානීය ජලය පිළිබඳ අර්බුදය විසඳීමයි. එසේම, ඒ වන විට ඉතාම අඩු ප්‍රතිශතයක් වූ විදුලි පාරිභෝගිකයින් ගණන සියයට සියය දක්වා ඉහළ නැංවීමේ දී මහවැලි ව්‍යාපාරයට දැක්විය හැකියැයි විශ්වාස කළ දායකත්වය ඉතා ඉහළය. තවත් පසෙකින් මහවැලිය නමැති වතුර ව්‍යාපෘතිය හරහා ජලය නොවන තවත් අතිරේක වාසි ගණනාවක් රටට දායාද කිරීම ද අපේක්ෂාවක් විය. අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ වැඩසටහන්, මහවැලි ව්‍යාපෘතිය හා සබැඳි සංස්කෘතියක් ගොඩනැංවීම, මහවැලිය හා සමගාමීව මහවැලි කලාපවල දරුවන්ගේ අධ්‍යාපන හා රැකියා අවස්ථාවන් පුළුල් කිරීම ආදිය ඉන් සමහරකි.

කෙසේ නමුත්, අමාත්‍ය සී.පී. ද සිල්වාගෙන් පටන්ගෙන දශක ගණනක් තිස්සේ විටෙක ප්‍රස්ථාරයේ සීඝ්‍ර ඉහළ යාමක් ලෙස ද තවත් විටෙක පෙණෙන නොපෙණෙන නැග්මක් ලෙස ද ඉදිවුණු මහවැලි සංවර්ධන වැඩසටහන, විෂය භාර අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සර්ව සම්පූර්ණ කොට තවදුරටත් සිහිනයක් පමණක්ම නොවන යථාර්තයක් බවට පත් කරමින් ජනතාව වෙත දායාද කරනු ලැබීය. ඒ මොරගහකන්ද කළුගග නිවුන් ව්‍යාපෘති දෙක අහවර කිරීමත් සමගයි.

කළුගග මොරගහකන්ද ව්‍යාපෘති යටතේ තවත් උපප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ඵල දැරීමට නියමිතය. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ඔස්සේ ඉදිවෙන උතුරට ජලය ගෙන යන උතුරු (මහ) ඇළ සංවර්ධන ව්‍යාපෘතිය, වයඹට ජලය ගෙන යන වයඹ ඇළ ව්‍යාපෘතිය හා මිණිපේ ඇළ ව්‍යාපෘතිය ඉන් ප්‍රධානය.

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය පිළිබඳ කතා කෙරෙන්නේ එක්දහස් නවසිය හැටේ දශකයේ සිටයි. ඒ අනුව, වයඹ ඇළ ඔස්සේ සිදු කෙරෙන්නේ මහවැලි ජලය වයඹට ගෙන යාමේ මෙහෙයුමයි. වයඹ ඇළ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු කොටස වෙත ලැබෙන ජලය ප්‍රමාණය ගණන් බලා ඇත්තේ වාර්ෂිකව අක්කර අඩි 105,000ක් බවයි. වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා ගණන් බලා ඇති මුළු වියදම රුපියල් කෝටි 3,000ක් වන අතර 2024 වසර වන එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතය. ඍජුවම පවුල් 13,000ක් පමණ මෙමගින් ප්‍රතිලාභ ලැබීමට නියමිත අතර මෙම ජල කක්ෂෙන් පෝෂණය වීමට නියමිත මුළු වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 12,500කි. එසේම, මෙමගින් වක්‍ර ප්‍රතිලාභ ලබන පවුල් ප්‍රමාණය 40,000ක් පමණ වේ.

ජනතාව වැඩිම ජල අර්බුදයකට ලක් වූයේ පානීය ජලය සපයා ගැනීමේදීටත් වඩා සිය ගොවිතැන් කටයුතු සිදු කිරීමේ දී ය. ගොවිබිම් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම එකිනෙකා අතර තිබූ සාමූහිකත්වය, සාමකාමීභාවය හා ඥාති හිතමිත්‍රකම් ද නැති වී යන කරුණක් බවට පත්ව තිබේ. මහපොළවේ ඇත්තේ වක්කඩක් ඇරීම වැහීම වෙනුවෙන් මිනී මරගන්නා තත්ත්වයකි. එසේම, නිසි පරිදි සිය ගොවි බිම් වෙනුවෙන් අවශ්‍ය ජලය නොලැබීම නිසා වගා බිම් පාළු වීමේ දුක දරා ගැනීමට නොහැකිව සිය දිවි නසාගත් පිරිස ද අපමණය. වතුර පිළිබඳ ප්‍රශ්නය, ගොවියන් සදාතනිකවම පීඩාකාරී මානසික තත්ත්වයට හා පිළිතුරක් නැති ප්‍රශ්නයකට පැටළවීමේ තත්ත්වයකට පත් කරයි. එපමණක් නොව, ඇතැම් ගොවියන්ගේ අදහස වන්නේ සමහර කාල වලදී ගොවිතැන් කිරීම යුද්ධ කිරීමටත් වඩා අපහසු හා වේදනාකාරී කටයුත්තක් බවයි.

නව ව්‍යාපෘතිය ඔස්සේ වයඹට සැපයෙන ජලය ඝන මීටර් දශ ලක්ෂ 130 න් සියයට 10 ක් පමණ පිරිසිදු පානීය ජලයයි. මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේ බිල්ලක් බවට පත්ව ඇති වයඹ පළාතේ උතුරු කොටසේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීම, පිපාසාව සංසිදුවීමට පමණක් නොව ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තුවක් ජනිත කරන කටයුත්තකි. වයඹට රැගෙන එන මෙම ජලය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, වෑමැඩිල්ල හා දේවහූව වැනි ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ද සපයා දෙයි.

කිලෝ මීටර් 92ක දිගින් යුතුව ඉදි කෙරෙන මෙම වයඹ ඇළ ගින් වයඹ හා මධ්‍යම දෙපළාතේ කුඩා වැව් 315 ක් හා ප්‍රධාන වැව් අටක් පෝෂණය වීමට නියමිතය. කුරුණැගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, ගල්ගමුව හා හිරියාව මැතිවරණ කොට්ඨාශ වලට අයත් වැව් හතක් සහ මාතලේ දේවහූව වැව ඊට අයත්ය. එලෙස ප්‍රතිසංස්කරණය වන වැව් 315 ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහකට අයත් වේ. ඉන් 109ක්ම පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන අතර තවත් වැව් 104ක් අයත් වන්නේ මහව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටයි. මේ යටතේ ඇහැටුවැව, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වල පිළිවෙලින් වැව් 90ක් හා 11ක් ද දඹුල්ලේ එක් වැවක් ද ප්‍රතිසංස්කරණය කෙරේ.

තවද, මී ඔය, හක්වටුනාඔය හා කලාඔය ද්‍රෝණිවල ඇති එල්ලංගා පද්ධති ගණනාවක් යළි පණ ගසා ගොවි බිම් සාරවත් කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නියමිතය. ඒ අනුව, මානිග්ගමුව, හෑලඹගහමුල, ගල්ලිද, ඇහැටුවැව උල්පත වැව, පහළකැලේ අමුණපොල්පිතිගම, කාතරගම වැනි එල්ලංගා පද්ධති එසේ සංවර්ධනය වනු ඇත. මීට අමතරව මේ යටතේ වෑමැඩිල්ල නව සොරොව්ව, මහකිතුල ජලාශය, මහකිරුල ජලාශය, දඹේ ජලාශය වැනි විශාල ප්‍රමාණයේ වාරි පද්ධතීන් නිර්මාණය වන අතර රන්වැඩියා, නිලගම හා මහකිතුල ප්‍රදේශ වල දී මීටර් 500 ඉක්මවූ නව උමං තුනක්ද ඉදි වීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේ දී මූලිකව මුහුණ පාන ගැටළුවක් වන්නේ සමාජ ආරක්ෂණ වැඩපිළිවල සහ පරිසර හා වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙලයි. මේ වන විටත් ඊට අවශ්‍ය කටයුතු සකසා අවසන් වී තිබේ. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී නිරන්තරයෙන් දකින්නට ලැබෙන සතා සිව්පාවා ගහකොළ ඇළ දොළ නොසලකා හැරීමේ ඛේදවාචකය, මෙම ව්‍යාපෘතියේ දී කිසි ලෙසකින්වත් සිදු නොවන්නටත් සිදුවන හානි අවම කිරීමටත් විද්වතුන් හා විශේෂඥයින් බොහෝ සේ කැපවී වැඩ කරයි.

වයඹ වැසියන් වූ අප දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යතාවට සරිලන ජලය නොලැබීමේ අර්බුදයට මුහුණ පා සිටියෙමු. විශේෂයෙන්ම කුරුණැගල දිස්ත්‍රික්කයේ උතුරු කොටසට අයත් ප්‍රදේශවල ජනතාව මේ වේදනාව සිය ජීවිතයේ කොටසක් කරගෙන සිටියි. පානීය, වගා ආදී දෛනික මිනිස් අවශ්‍යතා වෙනුවෙන් හිමි ජලයේ හිගතාව වයඹ වැසියන් හමුවේ ඇති සැලකිය යුතු ප්‍රශ්නයකි. ගම්මාන මැදින් මංතීරු දෙකේ හතරේ මංමාවත් ඉදිවුවත්, එකඑක නම් වලින් ගොඩනැගිලි මාලිගා ආදිය ඉදිවූවත් ගම්මුන්ගේ ආර්ථිකයේත් දිවි පැවැත්මේත් මූලික අවශ්‍යතාවක් වන ජලය ලබා දීම කෙරෙහි යොමු වූයේ අඩු අවදානයකි. ඒ නිසාම දිස්ත්‍රික්කයේ එහා මෙහා හීසර වේගයෙන් පියඹා යන විට කළගෙඩි, බාල්දි, බේසම් අතින් කටින් එල්ලාගත් මිනිස්සු බීමට දිය පොදක් සොයා මයිල හතර පහ හැනිහැම්මේ පයින් යනු අප දැක ඇත්තෙමු. වයඹ වැසියන් ලෙස අප ඒවා අත්දැක ඇත.

නමුත්, සමහර පාලකයින්, ඇතැම් විදේශයන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරට මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙද්දී වයඹ පමණක් නොව මුළු මහත් රටේම පානීය ජල අවශ්‍යතාව නොසැපිරුණු මිනිස්සු ඒ දෙස බලා හීල්ලූ බව අපට මතකය. එවැනි පසුබිමක, මහවැලි ජලයේ පහස වයඹ වාසීන් වූ අපටත් ලැබීම අමන්දානන්දයට හා ප්‍රබෝධයට කරුණක් වනවා සේම ඒ ගැන ජනාධිපතිවරයාට කෘතඥ විය යුතුය. දෙකන්නයේම සරු අස්වනු නෙළන සරුසාර මහපොළවක් දැකීම වයඹ වැසියන් වූ අපගේ සිත්තුළ කාලයක් තිස්සේ තිබුණු ඒකායන පැතුමයි


- Bharatha Thennakoon

No comments: