Monday, August 13, 2018

තෙවසරකට පසු; ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව..


රාජ්‍ය පාලනය සදහා කළින් කළට ආණ්ඩු පත් වෙති. ඒවා සමහරකට උප්පත්තියෙන්ම නම් ඇත. තවත් සමහරකට ආණ්ඩුව කරගෙන යද්දී මිනිසුන් විසින් නම් දෙති. ඒ අනුව, දැන් රට කරන්නේ යහපාලන ආණ්ඩුවයි. එක් පැත්තකින් යහපාලන ආණ්ඩුව යනු මේ ආණ්ඩුවේ නමය. තවත් පැත්තකින් ම් ආණ්ඩුව යහපාලන මූලධර්මයන් හා ප්‍රමිතීන් රට තුළ පැළ කිරීමට යම් සාධනීය උත්සාහයක් දැරූ ආණ්ඩුවක් ලෙස සැලකේ. ආණ්ඩුවේ රාජ්‍ය පාලනය ගැන ගුණ වගේම අගුණත් ජනතාවගේ පැත්තෙන් තිබේ. එසේම, පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව මධ්‍යස්ථය බලන කෙනෙකුට ද ආණ්ඩුව ගැන කියන්නට හොද වගේම නරකත් ඇත.

2015 අගෝස්තු 17 වැනිදා පැවති ඡන්දයෙන් අලුත් ආණ්ඩුවක් පත් වන්නේ අලුත් ජනාධිපතිවරයකු පත් වී අට මාසයකට පසුවය. ජනවාරි මාසයේ තිබූ දේශපාලන රැල්ල ඒ වන විටත් වෙනස් වී තිබිණි. ජනවාරි මාසය වන විට එකම දිශාවකට හමා යමින් තිබූ සුළං ප්‍රවාහය විවිධ පැති වලට හැරවීම ඒ වන විටත් ආරම්භ වී තිබිණි. ජනාධිපතිවරණයේ දී එක් පුද්ගලයෙක් හා වැඩපිළිවෙලක් කෙරෙහි තිබූ විශ්වාසය හා ඒ වැඩ පිළිවෙල පිළිගැනීමේ තත්ත්වය, අගෝස්තු වන විට තිබුණේ දියාරු වූ තත්ත්වයකය. එහෙයින්, ඉන් වසර තුනක් ගෙවී ගොස් ඇති මේ මොහොතේ එකම වේගයෙන් එකම දිශාවකට සුළං හමන්නා වාගේ ජනතා කැමැත්තක් ආණ්ඩුව කෙරෙහි පවතී යැයි විශ්වාස කිරීම නොකළ යුතුය. එසේම, ස්වභාවයෙන්ම ආණ්ඩුවක කාලය දවසින් දවස ගෙවෙද්දී ආණ්ඩු කෙරෙහි වූ ජනතා උනන්දුව ටිකෙන් ටික දියාරු වී යාම, අර්බුදයක් නොව සාමාන්‍ය තත්ත්වයකි. කෙසේ නමුත්, සිය නිල කාලයෙන් හරි අඩටත් වඩා වැඩි කාලයක් ගෙවා අවසන් කර පරණ වෙමින් තිබෙන අලුත් ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව ගැන උඩින් පල්ලෙන් හෝ කියවීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය.

අලුත් ආණ්ඩුවේ ප්‍රගතිශීලීම තීන්දුවක් ලෙස සැලකිය හැක්කේ තොරතුරු දැන ගැනීමේ පනත හා විගණන පනත සම්මත කිරීමයි. පොදු ජනතාවගේ මිල මුදල් ගැන, රටේ ජනතාවට ඉටු විය යුතු සේවාවන් ගැන, ජනතා අභිලාෂයන් අරමුණු සහ අපෙක්ෂාවන් දිනා ගැනීම ගැන, ආණ්ඩුවේ විනිවිදභාවය හා අවංකකම ගැන ජනතාවට දැන ගැනීමට හැකි ප්‍රධාන ප්‍රවේශ දොරටු දෙකක් ලෙස මෙම පනත් දෙක සැලකිය හැකිය. මෙහි විශේෂත්වයක් වන්නේ, මෙම පනත් දෙකටම කාලයක සිට කේන්දර හදා තිබුණත් වින්නඹුකම කිරීමට කිසිවෙක් එඩිතර නොවීමයි. පාර්ලිමේන්තුව සූදානම් වූ විට ජනාධිපති හරස් කැපුවේය. ජනාධිපතිවරයා සූදානම් වූ විට පාර්ලිමේන්තුව හරස් කැපුවේය. නමුත්, ජනාධිපතිවරයාගේ පැත්තෙන් ආ සහායේ ප්‍රබලතාවත්, ජනතාවගෙන් හා බලපෑමේ ප්‍රබලතාවත් සැලකූ විට අලුත් ආණ්ඩුව යටතේ එය නොකර සිටීමට බැරි තත්ත්වයක් උදා විය. යහපාලන ආණ්ඩුව වචනාර්ථයෙන්ම යහපාලනය වෙනුවෙන් වෙහෙසවෙන බවට තහවුරු කිරීමට මේ පනත් දෙකම සෑහෙන තරම් නිදර්ශනයකි.

ඊට අමතරව අලුත් අධිකරණ පිහිටුවීම මෙන්ම මුල්‍ය අපරාධ හා දූෂණ පිළිබද විමර්ශනයට අදාලව අලුත් ආයතන බලගැන්වීම ආදිය ගැන ජනතාව තුළ තිබුණේ ඉතා ඉහළ විශ්වාසයකි. සියලු සොරුන් එක් රාත්‍රියකින් ගිලටීනයට දක්කාගෙන යන තෙක් ජනතාව බලා සිටියහ. ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ ඒ වෙනුවෙනි. අන්තිමට වූයේ, මේ සියලු ආයතන වල දොරකඩයන් වෙයිස්කට් වේදිකා බලට පත් වීමය. මහදවල් මහ සොරකම් කළ කම්භ හොරුන් පැය හත අට ඒ ගැන සාක්ෂි දී එළියට පැමිණ හිරි ඇරගන්නටත් එක්කම ආණ්ඩුවට දොඹෙන් නෙළීමට ඒ කැදවීම් අවස්ථාවක් කර ගත්තෝය. හොරු අල්ලන්නට ගිය ආණ්ඩුවට සිදු වූයේ, සැකකාර හොරුන්ගේ වෙයිස්කට් කවුන්ටර් කරන්නට තැන තැන මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හැල්මේ දුවන්නටය.

යහපාලන ආණ්ඩුවක් හෝ වේවා, ලිච්ඡවී සම්ප්‍රදායක් හෝ වේවා ආණ්ඩුවේ සාමූහිකත්වය හෝ වේවා, ආණ්ඩුව හා ජනතාව අතර තිබිය යුත්තේ එක් පාළමකි. සිටිය යුත්තේ එක ලොක්කෙකි. තිබිය යුත්තේ එක් තීන්දුවකි. ගෙවුණු තුන් වසර තුළ මේ ගැන නම් කතා කර ඵලක් නැති තරමේ සිද්ධීන් ගණනාවක්ම දකින්නට ලැබුණේය. සමහර ඒවා ප්‍රහසන වූ අතර තවත් සමහර ඒවා ඛේදවාචකයන්ය. ආණ්ඩුව හෝ වේවා රජය හෝ වේවා තීන්දු ගත යුත්තේ නායකයාගේ අවසානුමැතියෙනි. නමුත්, මේ ආණ්ඩුව යටතේ රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුවේ නායකයා මෛත්‍රීපාල සිරිසේන නොව තමන් යැයි සිතා වැඩ කළ ඇමතිවරුන් හා එවැනි අවස්ථාවන් කිහිපයක් නිසා ආණ්ඩුව අන්තයටම බාල්දු වූ අවස්ථාවන් තිබේ. පොදු මේසයේ දී එක්කෝ කටපියාගන සිට හෝ එක්කෝ පොදු අදහසට එකග වී එළියට ගොස් තම තමන්ගේ අභිමතනයන් ක්‍රියාත්මක කළ නිසා ජනාධිපතිවරයාට එවැනි තීන්දු යහපාලනයේ නාමයෙන්ම ජනතාවගේ නාමයෙන්ද ආපසු හැරවීමට සිදු විය.

මෙලෙස, ආණ්ඩුවේ ඒකමිතියක් නොමැති කම නිසා අත් වූ අවාසි හා ලැජ්ජාවන් ආණ්ඩුවේ ගාම්භීරත්වයට හා අභිමානයට එක් කළ කළු පැල්ලම් මකා දැමිය නොහැකි තරම්ය. මේ ව්‍යාකූල තත්ත්වයෙන් වාසියක් අත් වූයේ ජනාධිපතිවරයාටවත් අහවල් අහවල් පක්ෂවලටවත් නොවේ. අවුරුදු තුනකට පෙර ජනතාව විසින් අතුගා දැමූ දේශපාලන කදවුර මෙහි උපරිම වාසිය ගත්තේය. පොදු එකගතාවයෙන් මිදී වෙනම යන්නට වෙර දැරූ හිතුවක්කාර ඇමතීන්ගේ හා නිලධාරීන්ගේ මෙවැනි තීරණ, ආණ්ඩුවේ පොදු සතුරා ශක්තිමත් කළේය.

යහපාලනය හෝ වේවා නීතියේ ආධිපත්‍යය හෝ වේවා අපේ රටේ ජනතාවගේ පොත පතට අලුත් විෂයන් නොවූවත් මහපොළවේ යථාර්ථ ලෝකයට ඒවා සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමකි. සියලු දෙනාගේ අදහස් විමසා, අවසානයේ දී තමන්ට වුවමනා දේ කිරීම ප්‍රජාතාන්ත්‍රවාදය යැයි සිතා සිටි රටක ජනතාව හමුවේ හරයාත්මක ප්‍රජාතාන්ත්‍රවාදය රෝපණය කිරීම සහරා කතරේ වී වැපිරීමට වඩා වෙහෙසකරය. ආණ්ඩු හෝ නායකයෝ සංවාද කළ පසුබිමක් මෑත ඉතිහාසයේම දක්නට නොලැබිණී. ආණ්ඩු හෝ පාලකයෝ කළේ නියෝග දීම හා ආඥා නිකුත් කිරීමය. ඒවාට එකග වූවෝ දිගින් දිගටම වා තලයට හුස්ම පිටකළ අතර ඒවාට එකග නොවූවෝ වාත තලයට අවසන් හුස්ම පිට කළෝය. එවැනි පසුබිමක, මාධ්‍ය නිදහස ලැබීම, කතා කිරීමේ නිදහස ලැබීම, ප්‍රකාශනයේ නිදහස ලැබීම ජනතාවට පමණක් නොව ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ අයවළුන්ටද දරා ගත නොහැකි විය. එකළ ජනාධිපතිවරයාගේ නම කියන තැන් වල බීප් බීප් ශබ්දය යොදා ඒවා වසන් කළ මාධ්‍ය, දැන් ජනාධිපතිගේ හත්මුතු පරම්පරාවටම බණින කුණුබැණුම් ප්‍රචාරය කරන්නේ ඒ නිසාය. එක පැත්තකින් මෙය යහපාලනය ඉක්මවා ගිය ආණ්ඩුවේ නෝන්ජල්කමක් ලෙස ඔවුහු සිතා සිටිනවා විය හැක. බස්කාරයාගේ සිට දොස්තර දක්වා හැම කෙනෙක්ම ආණ්ඩුව කොලොප්පමට ගන්නා වාගේ හිතූ හිතූ ආකාරයෙන් වර්ජන උද්ඝෝෂණ කරන්නේ රටටවත් ජනතාවටවත් ඇති ආදරයකට නොවන බැව් අප වටහා ගත යුතුය.

අපි දන්නා ඉතිහාසයේ ආණ්ඩුපාලනය යනු, ඇමතිකෙනෙක් කොළඹ සිට නුවරට යන විට හැම හන්දියක් ගාණේම පොලීසියෙන් සීරුවෙන් සිටිය යුතු අමුතු එකකි. මේ ආණ්ඩුවේ ආණ්ඩු පාලනය යනු වෙන එකකි. දියුණු හා සිංසිදුණු මනසින් කියවද්දී එය ඉතා අනර්ඝ එකක් වුව ද මේ කොදෙව්වට සාපේක්ෂව එක කිසිසේත්ම නොගැලපෙන එකකි.

සරම පැත්තකින් උස්සා පරම්පරානුස්සතිය වැඩ වූ පාලනයක් නිමා කරමින් එක් රාත්‍රියකින් පසු උදා වූ මේ ශිලාචාර රාජ්‍ය පාලනය, ජනතාවට ද නිලධාරීන්ට ද පොලීසිය ඇතුළු පාලනයේ ඍජු පාර්ශවකරුවන්ටද දරා ගැනීමට නොහැකි වී ඇත. දැන් මේ අය වැඩ කිරීමට වඩා වැඩ නොකර සිටීමට පළිහක් ලෙස යහපාලනය පාවිච්චි කරන බවක් ග්‍රාමසේවකගේ සිට ඉහළට යන හැම ස්ථරයකම දැක්ක හැකිය. තමන්ගේ කම්මැලිකම හෝ තක්කඩිකම, අපෝ අපිට බෑ එෆ්සීඅයිඩී යන්න, මේවා කරලා අපිටනං බෑ හිරේ යන්න ආදී වශයෙන් කියමින් වසා ගන්නට ඔවුහු කටයුතු කරති. එහෙයින්, තුන් අවුරුද්දකට පසුව උගත් පාඩම් වලින් එකක් පමණක් කියමි. ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ පමණ ඉක්මවූ ශිලාචාරකම හා යහපාලනය ජනතාවට අත්කර දුන්නේ වාසි වලට වඩා අවාසියකි. එය ආණ්ඩුවට හා ජනතාවට ද අවාසිය. රිද්මය මෙසේ නම්, එය ඊළග ඡන්ද වලදී ජනතාව විසින් ම පෙන්වනු ඇත.

එහෙයින්, ඉදිරි වසර කිහිපය පුරා සිදුවන සෙමින් නමුත් තිරසාර යහපාලන රාජ්‍යයක් ගොඩනැගීමේ යාන්ත්‍රණය සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරි වසර දෙක තුළ ආණ්ඩු කිරීමේ ශෛලියේ වෙනසක් සිදුවිය යුතු යැයි පුරවැසියෙක් ලෙස අකමැත්තෙන් වුවත් යෝජනා කිරීමට සිදුව තිබේ. නොඑසේනම්, ආණ්ඩුව පමණක් නොව රට හා රටේ ජනතාව ද අවසන් විභාගයේ දී අසමත් වීම වලක්වනු නොහැකි වනු ඇත.

Bharatha Prabhashana Thennakoon
Resa Newspaper - රැස පුවත්පත

No comments: