Monday, August 27, 2018

මහින්දගේ තුන, මෛත්‍රීගේ දෙක සහ අපේ එක..

දේශපාලනික අපේකෂාවන් අතින් ගත් කළ, ජාතියක් ලෙස අන් කවරෙකුටත් වඩා අප සිටින්නේ ඉතා හොඳ තැනක ය. ලෝක ගෝලයේ ජීවත් වන සෙස්සන්ට ඇති ප්රශ්නය, පාලකයන්ගේ ආර්ථික, සංස්කෘතික, සමාජයීය හා අනෙක් අංශයන්ගේ ප්රතිපත්ති මෙහෙයවීම් පිළිබඳ ගුණ අගුණ ය. පාලකයන් රට දක්කාගෙන යන දිශානතිය පිළිබඳ විවේචන විචාරයන් ය. නමුත්, අපට ඇත්තේ මේ ලෝක ගෝලයේ වාසය කරන සෙස්සන්ට ඇති ප්රශ්න නොවේ. අපහමුවේ සෑම විටම තිබෙන්නේ ඊළග ඡන්දයයි. අපේ මිනිහා දිනවා ගැනීමේ අරගලයයි. අපිට උවමනා වැඩ උවමනා උවමනා ආකාරයට කර ගැනීමට මිනිහෙක්ය. එහෙයින්, සෑම කාලයකම පාහේ රටෙන් භාගයක් පමණ, ඉන්න පාලකයෝ රැක ගැනීමටත් ඉතිරි භාගය ඉන්න පාලකයා පන්නා දමා තමන්ගේ මිනිහා සිංහාසනාරූඪ කිරීමටත් නොනිමි දේශපාලන සෙල්ලමක නියැලෙමින් තිබේ.

මහින්දගේ තුන කරළියට එන්නේ මේ අස්සේය. ඒ වන විටත් මෛත්රීගේ දෙවැනි වාරය පිළිබඳ කසුකුසුව මහපොළවේ පැළ වී හමාරය. එවැනි පසුබිමක, මහින්දගේ තුන හා මෛත්රීගේ දෙක ගැන අපේ එක ලියා තැබීම හා ලිහා ගැනීම වටින්නේ යැයි කල්පනා කරමි. හිටපු ජනාධිපතිවරයාට සිව්වෙනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් තුන්වෙනි වරටත් ජනාධිපති වීමේ හැකියාවක් ඇති බවත්, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ව්යවස්ථා වගන්ති මගින් ඊට ඉඩ අහුරන්නේ නැති බවත් ඇතැම් ගැලරි කථිකයින් පමණක් නොව, අපේ ජීවිත කාලය මෙන් දෙගුණයක් විතර කාලයක් කලුකබා දමාගෙන උසාවි වලම ජීවිතය ගෙවුණු ඇතැමුන්ද කියනු අසන්නට ලැබිණි. ගැලරි කථිකයන්ගේ කතා සලකා බැලීමට හෝ දෙයක් නැත. නමුත්, අනෙක් අයගේ කතාවේ අබ ඇටයක් තරම්වත් හරයක් ඇතිදැයි විමසා බැලීම යුතුය.

ජනාධිපති රාජපක්ෂයේ පාලන සමයේ 18 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ගෙන ආ අතර එමගින් මව් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ තිබූ 31 (2) අනුව්යවස්ථාව උදුරා දැම්මේය. එහි ප්රතිඵලය වූයේ යමෙකුට එකසිය අට වාරයක් ජනාධිපතිධුරයට පත්විය හැකි නම් කිසි බාධාවකින් තොරව, ඒ එකසිය අට වාරයේ ම ජනාධිපතිධුරයට පත් වීමට හැකි පරිදි ගේට්ටු විවෘත කර ගැනීමය. ඉනික්බිති, 19 වැනි සංශෝධනය මගින් 31 (1) අනුව්යවස්ථාවට පසුව නැවතත් පෙර කී මව් ව්යවස්ථාවේ තිබූ වාක්යයම ඇතුළත් කරමින් එක් පුද්ගලයකුට කවරාකාරයෙන් හෝ ජනාධිපතිධුරයට පත්විය හැකි වාර ගණන දෙකකට සීමා කළේය. දැන් සටන ඇත්තේ මෙතැනය. රාජපක්ෂ කදවුරට අනුව, දැන් ව්යවස්ථාවේ ඇති 31 (2) ව්යවස්ථාව කාට අදාළ වුවත් මහින්ද රාජපක්ෂට අදාල නොවේ. ඊට හේතුව ලෙස දක්වන්නේ, ඔහු ජනාධිපතිධුරයට පත්වන විට ඔය කියන 31 (2) ව්යවස්ථාවේ නොවූ නිසාය. නමුත්, ඔවුන් අමතක කරන කරුණ නම්, ඒ වන විට තිබූ 31 (2) හා දැන් ඇති 31 (2) සර්ව සම බවයි. ඔවුන්ගේ තර්කය එක් නිමේශයකට හෝ සත්යයක් යැයි කල්පනා කරන්නේ නම්, 2005 හෝ 2010 දී ජනාධිපතිධුරයට පත් වන විට නොතිබූ නිදහසක් භාවිත කරමින් 2015 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්දය ඉල්ලා සිටීමට ද ජනාධිපති රජපක්ෂට හැකියාවක් නොතිබුණා විය යුතුය. එහෙයින්, ඔවුන් විසින්ම මේ මතු කරන අතීතයට බලපාන්නේ නැතැයි කියන අපභ්රන්ස මුලාව 2019 දී වලංගු වන්නටත් 2015 දී වලංගු නොවන්නටත් බලපෑ නීති තත්ත්වය කුමක්දැයි දැන ගැනීමට අප සියල්ලෝ කැමතිය. ඔවුන්ගේ කතාව අප පිළිගන්නේ නම් මහින්ද රාජපක්ෂට අදාල විය යුත්තේ 2005 තිබූ නීතිය වන අතර චන්ද්රිකා කුමාරතුංගට අදාළ වන්නේ 1994 තිබූ නීතියයි. එය හුදෙක් නීති විහි`ථවක්ම පමණක්ම වනු ඇත.

ඔවුන්ගේ සුරංගනා කතාවෙන් මිදී මහපොළවේ පය ගැසූ විට මේ ගැන කියන්නට තවත් පදනමක් ඇති කතා කීපයක් ඇත. ආණ්ඩුක්රම ව්යවස්ථාව ම කියන අතීතයට බලපාන නීති කතාව මෙසේය. පුද්ගලයෙක් යමක් කරන විට නොතිබූ නීතියක්, පසුව පනවනු ලදුව ඒ නීතිය මත පිහිටා පෙර කරන ලද හෝ නොකර හැරීමක් ගැන දඩුවම් දීමට හෝ වෙනත් ක්රියාමාර්ගයක් ගැනීම නොකළ යුතුය යන්නයි. මෙසේ සිදු වූවා නම්, ඒ කතාව මේ කතාව හා ගැලපෙන්නට ඉඩ තිබිණි. එනම්, යමෙක් තුන්වෙනි වරටත් ජනාධිපති වී මාස කීපයක් ගෙවී ගොස් ඇතැයි සිතමු. එවැනි පසුබිමක දෙවාරේ සීමාව සම්මත කොට ඒ මත පිහිටා ධුරය දරන ජනාධිපති පළවා හැරීම සිදු කර නොහැකිය. එසේම, ඒ ජනාධිපතිවරයාට වුවත්, දැන් නීතිය කුමක් වුවත් මම ජනාධිපති වුණේ සීමා රහිත වරමක් හිමිව තිබූ කාලයේ නිසා සිව්වෙනි වරටත් ජනාධිපති විය හැකි යැයි කියා සිටීමට ද හැකියාවක් නැත. (නමුත්, ඒ ගැන ද අන්තර්කාලීන විධිවිධානයක් ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතුය. මෙතැන එවැන්නක් ද නැත.)

තවද, කවරාකාරයකින් හෝ මේ ප්රශ්නය ශේෂ්ඨාධිකරණය ඉදිරියේ විෂයයක් වුවහොත්, උපරිමාධිකරණය මෙම කරුණ අර්ථ නිරූපණය කරන්නේ පරමාර්ථ රීතිය මුල් කරගෙනයැයි පෙරයීම් කළ හැකිය. එහෙයින්, 19 වැනි සංශෝධනය සම්මත කිරීමේ දී ව්යවස්ථාදායකයේ පරමාර්ථය වූයේ කුමක්දැයි යන්න පැහැදිළි කර ගැනීමට ඔවුන්ට සිදු වනු ඇත. එය පැහැදිලි කර ගැනීමට අමුතුවෙන් මහන්සි විය යුතු නොවේ. හැන්සාර්ඞ් වාර්තාව කියවන කල්හි එය අහුලාගත හැකි වේ. ඔවුන්ගේ මුඛ්ය පරමාර්ථය වූයේ 18 අහෝසි කිරීම හා තවත් සුබවාදී ප්රතිපත්ති කීමයක් මූලික නීතියේ සෙවණ යටට ගෙන ඒමය. ඉන් ද, හීන දකින කවරෙකුට වුව ද තෙවරක් ජනාධිපති වීමේ වරමක් නොමැති බැව් ප්රත්යක්ෂ වේ. මේ කතාවේ මේ තරම් පටලවා ගන්නටවත් දෙයක් නැත. සරල කතාව මෙපමණයි. මින් පෙර දෙවරක් ජනාධිපති වී සිටි කෙනෙකු ජනාධිපති කරගැනීමට 2015 මැයි 15 වැනිදායින් පසු ශ්රී ලංකා ජනරජයට හැකියාවක් නැත. ඒ අනුව, චන්ද්රිකා කුමාරතුංගට හෝ මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් විය නොහැකිය. 2015 ජනපති ඡන්දයට වුවමනා නම් චන්ද්රිකා කුමාරතුංගට ද ඉදිරිපත් වීමට හැකියාව තිබිණි. නමුත්, දැන් තත්ත්වය අනුව එම ධුරය හෙබවූ හෝ හොබවන අය අතරින් එවැන්නක් කළ හැක්කේ වත්මන් ජනාධිපතිවරයාට පමණි.

මහින්දගේ තුන ගැන කතාව එසේය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තමන් දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද යන්න තවමත් ඇත්තේ ප්රශ්නාර්ථයක් මුල් කරගෙනය. කවුරුත් එවැන්නක් අපේක්ෂා කළ ද, ඒ ගැන හරියටම ජනාධිපතිවරයාගේ පුද්ගලික මතය දැන ගන්නට ලැබෙන්නේ ලබන වසරේ ජනවාරි 8 වැනිදායින් පසුවය. නියතවම, එය ලබන අවුරුද්දේ ඔක්තෝබර් මැද හරියේ දැන ගන්නට හැකියාව ලැබෙනු ඇත. ඔහුට එය කීමට සිද්ධ වේ. ඒ දෙක ගැන මෛත්රීගේ අභිලාෂය ගැන කතාවයි.

ඉතින්, දැන් අප කුමක් කළ යුතුද. දැන්වත්, එළුවා පස්සේ දුවන හිවළා වාගේ දේශපාලනික නොලැබීමක් පසුපස දිවීමේ නිශ්ඵල වෑයම අත්හැර දැමිය යුතුය. මහින්ද මහත්තයා ජනාධිපති කිරීම, මහින්ද මහත්තයා අගමැති කිරීම, මහින්ද මහත්තයාගේ මිනිස්සු සභාවට දැක්කීම සහ ඉනික්බිත ආයේ කරළියට පැමිණි මහින්ද මහත්තයා 2020 ජනාධිපති කිරීම ආදී ආහාර දාමය මෙන් නොනවතින මේ මිරිගු පස්සේ දිවීම අපටවත් රටටවත් ඵලක් නැති බැව් අප වටහා ගත යුතුය. රටක ජනතාවගෙන් සැලකිය යුතු පංගුවක් පිස්සුවෙන් මෙන් ඒ මේ අත දුවද්දී, එහි ප්රතිඵලයක් ලෙස ආණ්ඩු කරන්නේ දිවීම නතර කිරීමය. මොකද, ආණ්ඩු වල දිවීම් නැවතීම් ගැන ජනතාවට නිච්චියක් නැති නිසා කම්මැලිකමේ පැත්තකට වී සිටීම ආණ්ඩුවේ ඇගට හොඳය. ආණ්ඩු ඊට කැමතිය. මිනිස්සු කාලයක් තිස්සේ මහත්තයෙක් පස්සේ දුවා අවසන නැවතී ආපසු හැරී බලන විට මහත්තුරු එහි නැති වනු ඇත. එපමණක් නොව, ජනතාව තමන් සමග නැති කමේ වෛරය පිරිමැසීම නිසා ආණ්ඩු විසින් වැඩ නොකර හැරීම නිසා රටට ද වෙච්ච දෙයක් නැති වීමේ අවධානමක් ඇත. ජනතාවගේ ඉලක්කය ඵලරහිත බව ආණ්ඩු දැනගන්නට දැනගන්නට මේ තත්ත්වය ඉහළ යයි.

ජනතාව පාලකයින් හා නායකයින් සෙවීම ඡන්ද කාලයට පමණක් සීමා කළ යුතුය යන්න අපේ හැගීමයි. එතෙක් ඉන්නා පාලකයින් හා නායකයින් සමග වැඩ කරමින්, ආණ්ඩුවලින් හා පාලකයින්ගෙන් තමන් වෙත ලැබෙන ප්‍රතිලාභ ලබා ගැනීමට දක්ෂ විය යුතුය. ජනතාව ආණ්ඩු සමග කෘතඥ හා සහයෝගී සබඳතාවක් පවත්වාගෙන යා යුතුය. ආණ්ඩු ලවා ජනතාවට වැඩක් කරගත හැක්කේ එවිටය. ජනතාව ලෙස අපේ ප්‍රමුඛ අරමුණ හෙවත් අරමුණු අතර එක ට තිබිය යුත්තේ එයයි.

🖋 Bharatha Prabhashana Thennakoon
📰 Resa Newspaper - රැස පුවත්පත

No comments: