Monday, September 24, 2018

රාජපක්ෂලාගේ මීඩියා ෆෝබියාව හා මාෆියාව...



අර්ථ නිරූපණ වගන්තිය

මින් මතු මේ ලියවිල්ලේ රාජපක්ෂලා යන්නට මහින්ද රාජපක්ෂ ද සෙසු සහෝදර-මිත්‍ර-පුත්‍ර රාජපක්ෂලාද පමණක් නොව උපතින් රාජපක්ෂලා නොවූවත් රාජපක්ෂලා සරණ යෑමෙන් රාජපක්ෂලා බවට භෞතීස්ම වී සිටින්නා වූ වීරවංසලා ගම්මන්පිලලා අලහප්පෙරුමලා අලුත්ගමගේලා පීරිස්ලා යනාදී වශයෙන් හැටහුට හමාරක් වූ කුල සංක්‍රාන්තියට ලක් වූවො අර්ථ දැක්වෙන බැව් පළමුවෙන්ම කිව යුත්තේය.

පූර්විකාව

රාජපක්ෂලාගේ මූලිකත්වයෙන් පසුගිය සතියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රුපියල බාල්දු වීම ගැන ආර්ථික විශ්ලේශනයක් කරන්නට ගිය ඔවුහු රුපියලටත් වඩා බාල්දු වූ බැව් දකින්නට ලැබිණි. මාධ්‍යවේදියා නක්කලේ-රිද්මයෙන් රාජපක්ෂලාට කුචි කවත්ම එතෙක් පොරවාගෙන සිටි විනයවත් ශිලාචාරවත් හා සංසිදුණු හැසිරීම සම්පූර්ණයෙන්ම ඔවුන් කෙරෙන් ගිලිහී ගියේය. මුලසුනේ සිටි මහින්ද රාජපක්ෂ මහතා ඥැංඥැං ගාමින් තතනමින් වචන ගලපන්නට වෙර දරත්ම සෙස්සෝ චැයිචැයි ගා සභාව ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්තේය. මේ ව්‍යාකූලභාවය ඇති කරන්නට සමත් වූ මාධ්‍යවේදී කසුන් සමරවීරගේ ප්‍රශ්නය වූයේ, ඔක්කෝම මතක ඔබට කීත් නොයාර් මතක නැද්දැයි යන්න පමණි. ඒ ප්‍රශ්නය ඔවුහු මොනතරම් නම් කලබල කළේදයත්, දෙක බෙදීම දෙක බිංදුව යැයි කී විමල් වීරවංශට ආර්ථික විශ්ලේශනය භාර දී හිටපු මහබැංකු අධිපතිලා හිටපු මුදල් ඇමතිලා කට පියාගත්තේය.

සියල්ල අවසන ජාමේ බේරාගන්නට බලාගෙන මාධ්‍යවේදියෝ කථිකයින්ගෙන් ප්‍රශ්න ඇසීම වෙනුවට කථිකයෝ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න අසන්නට පටන් ගත්තේය. අහවල් දා උදේට කෑවේ මොනවාද මතකද., ඔයාගේ නාලිකාව මොකද්ද ආදී ඒවා දමා ගැසුවේ යමෙක් අසනා ප්‍රශ්න අසනා විට ඒවාට උත්තර දීමට නොහැකි වී හිර වූ විට පස්ස හැරී සරම උස්සා ඉදා බලාගනිං යැයි නින්දා කර සිත් වේදනාව තුනී කර ගැනීම හා සමාන වෑයමකි. එය එක කදවුරකට ආශ්වාදජනක වූවත් මැදිහත් සිතින් බලාසිටින්නන්ට නම් ඇති කරන්නේ ජුගුබ්සාජනක හැගීමකි.

කතාව

කතාව මෙසේය. රාජපක්ෂලාගෙන් ප්‍රශ්න කරන්නට සමත් අයෙක් මේ මිහිපිට නැතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි. සිය කදවුරේ ඉන්ටර්ෆෙස් නායකයා වන අපගේ ගුරුදේවෝත්තම මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමාගේ සිට ආගන්තුකව පැමිණෙන මාධ්‍යවේදීන් හා පාක්ෂිකයින් දක්වා වන සියලු දෙනා කළ යුත්තේ ඔවුන්ගේ දේශනාව සාවදානයෙන් අසා සිට සරණ යාම හා අවසනුව සාධුකාර දී සිත් ප්‍රමෝදමත් කිරීම පමණි. එය එසේ නම් මෙය මෙසේ වන්නේ කෙසේ දැයි අසන්නට නොහැක. මෙය මෙසේ නොවන්නේ නම් එය එසේ නොවන්නේ කෙසේදැයි අසන්නට හයියක් තිබිය නොහැක. එසේ අසන්නෝ සියලු දෙනා දේ‍රා්හීන්ය. ඔවුහු විරුද්ධවාදීන්ය. තව ටිකක් දුරට ගිය විට ඔවුහු දේශදේ‍රා්හීන් හා එන්ජීඕ කාරයින් වන්නේය. ඩොලර් කොලයක් ඇසින්වත් දැක නැති වුවත් ඩොලර් කාක්කන් බවට හංවඩු ගැසෙන්නේය.

එහෙයින්, ඔවුන්ගේ දෘශ්ඨිවාදයට අනුව නම් ඒ දහම ප්‍රචාරය කරන මාධ්‍ය නාලිකා සිරාම මාධ්‍ය ආයතනයන්ය. ඒ දහම දේශනා කරන මාධ්‍යවේදියෝ පට්ටම ජර්නලිස්ට්ලාය. ඒවා අසා සැණසෙන ශ්‍රාවකයෝ පාඨකයෝ මාරම මීටර්ය. බුද්ධිමත්ය. ඉන් පරිභාහිරව ප්‍රශ්න කරන්නෝ මෝඩයෝය. තක්කඩියෝය. බූරුවෝය. මීඩියා දන්නැති ගොබ්බයෝය. ඒ මාර බව හෝ ගොබ්බ බව තීන්දු කරන්නේ එක්තරා සංසදයක් විසිනි. ඒ සංසදය රාජපක්ෂ සංසදය නම් වන්නේය. එහි මූලස්ථානය ඇත්තේ විජේරාමයේය. සර්වතෝභද්‍ර රාජපක්ෂොත්තමයන් වහන්සේ කුමක් කියද්ද පරම ලෝක සත්‍යය එයම වන්නේ යැයි යනුවෙන් පිළිගන්නෝ පමණක් මිහිපිට යහතින් වැසිය යුත්තේය. සෙස්සෝ මකබෑවී යා යුතුය. පාරේ යන විට කෝච්චියට බස්එකට හැප්පී සුන්නද්ධූලි වී යා යුතුය.

ඒ අනුව, මේ ධර්මය වැළදගත් රාජපක්ෂ අනුගාමිකයෝ ඒ දහම පණ දෙවෙනි කොට රකිති. ලේක්හවුස් බිල්ඩිම ඉදිරිපිට ලයිට් කණුවේ එල්ලී වැණෙන්නේ ඒ අනුගාමිකයෝය. කාර් එකේ යන නායකයින්ට හුරේ දමමින් පපුවේ රුදාවට බෙහෙත් බොමින් සිටියදී වුව පාරවල් ගාණේ ඇවිද ගොස් අවසානයේ දිවි දෙන්නේ ඒ නිසාය. ඒ අතින් ගත් කළ, සිය ජාතියේ එකම ගැලවුම්කාරයා යැයි විශ්වාස කරන ප්‍රභාකරන්නේ කියමනට අනුව සයනයිඞ් කරලක් බෙල්ලේ එල්ලාගෙන තුවක්කුවක් රැගෙන සටන් පෙරමුණට එන ළමා සොල්දාදුවෙකුගෙන් ඔවුහු වෙනස් වන්නේ කෙසේ දැයි යන්න බරපතල ප්‍රශ්නයකි. එහි ඇති එකම වෙනස ඔවුහු දෙමළෙන් කියන දේ මොවුන් සිංහලෙන් කීම පමණක්මය. ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුවද සූදානම්ය. ඒ වෙනුවෙන් අඹු දරුවන් පසෙකලා සටන් පෙරමුණකට වුවද යන්නට සූදානම්ය. නමුත්, සිය නායකයින්ගේ දේශනාව හා භාවිතාව සම්පූර්ණයෙන්ම එකිනෙකට පටහැනි බැව් දෙමළා යුද්ධයට දක්කා තමා සැප විදි ප්‍රභාකරන් විසින්ද, පාක්ෂිකයා මාරාන්තික උපවාසයට දක්කා තරු පහේ හෝටල් වල රාත්‍රී භෝජනය භුක්ති විදි රාජපක්ෂලා විසින්ද ඔප්පු කර ඇත. නන්දිකඩාල් කළපුවේදී දෙමළා තේරුම් ගත් මේ යථාර්තය කවදා හෝ අන්ධ භක්තියත් අමූලිකා ශ්‍රද්ධාවත් පෙරටුකරගත් මේ අනුගාමිකයෝද පිළිගනු ඇතැයි යන්න පමණක් කිව හැකිය.

කීත් නොයාර්ලාට ලසන්ත වික්‍රමතුංගලාට පොද්දල ජයන්තලාට අත තැබූ අයට අත තබන්නට ආණ්ඩුව අසමත් වූ බව ලෝකව්‍යාප්ත සත්‍යයකි. එසේ වීමට හේතුව අරකයැයි මේකයැයි කියා කප්පරක් ඒවා කීවාත් ආණ්ඩුව ඒ ගැන ක්‍රියාකළ ආකාරය නම් ඇත්තේ කණගාටුදායක පරිසාධන මට්ටමකය. ඔවුනොවුන්ගේ උරමතින් බලයට ආ ආණ්ඩුවට ඔවුහු අමතක වන්නේ නම්, ඔවුන් නිසා ආණ්ඩු බලය අහිමි වූ අය ඒ අයගේ නම් ගම් තවමත් මතක තියාගෙන සිටින්නේ ඇයි දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පහර මතක තියා ගත යුත්තේ ගුටි කෑ එකා හෝ ඔහුගේ කදවුර මිස, පහර දුන් එකා හෝ ඔහුගේ කදවුර නොවේ. ආණ්ඩුවේ මේ දුර්වලතාවය විසින් රාජපක්ෂලාගේ මාධ්‍ය මාෆියාව භාවිත වීම ශක්තිමත් වී ඇත.

අනෙක් අතට ආණ්ඩුවද ජනතාව ගැන සිතා සිටින්නේ රාජපක්ෂලා ජනතාව ගැන සිතා සිටින ආකාරයට වඩා ලොකු වෙනසකින් නොවන බැව් වැටහේ. අද වන තෙක් ඉන්ධන මිල සූත්‍රය කවරක්දැයි ජනතාව දන්නේ නැත. ඩොලරයට වී ඇති වින්නැහිය කුමක්දැයි ජනතාව දන්නේ නැත. අනෙක් ඒවාද එසේමය. එවන් පසුබිමක, ආණ්ඩුවේ කවුරුන් හෝ කියන ඕනෑම කෙප්පයක් සාදුකාර දෙමින් ජනතාව සරණ යතැයි ඔවුන්ද සිතා සිටියි. රාජපක්ෂලාගේ දේශප්‍රේමී මුසාවාද, ආණ්ඩුවේ ආර්ථික විශ්ලේෂණ ප්‍රලාපයන්ට වඩා ජනතාවට හොදින් තේරෙන නිසා ජනතාව මේ පැත්තට වඩා ඒ පැත්ත තෝරා ගනියි. ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුත්තේ ආණ්ඩුවයි.

අවසනුව,

යටකී කදවුරට හුරු පුරුදු දේශපාලන භාවිතය නම් එහෙයි හාමුදුරුවනේ දේශපාලනයයි. විචාර බුද්ධියක්, විශ්ලේෂණයක්, ධනාත්මක හෝ ප්‍රගතිශීලී විවේචනයක් රිස්සීමට ඔවුහු අකමැතිය. එහෙයින්ම කටට එන මොකක් හරි දෙයක් අතහැර දමා බැඩක් බලා ගන්නට ඔවුන් පුරුදු වී සිටියි. මේ පුරුද්ද සමස්ත ජාතියේම පුරුද්ද බවට පත් කිරීම ඔවුන්ගේ වෑයමයි. රුපියල රැකගන්න බැරිනම් මට ආණ්ඩුව දියං, පාරේ ට්‍රැෆික් අඩු කරන්න බැරිනං ආණ්ඩුව මට දියං ආදී වශයෙන් කරන ඉල්ලීම් දේශපාලනික ප්‍රකාශ නොව, රස්තියාදුකාරයින්ගේ හෙයියන්පාර්ට් බැව් අප සිහියේ තබාගත යුතුය. මේ රස්තියාදු ප්‍රකාශ වලට න්‍යායික වටිනාකමක් ලබා දී ඒවා සීරියස් කිරීමේ වගකීම භාරගත් වැටුප් ශ්‍රමික උගතුන්ද කීප දෙනෙක් ඒ කදවුරේ ගාල්කර ඇත. ඔවුන්ට පැවරී ඇති රාජකාරිය නම් මේ රස්තියාදුකාරී තක්කඩි ප්‍රකාශ වලට ඩිප්ලොමැටික් වටිනාකමක් ලබා දීමය. ඒ අනුව, මෙසේ කරන නිර්මාණයේ අවසන් ඵලය දාර්ශනික මතවාදයක් ලෙස ප්‍රචාරය කිරීම ඔවුන් මාධ්‍ය තුළින් අපේක්ෂා කරයි. එසේ කරන අය දේශශක්ති, දේශකීර්ති, දේශාභිමානී නාලිකා වන අතර අනෙක් ඒවා හමුවේ, හ:හ්හ:හ්හ: ගා වියරුවෙන් මෙන් සිනාසෙයි.

රටක් ලෙස දැන්වත් මේ රාජපක්ෂලාගේ මීඩියා මාෆියාව හා රාජපක්ෂලාගේ මීඩියා ෆෝබියාව හේතු සහිතව හරිහැටි තේරුම් ගත යුතුය. ඒ ඒ නාලිකා හෝ පත්තර හෝ ඒ නිසි අවබෝධය ඇතිව පරිශීලනය කළ යුතුය. එවිට ප්‍රවෘත්ති පෙළගැස්ම, වොයිස්කට් වල දිග පළල ආදිය ගැණත් හොද අවබෝධයක් ලබා ගත හැකිය. එසේම, මේ යථාර්තය ජනතාවට කියා දීම අප සියලු දෙනාගේ වගකීමයි.

Bharatha Prabhashana Thennakoon
Resa Newspaper - රැස පුවත්පත

Monday, September 17, 2018

වියළි ගම් බිම් වලට ඉහළින් වැහි වළාවක සේයාව දුටුවෙමි..


මේ අප පසු කරමින් සිටින්නේ මෑත ඉතිහාසයේ දරුණුතම නියං සමයකි. ගොවි බිම් වලට වැස්ස නොවැටුණු කාල පරිච්ඡේදය ගණන් තබන්නේ එක්කෝ කන්න වලිනි. නැතිනම්, අවුරුදු වලිනි. මිනිසුන් ඉන් උපන් පාඩුව ගණන් තබන්නේ දහස් දසදහස් නොව ලක්ෂ වලිනි. රජරට ඇතුළු වැව් ගම්මාන වල වෙනදාට නිල් පාට මහා සාගර සේ පෙණෙන මානයට දිස් වුණු වැව් අමුණු ඇළ දොළ ගංගා දැන් පෙණෙන්නේ සහරා කාන්තාරයේ වල ගොඩැලි වාගේය. සියවස් ගණනකින්වත් දිය සීරාවක් නොදැණුනා වාගේ පෙණුමකි. මිනිසුන්ද සතුන්ද පමණක් නොව ගහකොළ පවා වියළි බව දරාගත නොහැකිව කේඩෑරී වී ගොසිණි. සියල්ලෝම පාහේ කිසි වෙනසක් නැතිව දියපොදක් සොයා එහෙ මෙහේ දුවති. පසෙකින් පිපාසාවද, පසෙකින් ග්‍රීස්මයද, තවත් පසෙකින් ණය තුරුස්ද තමත් පසෙකින් නැතිබැරි අගහිගකම්ද ඉහළින් ගිණි ගහන සූර්යයාද පහළින් ඉරිතැළුණු මහපොළවද වටකර ගත් ජනපදිකයෝ සිය දුක දෙවියන්ට කියමින් කල් ගෙවති.

අහසින් වැටෙන දිය රැස් කර ගැනීමේ අභිප්‍රායෙන් පෙර දවස ඉදිකළ වැව් අමුණු නිසි ලෙස නඩත්තු නොකිරීම නිසාද, ප්‍රතිසංස්කරණ මුවාවෙන් වැලි පස් ගස් විකුණාගෙන ප්‍රතිසංස්කරණ අතරමග දමා ගිය ඉතිහාසයක්ද හිමි මේ වැව් අමුණු අද පිටිටනි බවට පත්ව තිබේ. අහසින් වැහි වැටෙනවාට වඩා වේගයෙන් පොළොවෙන්ද අහසින්ද ඒ දිය උදුරා ගනියි. පුංචි සුළගටත් දූවිලි කුණාටු ඇති වෙන තරමටම වියළී ගොස් ඇති වැව්, කුමන මොහොතක හෝ දිය ගැබ පිරෙන්නට වතුර වැටෙනතුරු බලා සිටියි.

පෙර රජ දරුවන් විසින් ඉදිකළ ඉපැරණි එල්ලංගා වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් එල්ලංගා තාක්ෂණයට යළි පණ දීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ මෙවන් පසුබිමකය. වියළි කලාපය පුරා පැතිරී ඇති වැව් හා වාරි පද්ධතිය උපරිම ජල කළමණාකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව, මේ යටතේ එසේ යළි පණ ගසන එල්ලංගා වැව් ගණන දහසකි. ඊට අදාල මූලික පියවර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය දුණුමඩලාව ගමේ බැලූ බැල්මට වැවක්දැයි සිතා ගන්නටවත් නොහැකි, නමුත් ගොවි බිම් හා ගොවි පවුල් විශාල සංඛ්‍යාවකට ජල අවශ්‍යතාව සැලිරී නබඩගස්දිගිලිය නම් වැවෙන් ඇරඹීමට යෝජිතය. මෙහි තාක්ෂණික හා මෙහෙයුම් දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරන අතර ඊට අවශ්‍ය මුල්‍ය පහසුකම් හා සෙසු ප්‍රතිපාදන ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතියක් වන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන විසින් සපයනු ලබයි. වැව් තෝරා ගැනීමේ දී තාක්ෂණික හා විෂය ප්‍රාමාණිකයින්ගේ අදහස් හා යෝජනා මෙන්ම ප්‍රජාවගේ ඉල්ලීම් වලටද කන්දීමට තීන්දු කොට තිබීම මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වයකි.

කෙසේ නමුත්, මේ තරම් ප්‍රශ්න තිබියදී වැව් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම හෝ වතුර ගැනම වැඩි අවධානයක් යොමු කරමින් ජනාධිපතිවරයා වෙහෙස වන්නේ ඇයිදැයි යම් අයෙකුට සාධාරණ ප්‍රශ්නයක් ඇතිවෙන්නට පුළුවන. ඒ කිසිවෙතක් නොසිතනා දේ නම්, එකී මොන ප්‍රශ්නයටත් වඩා වැඩි කල් නොගොසින්ම වතුර ප්‍රශ්නය මේ රටේ පමණක් නොව මුළු මහත් ලෝකයේම ප්‍රධානතම හා බයානකම ප්‍රශ්නය වන බවයි. දේශගුණික විපර්යාසයන්, ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම, භූගත ජලමට්ටමේ පරිභෝජනය සීඝ්‍රයෙන් වැඩි වීම, වනාන්තර එළිපෙහෙළි කිරීම හා ජනගහන වර්ධනය වැනි නානාප්‍රකාර කරුණු හේතුවෙන් මුළු මහත් ලෝකය පුරාම ජල සම්පත අවධානමකට ලක්ව තිබේ. එවන් තත්ත්වයක අනාගත අනතුර කල්තබා දැක ඒ වෙනුවෙන් ලකලෑස්ති වීම දුර දක්නා නායකයකුගේ ලක්ෂණයක් පමණක් නොව වගකීමක් හා යුතුකමක්ද වන්නේය. මෙරට වැව් වල නිසි ජල ධාරිතාව රඳිවා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට පුරන් වී ඇති කුඹුරු ප්‍රමාණය ඉතා විශාලය. ඊට අමතරව සිදු කෙරෙන ගොඩ බෝග හා විකල්ප බෝග ආදියේ වගා කටයුතු හා උපරිම අස්වැන්න ලබා ගැනීම සම්බන්ධයෙන් නිසි පරිදි ජලය නොලැබීම හා වැව් වලින් අපේක්ෂා කරන ජල ධාරිතාව හිමි නොවීම ප්‍රධාන ගැටළුවක් ලෙස උද්ගතව තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සෙසු කුදුමහත් දෛනික ගැටළු සියල්ලටම වඩා ජල ගැටළුව කෙරෙහි වැඩිම අවධානයක් යොමු කරමින් වැඩ කරන්නේ මේ නිසාය.

යෝජිත වාරි පද්ධති ප්‍රතිසංස්කරණය යටතේ යළි පණ ගැසෙන එල්ලංගා වැව් ගැනද සුවිශේෂී කතාවක් ඇත. එකින් එක එක ළග එල්ලුණු වැව් යන අර්ථ ගැන්වෙන එල්ලංගා වැව් පද්ධතියක සාමාන්‍යයෙන් වැව් අටත් එකොළහත් අතර ප්‍රමාණයක් එකිනෙක බැදී පවතියි. මෙම පුරාණ තාක්ෂණය එක්දහස් නවසිය හැට හැත්තෑව තරම් ඈත කාලයේදීම විශේෂිත උරුමයක් ලෙස පිළිගෙන ඇත. උතුරු, උතුරුමැද හා වයඹ යන පළාත්වල පමණක් මෙවැනි එල්ලංගා පද්ධති එක්දහස් දෙසිය පණහකටත් වැඩි ප්‍රමාණයක් පවතින බව දැනට හදුනාගෙන ඇත. අනෙක් අතට එල්ලංගා පද්ධතියක් යනු වතුර පිරවූ වැව් කිහිපයක් පමණක්ම නොවේ. මෙම එල්ලංගා පද්ධති ආශ්‍රිතව ගොඩනැගී තිබුණු සමාජ ආර්ථික හා දේශපාලනික උපසංස්කෘතිකද ඉතාම වැදගත් එකකි. වාරි පද්ධතිය වඩා ගොවිතැන මූලික කර ගත් උප ව්‍යාපෘතීන් හා වෙනත් වෘත්තීන් ගණනාවක් පෝෂණය විය. ඒ හරහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් විය. මෙම පද්ධතිය වටාම නිෂ්පාදන සිදු වූ අතරම ඒවාගේ වෙළදපොළද ඒවා වටාම නිර්මාණය විය. එල්ලංගා පද්ධතියක් වටා ඇති ගම්මාන ආර්ථිකයෙන්ද බවබෝගාදියෙන්ද පොහොසත් හා සරුසාර එකක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අයුරින්ම මෙම ව්‍යාපෘතිය මගින්ද ජනාධිපතිවරයාගේ අදහසක් අනුව ආරම්භ වූ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපෘරය තුළින් මෙවැනි උප ව්‍යාපෘති හදුන්වාදීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා යළිත් මේ වෙර දරන්නේ ඒ පුරාණ සශ්‍රීක තේජස ඒ ගම්මාන වල වැසියන්ට ලබා දීමටය. මෙම වාරි පද්ධති ආශ්‍රිතව කෘෂිකර්මාන්තයල ධීවර කර්මාන්තයල සංචාරක කර්මාන්තයල වැනි විවිධ අංශ යටතේ ජීවනෝපාය මාර්ග ඇතිවේග ඒ අනුව ග්‍රාමීය වාරිමාර්ග ප්‍රශස්ත මට්ටමට ක්‍රියාත්මක වීම තුලින් එම වාරිමාර්ගවල ප්‍රතිලාභ ලබන ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සිදුවන අතර එමඟින් දිළිදුකම පිටුදැකීම මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත්වීම ද සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන තුළින් අවසනුව අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ඉන් ප්‍රධානය’ එසේම, භූගත ජල මට්ටම ඉහලට ගෙනයාම, කෘෂි කාර්මික අංශයේ නිෂ්පාදන වර්ධනය කිරීම, මිරිදිය ධීවර කර්මාන්තය වර්ධනය කිරීම, ග්‍රාමීය මට්ටමින් සංචාරක කර්මාන්තය ආශ්‍රිත ජීවනෝපාය මාර්ග ඇති කිරීම, ප්‍රජාවගේ සහ වන සතුන්ගේ ජල හා ආහාර අවශ්‍යතා සම්පූර්ණ කිරීම කෙරෙහිද මෙම ව්‍යාපෘතියේ වැඩි අවධානයක් යොමුව තිබේ. දිළිදුකම පිටුදැකීම කෙරෙහි ස්ථීරසාර විසදුමක් ලබා දෙමින් අදාල ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය ඉහල දැමීමද දීර්ඝ කාලයක් තිස්සේ ගොවි ගම්මාන වල ජනතාවගේ මැසිවිල්ලක් වන ප්‍රජාව හා වනසතුන් අතර පවතින ගැටුම් හීන කිරීමද මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණකි. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස දළ ජාතික නිෂ්පාදනය ඉහලයාම සිදුවනු ඇති අතර එහි වාසිය සමස්ත ජාතියටම භුක්ති විදීමට හැකිවනු ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා එම මැතිවරණයට ඉදිරිපත් කළ තමාගේ වැඩපිළිවෙල තුළ, මහ වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කර ගැනීමට ද දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට ද උපකාරී වන පරිදි ඇහිරී ඇති වාරි පද්ධති යළි ප්‍රතිසංස්කරණය කිරීම හා ගොඩ වී ඇති වැව් වල රොන් මඩ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන්නෙමි”යි සදහන් කර තිබිණි. තවද, එහිම, කුඩා වැව් නඩත්තු කිරීමේ හා පරිපාලනය කිරීමේදී රජයට ඇති වගකීම හදුනාගනිමින් ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයන බවත් දේශීය සම්පත් මත පදනම් වූ ගොවිතැන ආරක්ෂා කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කරන බවත් සදහන් කළේය. ඒ අනුව, කී දේ කරන නායකයකු ලෙස දිවයින පුරා වියළි බිම් බවට පත්ව ඇති ගොවිබිම් දියෙන් තෙත් කරමින් සශ්‍රීක මහපොළවක්ද පොහොසත් ගොවියෙක්ද නිර්මාණය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා දරන මේ ප්‍රයත්නය අප විසින් අගය කළ යුතුය.

Bharatha Prabhashana Thennakoon
Resa Newspaper - රැස පුවත්පත

Monday, September 3, 2018

හැටහත් අවුරුද්දේ ප්‍රත්‍යාවලෝකනය..

ශ්‍රීලංකා එක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහත් වන සංවත්සරය ඊයේට යෙදී තිබිණි. 1951 වසරේ දී, එවකට ලංකාණ්ඩුවේ සෞඛ්‍ය හා පලාත් පාලන අමාත්‍යවරයාව සිටි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරණායක මහතා, සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී සිංහල මහ සභාවේ කටයුතු කළ දේශීය චින්තකයින් හා බණ්ඩාරණායක ප්‍රතිපත්ති සමග එක්ව ගමනක් යා හැකි පුද්ගල කණ්ඩායමක් හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවනු ලැබීය. පක්ෂයේ ප්‍රධාන කුළුණු පහ හෙවත් පක්ෂයේ පදනම වූයේ සග වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගයයි. එසේම, පක්ෂය සමාජ ප්‍රජාතාන්ත්‍රවාදී දේශපාලන භාවිතය හෝ වැඩි වාමවාදී නැඹුරුවක් හෝ සිය ජීවන රේඛාව කර ගත්තේය. නමුත්, කිසි විටෙක ඒ මත්තේම යැපීම පක්ෂයේ ප්‍රතිපත්තියක් නොවූ අතර ගෙවුණු හැටහත් වසර තුළ අවස්ථානෝචිතව සිය දේශපාලන දර්ශනය සංශෝධනය කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම්‍යශිලී හා උපක්‍රමශීලී විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවස්ථානෝචිත දේශපාලන හැසිරීම් සම්පූර්ණයෙන්ම පාහේ තීන්දු වූයේ ජාතික අවශ්‍යතාවන් අනුවය. රටට අනන්‍ය ලාංකේය සමාජ ආර්ථික දේශපාලන ගමනක ආරම්භය සනිටුවන් කිරීමෙහිලා පක්ෂයේ ආදිකර්තෘවර බණ්ඩාරණායක ශ්‍රීමතාණන් විසින් නායකත්වය දුන් 56 පෙරළිය තීරණාත්මක සාධකයක් විය. ඉනික්බිති, හැත්තෑවේ සමගි පෙරමුණු ආණ්ඩුවේ නායකත්වයෙන් ලංකාව ජනරජයක් බවට පත් වීම මෙන්ම අලුත් ආර්ථීක හා විදේශ ප්‍රතිපත්තියක් හඳුන්වාදීම මෙරට ඉතිහාසයේ කේන්ද්‍රීය හැරවුමකි. පුරවැසියාට ඉවසීම පුරුදු වුවත්, දේශපාලනඥයාට බලය ලබා ගැනීමට ඇති නොනිම් කලබලය නිසා හැත්තෑවේ ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩු පෙරළිය සමග අතරමග නැවතුණත්, අදද පශ්චාත් 77 ක්‍රමය විසින් නිර්මාණය කළ සමාජ ඛේදවාචකය අප හමුවේ පෙන්නුම් කරන්නේ, එදා ශ්‍රීලනිප තේරීමේ ඇති වටිනාකම හා දූරදර්ශී බවයි. 94-2001 පොදු පෙරමුණු ආණ්ඩුව, 2004-2015 සන්ධාන ආණ්ඩුව යන ඒවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොදු නාරටිය බවට පත් කර ගනිමින් නිර්මාණය වූ ආණ්ඩුය. යුද්ධයේ නිමාව, යටිතල පහසුකම් සංවර්ධනයේ කූඨප්‍රාප්තිය, ලෝකප්‍රජාවගේ විශ්වාසය තහවුරු කර ගැනීම, ආණ්ඩු යහපාලනය හා ප්‍රජාතාන්ත්‍රවාදය මූලික කරගෙන රට පාලනය කිරීමට හුරු කිරීම ආදිය ශ්‍රීලනිපයේ නායකත්වයෙන් රටට දායාද වූ දේ අතර සමහරකි. එපමණක් නොව, කුලල්කාගන්නා පක්ෂ දේශපාලනයට තිත තබා අදද සම්මුතිකව ආණ්ඩු කිරීම රටට හුරු කරන යහපාලන ආණ්ඩුවේද සර්ව සම හවුල් කරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කලින් කලට විවිධ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් සමග එක්ව ජාතියේ උන්නතිය වෙනුවෙන් රාජ්‍ය පාලනය මෙහෙයවීමට සමත් වූ එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණි. තනි පක්ෂයක් ලෙස රාජ්‍ය බලය ඇල්ලීම වෙනුවට, පොදු කණ්ඩායමක් ලෙස රාජ්‍ය පාලනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා සිටම වැඩි නැඹුරුවක් දැක්වූ බවට එය කදිම සාක්ෂියකි.

අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු අභ්‍යන්තරිකව මෙන්ම භාහිරවද මෙරට ඇති වැඩිම ප්‍රජාතාන්ත්‍රීය ගුණාංගයන් ආරක්ෂා කරන්නා වූ පක්ෂයයි. ඇතැම් පක්ෂ පවුල් භූදලයට, පාරම්පරික උරුමයට, වලව්වෙන් වලව්වට මාරු වෙද්දීද ඇතැම් ඒවා පණ නැසෙන තුරු නායකයින් නායකයින් ලෙසම පවත්වාගන්නට උත්සාහ කරද්දීද, අවස්ථානෝචිත උපක්‍රමයන් ලෙස පක්ෂයේ ඉහළ සිට පහළටම කිසි විශේෂයකින් තොරව සිය පාක්ෂිකයින්ට පක්ෂයේ වගකීම් වල අයිතිය ලබා දුන්නේ ශ්‍රීලනිපයයි. පොළොන්නරුවේ ඇල්බට් සිරිසේනගේ පුතාටත් හම්බන්තොට ඩී.ඒ. රාජපක්ෂයේ පුතාටත්, පක්ෂයේ නිර්මාතෘ හොරගොල්ලේ බණ්ඩාරණායකගේ පවුලේ අයට මෙන්ම පක්ෂයේ නායකත්වයට පත් වීමට දොරගුළු විවෘත වූයේ ඒ නිසාය. ශ්‍රීලනිපයේ බිහිවීම කොළඹින් සිදුවුවත් ශ්‍රීලනිපයේ හදවත තිබුණේ ඩාලිපාරේ, අරලියගහ මන්දිරයේ හෝ ජනපති මැදුරේ නොව, කොළඹින් සැතපුම් ගණනක් දුරින් පිහිටි ප්‍රත්‍යන්ත ජනපදවලය. ශ්‍රීලනිපයේ වැඩිම ඡන්ද පදනම ඇත්තේද පක්ෂ ප්‍රතිපත්ති කෙරෙහි වැඩියෙන්ම විශ්වාසය තබන්නේද ඒ වැසියන්ය. සුළු පිරිසක් දෙස පමණක් බැලූ ටයිකෝර්ට් දේශපාලනයේ ඇසට නොගැටුණු රටේ සාතිශය බහුතර කොටසට සරණ වූයේ රෙද්ද බැණියම ජාතික ඇදුම ගම පන්සල-පල්ලිය-කෝවිල පාසල විශ්වවිද්‍යාලය මුල් කරගත් සමාජ සාමූහිකයක් වූ ශ්‍රීලනිපයයි. ශ්‍රීලනිපය, සියලු ජාතිවල, ආගම්වල, කුලවල, පාටවල මිනිසුන්ට සෙවණක් දුන්නේය. ඔවුන්ට පක්ෂය තුළ හඩක් දුන්නේය. පනස් දෙකේ ඡන්දයේ දී ආසන නවයක් දිනා සිය ගමන ඇරඹූ පක්ෂය විධායක ජනාධිපතිවරුන් තිදෙනෙක්, අගමැතිවරුන් දස දෙනෙක් ඇතූළු රටට නායකත්වය දෙන, දුන් සහ දිය හැකි නායකයෝ සිය ගණනක් දසතින් නිර්මාණය කරමින් රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් බවට පත් වීමට සමත් වූයේ, මේ දුරදක්නා සහ නම්‍යශීලී ප්‍රතිපත්ති ශ්‍රීලනිපය විසින් අනුගමනය කළ නිසාය.

කෙසේ නමුත්, ඇතැම් කාලවලදී ආණ්ඩු බලය තිබියදී පවා පක්ෂය අමතක කර පුද්ගල කේන්ද්‍රීය දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක නොවූ බවද කිව යුතුය. පක්ෂ කාර්යාලයට කුඩම්මාගේ සැලකිලි දෙමින් තම නිවස මූලික කර ගනිමින් බලය නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂයේ ඇතැම් සැලකිය යුතු වටිනාකම් හා අගයන් යටපත් නොවූයේම නොවේ. පක්ෂයේ තාවකාලික භාරකාරත්වය ඉක්මවා ගොස්, සින්නක්කරයටම ලියාගන්න යත්න දැරූවෝ නැත්තේම නැත. අද, ශ්‍රීලනිපය සිය 67 වන ජන්ම දිනය සමරන්නේ මේ සෑම අභියෝගයක්ම උපේක්ෂාවෙන් දරාගෙන සිටි, දේවදාර මහා වෘක්ෂයක් මෙනි. බාධක කම්කටොළු කොතෙක් හමුවේ වුවද පක්ෂයේ ශක්තිමත් අඛණ්ඩ පැවැත්මට හේතුවද එයයි.

පසුදා උපන්, මෛත්‍රී

වත්මන් ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ගම්පහ යාගොඩදී උපත ලබන්නේ ශ්‍රීලනිපය ඉපදී පැය කිහිපයක් පමණක් ඉක්ම ගිය පසුවය. ශ්‍රීලනිපය නමැති ළදරුවා උපන්නේ යැයි රටපුරා පණිවිඩය යන විට, ඒ සතුටු පුවත සමග සිරිසේන පවුලේ කොල්ලෙක් උපන් බවත්, ඔහුට මෛත්‍රීපාල නමින් නම් තබන බවටත් වන පණිවිඩයද සතුටු පුවතක් ලෙස ගම්තුලානේ පැතිරිණි. ශ්‍රීලනිප උප්පත්තියෙන් එක් රැයක් ඇවෑමෙන් උපන් ඒ කුලකුමරුවා ඉන් වසර 64ක් ඇවෑමෙන් පක්ෂයේ ජයග්‍රාහී නායකත්වයට පත්වීම දෛවෝපගත සිද්ධියකි.

තරුණ මෛත්‍රී, පළමුව කොමියුනිට්ස් වාමවාදී දේශපාලනයත් දෙවනුව ඉතා කෙටි කළකින්ම මැදමාවතේ ශ්‍රීලනිපයේ දේශපාලනයත් සිය දේශපාලන දර්ශනය ලෙස තෝරා ගත්තේය. දිගුකාලීන අරගලයක හා මහපොළවේ දමාගත් ශක්තිමත් පාදමක ප්‍රතිඵලයක් ලෙස 89 පොළොන්නරුවේ මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තු එන මෛත්‍රී 94 උප ඇමතිකමකටත්, 97 සිට නේකවිධ ඇමතිකම් වලටත් හිමිකම් කීවේය. තරුණයෙක් ලෙස තරුණ ගැටළු ගැනත්, ගොවියෙක් ලෙස ගොවි ගැටළු හා කෘෂිකර්මය ගැනත්, ජාතික නායකයකු ලෙස මැතිවරණ, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික තෝරා ගැනීම්, ප්‍රතිපත්ති සම්පාදනය වැනි විෂයන් ගැන මෙන්ම පරිසරය, යුද්ධය, මනුෂ්‍යත්වය, ජාත්‍යන්තර සබදතා වැනි පුළුල්ව විහිදුණු විෂයන් ගැන කතා කිරීමට එදා සිටම නොපසුබටව මෛත්‍රී පාර්ලිමේන්තුවේ නැගී සිටියේය. පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ ජනාධිපති පුටුවේ වාඩි වන තෙක් ගෙවුණු 26 වසරේම ඔහු විපක්ෂයේ සිටියේ අට අවුරුද්දක් පමණි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනරජයේ ජනාධිපතිධුරයට පත්වන්නේ එදා මෙදා තුර ඇමතිකමකින් ඩබල් ප්‍රමෝෂන් ලබා ජනාධිපති වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද සාම්ප්‍රදායික හා දීර්ඝකාලීනව ස්ථාපිතව තිබූ පක්ෂයක් නොවන පක්ෂයක් නියෝජනය කරමින් එම ධුරයට පත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි. පක්ෂ දේශපාලනයට සින්න වී තිබූ රජකමේ වැඩවසම් අයිතිය බිද දැමුවේ, පොළොන්නරුවේ මෛත්‍රී ය.

ගහකොළ සතා සිව්පාවා, ඇළ දොළ ගංගා, වැව් කුඹුරු සමග හුස්මගත් මෛත්‍රී, සිය පාර්ලිමේන්තු ජීවිත කාලයෙන් වැඩි කාලයක් හා ශ්‍රමයක් කැපකළේ තමන් සමග හුස්මගන්නා තමන්ගේ පංතියේ තමන් වාගේම මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙනි. කොතෙකුත් බාධක තිබුණත් ගොවියාගේ කුඹුරට වතුර ටික රැගෙන යාමේ සිහිනය, අත්නොහළ වීර්යයෙන් යථාර්ථයක් කර ගන්නේ ඒ නිසාමය. සරුසාර ගොවිතැනක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, අතමිට සරු දිවිපෙවෙතක්, එදාවේල සංවර්ධනය වෙනුවට දුරදක්නා තිරසාර සංවර්ධනයක්, මත්ද්‍රව්‍ය දූෂණය භීෂණය නොමැති සාමකාමී හා සංසිදුණු රටක් යනු ඔහුගේ නිරන්තර අපේක්ෂාවයි. බලයත්, බලය වෙනුවෙන් කරන දේශපාලනයත් වෙනුවට මනුෂ්‍යයාත් මනුෂ්‍යත්වය වෙනුවෙනුත් කරන දේශපාලනයත් යන්න මෛත්‍රීගේ ප්‍රතිපත්තියයි. එය පොළොන්නරුවේ ඡන්ද කරද්දී මෙන්ම පොළාන්නරුවේ මන්ත්‍රීකම කරද්දීද ඔහු ඔප්පු කළේය. එසේම, අද ජනාධිපතිකම් කරද්දීද ඔහු එය ප්‍රත්‍යක්ෂ කරමින් සිටියි.

කෙසේ නමුත්, මෛත්‍රීගේ මේ උපන්දින සැමරිල්ල ගැන නම් අපට ප්‍රශ්නයක් ඇති බැව් කිව යුතුය. අද තමන්ගේ උපන්දිය බව ජනාධිපතිවරයාට ගණනක්වත් නැත. පාරවල් පුරා චිරං ජයතු, ශ්‍රී සුබ උපන්දිනයක් වේවා, රජුනි දිනේවා දිගුකල් වාගේ පුවරු නැත. අඩුම ගාණේ පත්තරවල, රූපවාහිනී වල රට කරවන රජුන්ගේ උපන්දිනය බවට වන පණිවිඩ නැත. උදේට දානයක්, දවාලට කාර්රේස් එකක්, සවසට පාටියක් සහ රාත්‍රියට සුපිරි පන්නයේ සංගීත සංදර්ශනයක් නැත. ජනපතිගේ උපන්දිනයට කියා ඇමතිලා නේකනේකවිධ උත්සව සංවිධාන කර නැත. මෙවැනි දියාරු වී ගිය උපන්දින සැමරිල්ලක් රජෙකුට ඔබින්නේ නැත යන්න බොහෝ රටවැසියන්ගේ හැගීමයි. මිනිස්සුන්ට තමන්ට ජනාධිපතිවරයෙක් ඉන්නා බවත්, ඔහු අපව පාලනය කරන බවත්, ඔහු මාර පොරක් බවත් හැගෙන්නේ රජ්ජුරුවන්ගේ උපන්දින කේක් ගෙඩියෙක් ඔළුවට ගැසූ විට පමණි. රට ගිලුණත්, ජනපති චූන් එකේ සිටිය යුතුය. එසේ නොවන්නෝ, නෝන්ජල්කාරයින් යැයි ජනතාවට සිතේ. එහෙයින්, මේ අවුරුද්දේ නැතත් ලබන අවුරුද්දේවත් රටට දැනෙන්නට උපන්දිනය සමරමුයැයි යෝජනා කරමි.

67 සමරන ආදරණිය පක්ෂයට සුබ පතමි. ජනපතිතුමනි, සුබ උපන්දිනයක් සර්.

Bharatha Prabhashana Thennakoon
Resa Newspaper - රැස පුවත්පත
2018-09-03