Monday, September 24, 2018

රාජපක්ෂලාගේ මීඩියා ෆෝබියාව හා මාෆියාව...



අර්ථ නිරූපණ වගන්තිය

මින් මතු මේ ලියවිල්ලේ රාජපක්ෂලා යන්නට මහින්ද රාජපක්ෂ ද සෙසු සහෝදර-මිත්‍ර-පුත්‍ර රාජපක්ෂලාද පමණක් නොව උපතින් රාජපක්ෂලා නොවූවත් රාජපක්ෂලා සරණ යෑමෙන් රාජපක්ෂලා බවට භෞතීස්ම වී සිටින්නා වූ වීරවංසලා ගම්මන්පිලලා අලහප්පෙරුමලා අලුත්ගමගේලා පීරිස්ලා යනාදී වශයෙන් හැටහුට හමාරක් වූ කුල සංක්‍රාන්තියට ලක් වූවො අර්ථ දැක්වෙන බැව් පළමුවෙන්ම කිව යුත්තේය.

පූර්විකාව

රාජපක්ෂලාගේ මූලිකත්වයෙන් පසුගිය සතියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රුපියල බාල්දු වීම ගැන ආර්ථික විශ්ලේශනයක් කරන්නට ගිය ඔවුහු රුපියලටත් වඩා බාල්දු වූ බැව් දකින්නට ලැබිණි. මාධ්‍යවේදියා නක්කලේ-රිද්මයෙන් රාජපක්ෂලාට කුචි කවත්ම එතෙක් පොරවාගෙන සිටි විනයවත් ශිලාචාරවත් හා සංසිදුණු හැසිරීම සම්පූර්ණයෙන්ම ඔවුන් කෙරෙන් ගිලිහී ගියේය. මුලසුනේ සිටි මහින්ද රාජපක්ෂ මහතා ඥැංඥැං ගාමින් තතනමින් වචන ගලපන්නට වෙර දරත්ම සෙස්සෝ චැයිචැයි ගා සභාව ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්තේය. මේ ව්‍යාකූලභාවය ඇති කරන්නට සමත් වූ මාධ්‍යවේදී කසුන් සමරවීරගේ ප්‍රශ්නය වූයේ, ඔක්කෝම මතක ඔබට කීත් නොයාර් මතක නැද්දැයි යන්න පමණි. ඒ ප්‍රශ්නය ඔවුහු මොනතරම් නම් කලබල කළේදයත්, දෙක බෙදීම දෙක බිංදුව යැයි කී විමල් වීරවංශට ආර්ථික විශ්ලේශනය භාර දී හිටපු මහබැංකු අධිපතිලා හිටපු මුදල් ඇමතිලා කට පියාගත්තේය.

සියල්ල අවසන ජාමේ බේරාගන්නට බලාගෙන මාධ්‍යවේදියෝ කථිකයින්ගෙන් ප්‍රශ්න ඇසීම වෙනුවට කථිකයෝ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න අසන්නට පටන් ගත්තේය. අහවල් දා උදේට කෑවේ මොනවාද මතකද., ඔයාගේ නාලිකාව මොකද්ද ආදී ඒවා දමා ගැසුවේ යමෙක් අසනා ප්‍රශ්න අසනා විට ඒවාට උත්තර දීමට නොහැකි වී හිර වූ විට පස්ස හැරී සරම උස්සා ඉදා බලාගනිං යැයි නින්දා කර සිත් වේදනාව තුනී කර ගැනීම හා සමාන වෑයමකි. එය එක කදවුරකට ආශ්වාදජනක වූවත් මැදිහත් සිතින් බලාසිටින්නන්ට නම් ඇති කරන්නේ ජුගුබ්සාජනක හැගීමකි.

කතාව

කතාව මෙසේය. රාජපක්ෂලාගෙන් ප්‍රශ්න කරන්නට සමත් අයෙක් මේ මිහිපිට නැතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි. සිය කදවුරේ ඉන්ටර්ෆෙස් නායකයා වන අපගේ ගුරුදේවෝත්තම මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමාගේ සිට ආගන්තුකව පැමිණෙන මාධ්‍යවේදීන් හා පාක්ෂිකයින් දක්වා වන සියලු දෙනා කළ යුත්තේ ඔවුන්ගේ දේශනාව සාවදානයෙන් අසා සිට සරණ යාම හා අවසනුව සාධුකාර දී සිත් ප්‍රමෝදමත් කිරීම පමණි. එය එසේ නම් මෙය මෙසේ වන්නේ කෙසේ දැයි අසන්නට නොහැක. මෙය මෙසේ නොවන්නේ නම් එය එසේ නොවන්නේ කෙසේදැයි අසන්නට හයියක් තිබිය නොහැක. එසේ අසන්නෝ සියලු දෙනා දේ‍රා්හීන්ය. ඔවුහු විරුද්ධවාදීන්ය. තව ටිකක් දුරට ගිය විට ඔවුහු දේශදේ‍රා්හීන් හා එන්ජීඕ කාරයින් වන්නේය. ඩොලර් කොලයක් ඇසින්වත් දැක නැති වුවත් ඩොලර් කාක්කන් බවට හංවඩු ගැසෙන්නේය.

එහෙයින්, ඔවුන්ගේ දෘශ්ඨිවාදයට අනුව නම් ඒ දහම ප්‍රචාරය කරන මාධ්‍ය නාලිකා සිරාම මාධ්‍ය ආයතනයන්ය. ඒ දහම දේශනා කරන මාධ්‍යවේදියෝ පට්ටම ජර්නලිස්ට්ලාය. ඒවා අසා සැණසෙන ශ්‍රාවකයෝ පාඨකයෝ මාරම මීටර්ය. බුද්ධිමත්ය. ඉන් පරිභාහිරව ප්‍රශ්න කරන්නෝ මෝඩයෝය. තක්කඩියෝය. බූරුවෝය. මීඩියා දන්නැති ගොබ්බයෝය. ඒ මාර බව හෝ ගොබ්බ බව තීන්දු කරන්නේ එක්තරා සංසදයක් විසිනි. ඒ සංසදය රාජපක්ෂ සංසදය නම් වන්නේය. එහි මූලස්ථානය ඇත්තේ විජේරාමයේය. සර්වතෝභද්‍ර රාජපක්ෂොත්තමයන් වහන්සේ කුමක් කියද්ද පරම ලෝක සත්‍යය එයම වන්නේ යැයි යනුවෙන් පිළිගන්නෝ පමණක් මිහිපිට යහතින් වැසිය යුත්තේය. සෙස්සෝ මකබෑවී යා යුතුය. පාරේ යන විට කෝච්චියට බස්එකට හැප්පී සුන්නද්ධූලි වී යා යුතුය.

ඒ අනුව, මේ ධර්මය වැළදගත් රාජපක්ෂ අනුගාමිකයෝ ඒ දහම පණ දෙවෙනි කොට රකිති. ලේක්හවුස් බිල්ඩිම ඉදිරිපිට ලයිට් කණුවේ එල්ලී වැණෙන්නේ ඒ අනුගාමිකයෝය. කාර් එකේ යන නායකයින්ට හුරේ දමමින් පපුවේ රුදාවට බෙහෙත් බොමින් සිටියදී වුව පාරවල් ගාණේ ඇවිද ගොස් අවසානයේ දිවි දෙන්නේ ඒ නිසාය. ඒ අතින් ගත් කළ, සිය ජාතියේ එකම ගැලවුම්කාරයා යැයි විශ්වාස කරන ප්‍රභාකරන්නේ කියමනට අනුව සයනයිඞ් කරලක් බෙල්ලේ එල්ලාගෙන තුවක්කුවක් රැගෙන සටන් පෙරමුණට එන ළමා සොල්දාදුවෙකුගෙන් ඔවුහු වෙනස් වන්නේ කෙසේ දැයි යන්න බරපතල ප්‍රශ්නයකි. එහි ඇති එකම වෙනස ඔවුහු දෙමළෙන් කියන දේ මොවුන් සිංහලෙන් කීම පමණක්මය. ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුවද සූදානම්ය. ඒ වෙනුවෙන් අඹු දරුවන් පසෙකලා සටන් පෙරමුණකට වුවද යන්නට සූදානම්ය. නමුත්, සිය නායකයින්ගේ දේශනාව හා භාවිතාව සම්පූර්ණයෙන්ම එකිනෙකට පටහැනි බැව් දෙමළා යුද්ධයට දක්කා තමා සැප විදි ප්‍රභාකරන් විසින්ද, පාක්ෂිකයා මාරාන්තික උපවාසයට දක්කා තරු පහේ හෝටල් වල රාත්‍රී භෝජනය භුක්ති විදි රාජපක්ෂලා විසින්ද ඔප්පු කර ඇත. නන්දිකඩාල් කළපුවේදී දෙමළා තේරුම් ගත් මේ යථාර්තය කවදා හෝ අන්ධ භක්තියත් අමූලිකා ශ්‍රද්ධාවත් පෙරටුකරගත් මේ අනුගාමිකයෝද පිළිගනු ඇතැයි යන්න පමණක් කිව හැකිය.

කීත් නොයාර්ලාට ලසන්ත වික්‍රමතුංගලාට පොද්දල ජයන්තලාට අත තැබූ අයට අත තබන්නට ආණ්ඩුව අසමත් වූ බව ලෝකව්‍යාප්ත සත්‍යයකි. එසේ වීමට හේතුව අරකයැයි මේකයැයි කියා කප්පරක් ඒවා කීවාත් ආණ්ඩුව ඒ ගැන ක්‍රියාකළ ආකාරය නම් ඇත්තේ කණගාටුදායක පරිසාධන මට්ටමකය. ඔවුනොවුන්ගේ උරමතින් බලයට ආ ආණ්ඩුවට ඔවුහු අමතක වන්නේ නම්, ඔවුන් නිසා ආණ්ඩු බලය අහිමි වූ අය ඒ අයගේ නම් ගම් තවමත් මතක තියාගෙන සිටින්නේ ඇයි දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පහර මතක තියා ගත යුත්තේ ගුටි කෑ එකා හෝ ඔහුගේ කදවුර මිස, පහර දුන් එකා හෝ ඔහුගේ කදවුර නොවේ. ආණ්ඩුවේ මේ දුර්වලතාවය විසින් රාජපක්ෂලාගේ මාධ්‍ය මාෆියාව භාවිත වීම ශක්තිමත් වී ඇත.

අනෙක් අතට ආණ්ඩුවද ජනතාව ගැන සිතා සිටින්නේ රාජපක්ෂලා ජනතාව ගැන සිතා සිටින ආකාරයට වඩා ලොකු වෙනසකින් නොවන බැව් වැටහේ. අද වන තෙක් ඉන්ධන මිල සූත්‍රය කවරක්දැයි ජනතාව දන්නේ නැත. ඩොලරයට වී ඇති වින්නැහිය කුමක්දැයි ජනතාව දන්නේ නැත. අනෙක් ඒවාද එසේමය. එවන් පසුබිමක, ආණ්ඩුවේ කවුරුන් හෝ කියන ඕනෑම කෙප්පයක් සාදුකාර දෙමින් ජනතාව සරණ යතැයි ඔවුන්ද සිතා සිටියි. රාජපක්ෂලාගේ දේශප්‍රේමී මුසාවාද, ආණ්ඩුවේ ආර්ථික විශ්ලේෂණ ප්‍රලාපයන්ට වඩා ජනතාවට හොදින් තේරෙන නිසා ජනතාව මේ පැත්තට වඩා ඒ පැත්ත තෝරා ගනියි. ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුත්තේ ආණ්ඩුවයි.

අවසනුව,

යටකී කදවුරට හුරු පුරුදු දේශපාලන භාවිතය නම් එහෙයි හාමුදුරුවනේ දේශපාලනයයි. විචාර බුද්ධියක්, විශ්ලේෂණයක්, ධනාත්මක හෝ ප්‍රගතිශීලී විවේචනයක් රිස්සීමට ඔවුහු අකමැතිය. එහෙයින්ම කටට එන මොකක් හරි දෙයක් අතහැර දමා බැඩක් බලා ගන්නට ඔවුන් පුරුදු වී සිටියි. මේ පුරුද්ද සමස්ත ජාතියේම පුරුද්ද බවට පත් කිරීම ඔවුන්ගේ වෑයමයි. රුපියල රැකගන්න බැරිනම් මට ආණ්ඩුව දියං, පාරේ ට්‍රැෆික් අඩු කරන්න බැරිනං ආණ්ඩුව මට දියං ආදී වශයෙන් කරන ඉල්ලීම් දේශපාලනික ප්‍රකාශ නොව, රස්තියාදුකාරයින්ගේ හෙයියන්පාර්ට් බැව් අප සිහියේ තබාගත යුතුය. මේ රස්තියාදු ප්‍රකාශ වලට න්‍යායික වටිනාකමක් ලබා දී ඒවා සීරියස් කිරීමේ වගකීම භාරගත් වැටුප් ශ්‍රමික උගතුන්ද කීප දෙනෙක් ඒ කදවුරේ ගාල්කර ඇත. ඔවුන්ට පැවරී ඇති රාජකාරිය නම් මේ රස්තියාදුකාරී තක්කඩි ප්‍රකාශ වලට ඩිප්ලොමැටික් වටිනාකමක් ලබා දීමය. ඒ අනුව, මෙසේ කරන නිර්මාණයේ අවසන් ඵලය දාර්ශනික මතවාදයක් ලෙස ප්‍රචාරය කිරීම ඔවුන් මාධ්‍ය තුළින් අපේක්ෂා කරයි. එසේ කරන අය දේශශක්ති, දේශකීර්ති, දේශාභිමානී නාලිකා වන අතර අනෙක් ඒවා හමුවේ, හ:හ්හ:හ්හ: ගා වියරුවෙන් මෙන් සිනාසෙයි.

රටක් ලෙස දැන්වත් මේ රාජපක්ෂලාගේ මීඩියා මාෆියාව හා රාජපක්ෂලාගේ මීඩියා ෆෝබියාව හේතු සහිතව හරිහැටි තේරුම් ගත යුතුය. ඒ ඒ නාලිකා හෝ පත්තර හෝ ඒ නිසි අවබෝධය ඇතිව පරිශීලනය කළ යුතුය. එවිට ප්‍රවෘත්ති පෙළගැස්ම, වොයිස්කට් වල දිග පළල ආදිය ගැණත් හොද අවබෝධයක් ලබා ගත හැකිය. එසේම, මේ යථාර්තය ජනතාවට කියා දීම අප සියලු දෙනාගේ වගකීමයි.

Bharatha Prabhashana Thennakoon
Resa Newspaper - රැස පුවත්පත

No comments: