Monday, September 3, 2018

හැටහත් අවුරුද්දේ ප්‍රත්‍යාවලෝකනය..

ශ්‍රීලංකා එක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහත් වන සංවත්සරය ඊයේට යෙදී තිබිණි. 1951 වසරේ දී, එවකට ලංකාණ්ඩුවේ සෞඛ්‍ය හා පලාත් පාලන අමාත්‍යවරයාව සිටි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරණායක මහතා, සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී සිංහල මහ සභාවේ කටයුතු කළ දේශීය චින්තකයින් හා බණ්ඩාරණායක ප්‍රතිපත්ති සමග එක්ව ගමනක් යා හැකි පුද්ගල කණ්ඩායමක් හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවනු ලැබීය. පක්ෂයේ ප්‍රධාන කුළුණු පහ හෙවත් පක්ෂයේ පදනම වූයේ සග වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගයයි. එසේම, පක්ෂය සමාජ ප්‍රජාතාන්ත්‍රවාදී දේශපාලන භාවිතය හෝ වැඩි වාමවාදී නැඹුරුවක් හෝ සිය ජීවන රේඛාව කර ගත්තේය. නමුත්, කිසි විටෙක ඒ මත්තේම යැපීම පක්ෂයේ ප්‍රතිපත්තියක් නොවූ අතර ගෙවුණු හැටහත් වසර තුළ අවස්ථානෝචිතව සිය දේශපාලන දර්ශනය සංශෝධනය කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම්‍යශිලී හා උපක්‍රමශීලී විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවස්ථානෝචිත දේශපාලන හැසිරීම් සම්පූර්ණයෙන්ම පාහේ තීන්දු වූයේ ජාතික අවශ්‍යතාවන් අනුවය. රටට අනන්‍ය ලාංකේය සමාජ ආර්ථික දේශපාලන ගමනක ආරම්භය සනිටුවන් කිරීමෙහිලා පක්ෂයේ ආදිකර්තෘවර බණ්ඩාරණායක ශ්‍රීමතාණන් විසින් නායකත්වය දුන් 56 පෙරළිය තීරණාත්මක සාධකයක් විය. ඉනික්බිති, හැත්තෑවේ සමගි පෙරමුණු ආණ්ඩුවේ නායකත්වයෙන් ලංකාව ජනරජයක් බවට පත් වීම මෙන්ම අලුත් ආර්ථීක හා විදේශ ප්‍රතිපත්තියක් හඳුන්වාදීම මෙරට ඉතිහාසයේ කේන්ද්‍රීය හැරවුමකි. පුරවැසියාට ඉවසීම පුරුදු වුවත්, දේශපාලනඥයාට බලය ලබා ගැනීමට ඇති නොනිම් කලබලය නිසා හැත්තෑවේ ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩු පෙරළිය සමග අතරමග නැවතුණත්, අදද පශ්චාත් 77 ක්‍රමය විසින් නිර්මාණය කළ සමාජ ඛේදවාචකය අප හමුවේ පෙන්නුම් කරන්නේ, එදා ශ්‍රීලනිප තේරීමේ ඇති වටිනාකම හා දූරදර්ශී බවයි. 94-2001 පොදු පෙරමුණු ආණ්ඩුව, 2004-2015 සන්ධාන ආණ්ඩුව යන ඒවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොදු නාරටිය බවට පත් කර ගනිමින් නිර්මාණය වූ ආණ්ඩුය. යුද්ධයේ නිමාව, යටිතල පහසුකම් සංවර්ධනයේ කූඨප්‍රාප්තිය, ලෝකප්‍රජාවගේ විශ්වාසය තහවුරු කර ගැනීම, ආණ්ඩු යහපාලනය හා ප්‍රජාතාන්ත්‍රවාදය මූලික කරගෙන රට පාලනය කිරීමට හුරු කිරීම ආදිය ශ්‍රීලනිපයේ නායකත්වයෙන් රටට දායාද වූ දේ අතර සමහරකි. එපමණක් නොව, කුලල්කාගන්නා පක්ෂ දේශපාලනයට තිත තබා අදද සම්මුතිකව ආණ්ඩු කිරීම රටට හුරු කරන යහපාලන ආණ්ඩුවේද සර්ව සම හවුල් කරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කලින් කලට විවිධ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් සමග එක්ව ජාතියේ උන්නතිය වෙනුවෙන් රාජ්‍ය පාලනය මෙහෙයවීමට සමත් වූ එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණි. තනි පක්ෂයක් ලෙස රාජ්‍ය බලය ඇල්ලීම වෙනුවට, පොදු කණ්ඩායමක් ලෙස රාජ්‍ය පාලනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා සිටම වැඩි නැඹුරුවක් දැක්වූ බවට එය කදිම සාක්ෂියකි.

අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු අභ්‍යන්තරිකව මෙන්ම භාහිරවද මෙරට ඇති වැඩිම ප්‍රජාතාන්ත්‍රීය ගුණාංගයන් ආරක්ෂා කරන්නා වූ පක්ෂයයි. ඇතැම් පක්ෂ පවුල් භූදලයට, පාරම්පරික උරුමයට, වලව්වෙන් වලව්වට මාරු වෙද්දීද ඇතැම් ඒවා පණ නැසෙන තුරු නායකයින් නායකයින් ලෙසම පවත්වාගන්නට උත්සාහ කරද්දීද, අවස්ථානෝචිත උපක්‍රමයන් ලෙස පක්ෂයේ ඉහළ සිට පහළටම කිසි විශේෂයකින් තොරව සිය පාක්ෂිකයින්ට පක්ෂයේ වගකීම් වල අයිතිය ලබා දුන්නේ ශ්‍රීලනිපයයි. පොළොන්නරුවේ ඇල්බට් සිරිසේනගේ පුතාටත් හම්බන්තොට ඩී.ඒ. රාජපක්ෂයේ පුතාටත්, පක්ෂයේ නිර්මාතෘ හොරගොල්ලේ බණ්ඩාරණායකගේ පවුලේ අයට මෙන්ම පක්ෂයේ නායකත්වයට පත් වීමට දොරගුළු විවෘත වූයේ ඒ නිසාය. ශ්‍රීලනිපයේ බිහිවීම කොළඹින් සිදුවුවත් ශ්‍රීලනිපයේ හදවත තිබුණේ ඩාලිපාරේ, අරලියගහ මන්දිරයේ හෝ ජනපති මැදුරේ නොව, කොළඹින් සැතපුම් ගණනක් දුරින් පිහිටි ප්‍රත්‍යන්ත ජනපදවලය. ශ්‍රීලනිපයේ වැඩිම ඡන්ද පදනම ඇත්තේද පක්ෂ ප්‍රතිපත්ති කෙරෙහි වැඩියෙන්ම විශ්වාසය තබන්නේද ඒ වැසියන්ය. සුළු පිරිසක් දෙස පමණක් බැලූ ටයිකෝර්ට් දේශපාලනයේ ඇසට නොගැටුණු රටේ සාතිශය බහුතර කොටසට සරණ වූයේ රෙද්ද බැණියම ජාතික ඇදුම ගම පන්සල-පල්ලිය-කෝවිල පාසල විශ්වවිද්‍යාලය මුල් කරගත් සමාජ සාමූහිකයක් වූ ශ්‍රීලනිපයයි. ශ්‍රීලනිපය, සියලු ජාතිවල, ආගම්වල, කුලවල, පාටවල මිනිසුන්ට සෙවණක් දුන්නේය. ඔවුන්ට පක්ෂය තුළ හඩක් දුන්නේය. පනස් දෙකේ ඡන්දයේ දී ආසන නවයක් දිනා සිය ගමන ඇරඹූ පක්ෂය විධායක ජනාධිපතිවරුන් තිදෙනෙක්, අගමැතිවරුන් දස දෙනෙක් ඇතූළු රටට නායකත්වය දෙන, දුන් සහ දිය හැකි නායකයෝ සිය ගණනක් දසතින් නිර්මාණය කරමින් රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් බවට පත් වීමට සමත් වූයේ, මේ දුරදක්නා සහ නම්‍යශීලී ප්‍රතිපත්ති ශ්‍රීලනිපය විසින් අනුගමනය කළ නිසාය.

කෙසේ නමුත්, ඇතැම් කාලවලදී ආණ්ඩු බලය තිබියදී පවා පක්ෂය අමතක කර පුද්ගල කේන්ද්‍රීය දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක නොවූ බවද කිව යුතුය. පක්ෂ කාර්යාලයට කුඩම්මාගේ සැලකිලි දෙමින් තම නිවස මූලික කර ගනිමින් බලය නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂයේ ඇතැම් සැලකිය යුතු වටිනාකම් හා අගයන් යටපත් නොවූයේම නොවේ. පක්ෂයේ තාවකාලික භාරකාරත්වය ඉක්මවා ගොස්, සින්නක්කරයටම ලියාගන්න යත්න දැරූවෝ නැත්තේම නැත. අද, ශ්‍රීලනිපය සිය 67 වන ජන්ම දිනය සමරන්නේ මේ සෑම අභියෝගයක්ම උපේක්ෂාවෙන් දරාගෙන සිටි, දේවදාර මහා වෘක්ෂයක් මෙනි. බාධක කම්කටොළු කොතෙක් හමුවේ වුවද පක්ෂයේ ශක්තිමත් අඛණ්ඩ පැවැත්මට හේතුවද එයයි.

පසුදා උපන්, මෛත්‍රී

වත්මන් ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ගම්පහ යාගොඩදී උපත ලබන්නේ ශ්‍රීලනිපය ඉපදී පැය කිහිපයක් පමණක් ඉක්ම ගිය පසුවය. ශ්‍රීලනිපය නමැති ළදරුවා උපන්නේ යැයි රටපුරා පණිවිඩය යන විට, ඒ සතුටු පුවත සමග සිරිසේන පවුලේ කොල්ලෙක් උපන් බවත්, ඔහුට මෛත්‍රීපාල නමින් නම් තබන බවටත් වන පණිවිඩයද සතුටු පුවතක් ලෙස ගම්තුලානේ පැතිරිණි. ශ්‍රීලනිප උප්පත්තියෙන් එක් රැයක් ඇවෑමෙන් උපන් ඒ කුලකුමරුවා ඉන් වසර 64ක් ඇවෑමෙන් පක්ෂයේ ජයග්‍රාහී නායකත්වයට පත්වීම දෛවෝපගත සිද්ධියකි.

තරුණ මෛත්‍රී, පළමුව කොමියුනිට්ස් වාමවාදී දේශපාලනයත් දෙවනුව ඉතා කෙටි කළකින්ම මැදමාවතේ ශ්‍රීලනිපයේ දේශපාලනයත් සිය දේශපාලන දර්ශනය ලෙස තෝරා ගත්තේය. දිගුකාලීන අරගලයක හා මහපොළවේ දමාගත් ශක්තිමත් පාදමක ප්‍රතිඵලයක් ලෙස 89 පොළොන්නරුවේ මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තු එන මෛත්‍රී 94 උප ඇමතිකමකටත්, 97 සිට නේකවිධ ඇමතිකම් වලටත් හිමිකම් කීවේය. තරුණයෙක් ලෙස තරුණ ගැටළු ගැනත්, ගොවියෙක් ලෙස ගොවි ගැටළු හා කෘෂිකර්මය ගැනත්, ජාතික නායකයකු ලෙස මැතිවරණ, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික තෝරා ගැනීම්, ප්‍රතිපත්ති සම්පාදනය වැනි විෂයන් ගැන මෙන්ම පරිසරය, යුද්ධය, මනුෂ්‍යත්වය, ජාත්‍යන්තර සබදතා වැනි පුළුල්ව විහිදුණු විෂයන් ගැන කතා කිරීමට එදා සිටම නොපසුබටව මෛත්‍රී පාර්ලිමේන්තුවේ නැගී සිටියේය. පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ ජනාධිපති පුටුවේ වාඩි වන තෙක් ගෙවුණු 26 වසරේම ඔහු විපක්ෂයේ සිටියේ අට අවුරුද්දක් පමණි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනරජයේ ජනාධිපතිධුරයට පත්වන්නේ එදා මෙදා තුර ඇමතිකමකින් ඩබල් ප්‍රමෝෂන් ලබා ජනාධිපති වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද සාම්ප්‍රදායික හා දීර්ඝකාලීනව ස්ථාපිතව තිබූ පක්ෂයක් නොවන පක්ෂයක් නියෝජනය කරමින් එම ධුරයට පත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි. පක්ෂ දේශපාලනයට සින්න වී තිබූ රජකමේ වැඩවසම් අයිතිය බිද දැමුවේ, පොළොන්නරුවේ මෛත්‍රී ය.

ගහකොළ සතා සිව්පාවා, ඇළ දොළ ගංගා, වැව් කුඹුරු සමග හුස්මගත් මෛත්‍රී, සිය පාර්ලිමේන්තු ජීවිත කාලයෙන් වැඩි කාලයක් හා ශ්‍රමයක් කැපකළේ තමන් සමග හුස්මගන්නා තමන්ගේ පංතියේ තමන් වාගේම මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙනි. කොතෙකුත් බාධක තිබුණත් ගොවියාගේ කුඹුරට වතුර ටික රැගෙන යාමේ සිහිනය, අත්නොහළ වීර්යයෙන් යථාර්ථයක් කර ගන්නේ ඒ නිසාමය. සරුසාර ගොවිතැනක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, අතමිට සරු දිවිපෙවෙතක්, එදාවේල සංවර්ධනය වෙනුවට දුරදක්නා තිරසාර සංවර්ධනයක්, මත්ද්‍රව්‍ය දූෂණය භීෂණය නොමැති සාමකාමී හා සංසිදුණු රටක් යනු ඔහුගේ නිරන්තර අපේක්ෂාවයි. බලයත්, බලය වෙනුවෙන් කරන දේශපාලනයත් වෙනුවට මනුෂ්‍යයාත් මනුෂ්‍යත්වය වෙනුවෙනුත් කරන දේශපාලනයත් යන්න මෛත්‍රීගේ ප්‍රතිපත්තියයි. එය පොළොන්නරුවේ ඡන්ද කරද්දී මෙන්ම පොළාන්නරුවේ මන්ත්‍රීකම කරද්දීද ඔහු ඔප්පු කළේය. එසේම, අද ජනාධිපතිකම් කරද්දීද ඔහු එය ප්‍රත්‍යක්ෂ කරමින් සිටියි.

කෙසේ නමුත්, මෛත්‍රීගේ මේ උපන්දින සැමරිල්ල ගැන නම් අපට ප්‍රශ්නයක් ඇති බැව් කිව යුතුය. අද තමන්ගේ උපන්දිය බව ජනාධිපතිවරයාට ගණනක්වත් නැත. පාරවල් පුරා චිරං ජයතු, ශ්‍රී සුබ උපන්දිනයක් වේවා, රජුනි දිනේවා දිගුකල් වාගේ පුවරු නැත. අඩුම ගාණේ පත්තරවල, රූපවාහිනී වල රට කරවන රජුන්ගේ උපන්දිනය බවට වන පණිවිඩ නැත. උදේට දානයක්, දවාලට කාර්රේස් එකක්, සවසට පාටියක් සහ රාත්‍රියට සුපිරි පන්නයේ සංගීත සංදර්ශනයක් නැත. ජනපතිගේ උපන්දිනයට කියා ඇමතිලා නේකනේකවිධ උත්සව සංවිධාන කර නැත. මෙවැනි දියාරු වී ගිය උපන්දින සැමරිල්ලක් රජෙකුට ඔබින්නේ නැත යන්න බොහෝ රටවැසියන්ගේ හැගීමයි. මිනිස්සුන්ට තමන්ට ජනාධිපතිවරයෙක් ඉන්නා බවත්, ඔහු අපව පාලනය කරන බවත්, ඔහු මාර පොරක් බවත් හැගෙන්නේ රජ්ජුරුවන්ගේ උපන්දින කේක් ගෙඩියෙක් ඔළුවට ගැසූ විට පමණි. රට ගිලුණත්, ජනපති චූන් එකේ සිටිය යුතුය. එසේ නොවන්නෝ, නෝන්ජල්කාරයින් යැයි ජනතාවට සිතේ. එහෙයින්, මේ අවුරුද්දේ නැතත් ලබන අවුරුද්දේවත් රටට දැනෙන්නට උපන්දිනය සමරමුයැයි යෝජනා කරමි.

67 සමරන ආදරණිය පක්ෂයට සුබ පතමි. ජනපතිතුමනි, සුබ උපන්දිනයක් සර්.

Bharatha Prabhashana Thennakoon
Resa Newspaper - රැස පුවත්පත
2018-09-03

No comments: