Monday, October 8, 2018

දේශපාලනඥයෝ පිට වරද පටවා රට පස්සට තල්ලූ කළ නිළධාරීයෝ..

හැත්තෑ අවුරුද්දක් තිස්සේ මෙරට සංවර්ධනයටත් ඉදිරි ගමනටත් තිබූ ප‍්‍රධානතම ශාපය දේශපාලඥයින් හා පාලකයින්ය යන්න ඉතාම ජනප‍්‍රිය මතයකි. ඒ කතාව ද ගුරුවරු අපිට ගැහුවේ නැත්තං අපි දැන් ඉන්න ඕනේ හිරේය, ශිෂ්‍යත්ව විභාගය යනු දෙමව්පියන්ගේ විභාගයක්ය යනාදී වශයෙන් ජනප‍්‍රිය හා ස්ථාපිත වී ඇත්තා වූ ජනප‍්‍රිය හා ප‍්‍රකට කතා වාගේම විචාර බුද්ධියකින් තොරව වැළදගෙන ඇත්තා වූ මිථ්‍යාවකි. දිය මිටි තැනින් ගලා බසින්නා වාගේ ද ඔක්කෝම කුණු බේරේ වැවට කියන්නා වාගේ ද සියලූ දෙනාම පාහේ පහසුවෙන්ම ඇගිල්ල දිගු කළ හැකි දේශපාලනඥයින්ගේ පැත්තට සියලූ දොස් තල්ලූ කොට වැරදිකරුවන් කොට දඩුකදේ ගසා දමා ඇත. නමුත්, යථාර්ථවාදී සත්‍යය ඊට වඩා වෙනස්ය.

එය සියයට සියයක්ම අනෙක් පැත්තයැයි නොකියමි. නමුත්, එය නියත වශයෙන්ම අඩකට වඩා නම් අසත්‍යය පිළිගැනීමකි. එසේ නම් එකී මහ පංගුවේ හිමිකාරීත්වය හෙවත් වැඩි වරද භාරගත යුත්තේ කවුරුන් විසින්ද. ඔවුහු නම්, වයස ගෙවී ගොස් විශ‍්‍රාම යාමෙන් හා ඉතාම සීමිත කරුණු නිසා පමණක් කල් ඉකුත්වන නිළධාරීන්ය. නිසි මැනීමක් කළේ නම්, එකී නිළධාරී පංතිය විසින් සිදු කර ඇති හානිය දේශපාලනඥයින් විසින් සිදු කර ඇති හානිය මෙන් කිහිප ගුණයක් වන බව දකින්නට ලැබෙනු ඇත.

දේශපාලනඥයින්

දේශපාලනඥයින් යනු ජනතා නියෝජිතයෝය. තමන්ගේ අරමුණු, අභිලාෂ හා අභිප‍්‍රායන් සාක්ෂාත් කර ගැනීම පිණිස ජනතාවගේ බහුතරයගේ කැමැත්ත අනුව තෝරාපත් කරගන්නා වූ පුද්ගලයෝය. එවැන්නෝ වැඩිම ගණනක් එක් වී සිටින කදවුරක් විසින් ආණ්ඩු බලය මෙහෙයවයි. ඒ අතර ව්‍යවහාර අර්ථයෙන් හොද වගේම නරක මිනිස්සුද වෙත්. ඒ ජනතා කැමැත්තය. ජනතාවගේ මේ කැමැත්ත විමසීම පිණිස දේශපාලනඥයෝ කළින් කළට ජනතාව අභිමුවට යති. ඒ සමහර අයට ජනතාව විසින් නියෝජිත වරම දීර්ඝ කර දෙන අතර තවත් අයගේ වරම අවසන් කොට ඒ වෙනුවෙන් වෙනත් අය ප‍්‍රතියෝජනා කරති. කෙසේ නමුත්, වසර හතරක්, පහක් හෝ හයක් තුළ මේ සියලූ දේශපාලනඥයෝද පාලක කදවුරුද ජනතාව හමුවට ගොස් ඔවුන්ගෙන් අනුමැතිය පැතිය යුතු වේ. නිදසුනක් ලෙස, 1980-85 කාලයේදී මේ ආකාරයෙන් දේශපාලනයේ සිටි අයවලූන් අතරින් අද වන විට ඉතිරි වී ඇත්තේ කීයෙන් කී දෙනෙක්ද. ඒ අය නම් ගම් ලෙසම මතක් කර දිය හැකි නොවේද.

ගමේ පාරට, බෝක්කුවට, ලයිට් කණුවට, රස්සාවට දේශපාලනඥයින්ගේ ඉරණම තීන්දු කළ හැකිය. සිනහවට, රැුවිල්ලට, ගෙරවිල්ලට ඔවුන්ගේ ඉරණම තීන්දු කළ හැකිය. දේශපාලනඥයින් අතින් සිදුවන කුඩා වරද හෝ මහා වරදක් වන්නේය. දේශපාලනඥයින් යනු ජනතා මුදලින් නඩත්තු වන නිකමුන් පිරිසක් යැයි බොහෝ දෙනෙක් හදුන්වති. සිදු කරන කුඩා හෝ සොරකමකට, වංචාවකට, ¥ෂණයකට මහා ඉහළ ප‍්‍රසිද්ධියක් හිමි වේ. පත්තර වල පිටු පුරා ඉඩ වෙන්වේ. තමන්ගේ නියෝජිතයින් වුවත්, ඒ බව අමතක කරන්නා වූ හෝ ඒ ගැන නොදන්නා ජනයා වැඩි දෙනෙක් ජීවත් වන්නේ දේශපාලනඥයින් කෙරෙහි ඇත්තා වූ වෛරයකින් හා ක්‍රෝධයකිනි. කට ඇරියොත් දේශපාලනඥනයෝ පතුරු ගසති.

නිළධාරියෝ

නමුත්, 1980-85 වකවානුවේ පරිපාලන හෝ කළමණාකරණ සේවයේ සිටි නිළධාරීන් අතරින් කී දෙනෙක් නම් අදත් එම ක්ෂේත‍්‍රවලම සේවය කරමින් සිටියිද. එදා රස්සාව කළ අද වන විට වයස 55 සම්පූර්ණ නොවූ සෑම කෙනෙක්ම පාහේ අදත් යහතින් සේවයේ නියැලෙති. එහි තේරුම, දේශපාලනඥයින් ජනතාව හෝ වෙනත් විනිශ්චයක් හමුවේ පරාජය වුව ද නිළධාරීන් එවැනි සියලූ පරීක්ෂණයන් සමත්ව දක්ෂව දිවි ගෙවන්නේ යන්නද. කිසිසේත්ම නැත.

ඔවුන් ඔවුන්ගේම ක්ෂේත‍්‍රය්ම පැවැත්වූ විභාග හෝ සම්මුඛ පරීක්ෂණ හැරුණු විට මුහුණ දී ඇති වෙනත් යම් විගණනය කවරක්ද. වසර හතරකට පහකට හෝ හයකට වරක් තබා අවුරුදු දහයකට පහළොවකට වරක්වත් යටකී වර්ගයේ පරීක්ෂාවකට ඔවුහු ලක්වෙත්ද. ඔවුන් ඔවුන් විසින්ම නිර්මාණය කරගෙන ඇති රාමු හා රෙගුලාසි තුළ සිරවී ඔවුන් තුළින්ම රැුකවරණය තනාගෙන ජීවත් වෙති. ඔවුන් විසින් රටේ ඉදිරි ගමන හෝ ප‍්‍රගමනය වෙනුවෙන් කරනු ලබන සේවාවේ හොද නරක විවෘත වේදිකාවකදී විනිශ්චය කෙරෙත්ද. නැත.

පරිපාලන රෙගුලාසි, කාර්යාල ක‍්‍රම හා මුදල් රෙගුලාසි වැනි දේට මුවා වී ඒවා මායිම් කොට ගසාගත් වැටවල් වලින් එපිටට එක නූලක් හෝ පය නොගසා, පෙන්ෂන් එක පරිස්සම් කර ගැනීමේ වෑයම බොහෝ නිළධාරීන්ගේ ක‍්‍රමයයි. ඒ අතරට මේ වන විට එෆ්සීඅයිඞී, ලලිත් වීරතුංග නඩු තීන්දුව හා තවත් එවැනි නිදර්ශක කිහිපයක් විසින් තවදුරටත් මේ නිළධාරීන්ගේ ඇග බේරා ගැනීමේ සූක්ෂම පැවැත්ම තහවුරු කර ඇත. ආණ්ඩු හෝ දේශපාලනඥයින් කොතරම් මාරු වුවත් තමන්ගේ අඛණ්ඩ පැවැත්ම පිළිබද අබමල් රේණුවක හෝ අභියෝගයක් නොමැති ඔවුහු බොහෝමයක් වැඩ කරන්නේ ඔවුන්ගේ ක‍්‍රමයකට හා ඔවුන්ගේ වේගයටය. දේශපාලඥයින්ගේ සැලසුම් වලට කාලරාමු ඇත. ඒවා ඇතැමක් කෙටි කාලීන වනවා සේම තවත් ඒවා එක් අවුරුදු, පස් අවුරුදු හෝ දිගුකාලීන ඒවා වෙයි. ඊළග වතාවේ ඡුන්දයෙන් ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමට නම් දේශපාලනඥයින් විසින් ජනතාවගේ සිත් දිනා ගත යුතුය. ඒ වෙනුවෙන් වැඩ කළ යුතුය. කළින් කලට ක‍්‍රම වෙනස් කළ යුතුය. සිස්ටම් චේන්ජ් කළ යුතුය. නමුත්, නිළධාරීන්ට ඒවා ගැන ඒ හැටි හදිස්සියක් නැත. ෆයිල් අත්සන් කරන්නේ තමන්ට වුවමනා වෙලාවටය. ඒවා අත්සන් කිරීම වෙනුවට කාගේ හෝ ඇගේ ගසා හිරකර තබන්නට වෙර දරණු අප පුද්ගලිකවම පවා අත්දැක ඇත. වගකීම් ගන්නට ඇත්තේ බියකි. එවැනි අත්දැකීම් ඔබටත් ඇතිවා නිසැකය. රටේ නැති නිවාඩු වර්ග සියල්ලමද රාජකාරී නිවාඩු හා නිමක් නොමැති මීටින්ය.

පෙරකී පරිදි ගමේ පාරට, බෝක්කුවට, ලයිට් කණුවට, රස්සාවට හෝ කාර්යක්ෂමතාවට, ඵලදායීතාවට අනුව නිළධාරීන්ගේ ඉරණම තීන්දු නොවේ. ඔවුන්ගේ බොහෝ වැරදි ජනතාවට විවර වන්නේ හෝ නැත. ඒවා ගැන වැඩි බරට සැරට කතා කරන්නට වැඩි දෙනෙක් පෙළඹෙන්නේ නැත. ඔවුන් දේශපාලනඥයින් මෙන් ජනතා මුදලින් නඩත්තු වන පිරිසක් යැයි බොහෝ දෙනෙක් කරදර වන්නේ නැත. අල්ලස් හෝ ¥ෂණ අතින් ගත් විට ප‍්‍රමාණාත්මකව කප් ගසා සිටින්නේ දේශපාලනඥයින්ද නිළධාරීන්ද යන්න අල්ලස් කොමිසම ඇමතීමෙන් පමණක්ම දැන ගත හැකිය. එවැනි චෝදනා ගැන පවා විමර්ශන සිදු නොවන්නේද හෝ මන්ධගාමී වන්නේ දේශපාලනඥයින් නිසා නොවේ.

දේශපාලනඥයින්ගේ වාහන පර්මිට් විකිණීම් ආදිය ගැන පිටු පුරවා නම් ගම් ගණන් හිලව් ආදිය සියල්ල ලියවුණද නිළධාරීන් විසින් සිදු කරන ඒ සමානම කාර්යයන් ගැන පත්තරකාරයෝද ජනතාවද සිවිල් සංවිධානද හාන්කවිසියක් නොදන්නා ගානය. අලූත් නගරාධිපති කෙනෙක් පත්වන විට නිළ නිවස ප‍්‍රතිසංස්කරණය කරන ආකාරය ගැන කතා කරන්නට එඩිතර වන ජනයා, කලින් කලට එන නිළධාරීන් තම තමන්ගේ නිළ නිවාස ආදිය තමන්ට ඕනෑ විදිහට හදාගන්නට කරන වියදම් ගැන දන්නේවත් නැත. යාන වාහන, වරදාන වරප‍්‍රසාද, වියහියදම් ආදී සෑම දේ ගැනම කතාව ඒකමය. නිළ රථයේ ඉන්ධන විකිණීම්, සියලූ පුද්ගලික වැඩ කන්තෝරු වෙලාවේ කරන්නා, කන්තෝරු ඇතුළේ පේ‍්‍රම විගඩම් නැටීම් ආදියද අඩු නැතිය.

නමුත්, ඔවුහු ඔවුන්ගේම හෙවිළි වලින් රැුකේ. සරලවම කියන්නේ නම්, කුමන් තත්ත්වයක් හමුවේ වුවද ඔවුහු තමන්ගේ පංතියට හානියක් වීමට ඉඩ නොදෙති. ආණ්ඩුවට සෑම විටම විපක්ෂයක් ඇත. පාලකයාට සෑම විටම පාලකයා විනිශ්චය කරන පාලිතයෙක් ඇත. දේශපාලනඥයාට සෑම විටම තරගකාරයෙක් ඇත. ඒ නිසාම, දේශපාලනඥයින්ට නිතර නිතර පණින්නට සිදුවන කඩුලූ බොහෝමයකි. නිළධාරීන්ට එසේ නොවේ. නිළධාරී පැලැන්තියේ බොහෝ දෙනා විසින් කොන්දේසි විරහිතව තම පංතිය රකිනු දකින්නට ඇත.

සෑම විටම දේශපාලනඥයින් යනු කිසි වගකීමක් හෝ උගත්කමක් නැති පාර්ශවයක් බවත් නිළධාරීන් යනු උගත්, බුද්ධිමත් හා ¥රදර්ශී පාර්ශවයක් වන්නේ යන්න තවත් එල්බගත් සමාජ මතයකි. එය සත්‍යයක්ද. ගමේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීට වඩා ග‍්‍රාම නිළධාරීවරයා අවංක හා දක්ෂද. ග‍්‍රාම සේවකලා සොරකම්, ¥ෂණ, වංචා, නොරත්ද. සමෘද්ධියේ සිට ආණ්ඩුවෙන් දෙන කොස් පැළය දක්වා සියල්ල අවශ්‍යතා හා වුවමනා මත බෙදා දීම ඔවුන් විසින් සිදු කරයිද. සමෘද්ධි නියාමකලා යනු අවංකත්වයේ ප‍්‍රතිමූර්තිය වන්නේද. මේ සියල්ලෝ දේශපාලනඥයින් නමැති සොරකැලට වඩා යහපත්ද. ප‍්‍රාලේලා, දිසාපතිලා, පොලිස් නිළධාරියෝ, ආදායම්බදු නිළධාරියෝ, රේගු නිළධාරියෝ වැනි සෙසු සියල්ලෝ ඒ ඒ ස්ථරයන්ගේ දේශපාලඥනයින් හා සැසදීමේ දී යහපත්ද.

අවසනුව, මඩ ගොහොරු වුණු මේ සිස්ටම් එක නඩත්තු කරන්නේ නිළධාරීන් විසින් මිස දේශපාලනඥයින් විසින් නොවේ. එහි වැඩි ගෞරවය හිමි වන්නේ නිළධාරීන්ටය. රට ආපස්සට යාමට හෝ රටේ මන්ධගාමී ඉදිරි ගමනට දේශපාලනය යම්තාක් වගකිව යුතුය ඒ තාක්ම හෝ ඊටත් වඩා නිළධාරීන් ඊට වගකිව යුතුය. රට මේතාක් හෝ දුරක් පැමිණ ඇත්තේ නිර්මාණශීලී හා ප‍්‍රගතිශිලී නිළධාරීන් හා දේශපාලනඥයින් අතලොස්සට පින් සිදු වන්නටය. එහෙයින්, රැුල්ල ඇත්තේ දේශපාලනඥයින්ට එරෙහිව නිසා සියලූ දොස් ඔවුන් වෙත යොමු නොකර, ගෙවුණු අඩ සියවසක් පුරා ප‍්‍රතිසංස්කරණය නොවුණු නිළධාරී පැලැන්තියේ සංගායනාවක් සිදු කළ යුතුය. කෙසේ නමුත්, මේ ලිපිය කියවන ඔබ යටකී ඉතාම හොද අතලොස්සට අයත් කෙනෙක් නිසා මේ ගැන වැඩි කලබලයක් ඇතිකර නොගනු ඇතැයි සිතමි. මේ කියා ඇත්තේ ඔබ තරම් හොද නැති අය ගැනය.

Monday, October 1, 2018

යටිගිරියෙන් බෙරිහන් දීම වෙනුවට අවධාරණය කිරීම...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමතීය. ඒ කතාවේ දිග පළල හා එහි ඇති සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හරයන් හා ගුණ අගුණ ගැන මේ වන විටත් ඕනෑ තරම් වාද සංවාද කර ඇති හෙයින් මේ ඉඩ ද ඒ වෙනුවෙන් වෙන් කරන්නට කල්පනා නොකරමි. නමුත්, ඒ කතාවේ රිද්මයත් ස්වරයත් ගැඹුරත් අපට කියා දෙන පාඩමක් මෙන්ම ලෝකයට හඟවන පණිවුඩයක් ඇත. තේරෙනා තරමින් මේ ගැන ලියා තැබීම හා තම තම නැණ පමණ මෙය තේරුම් ගැනීම දේශපාලනිකව පමණක් නොව සංස්කෘතිකව ද වැදගත් වනු ඇතැයි දැඩිව විශ්වාස කරමි.

එකපාරටම මේ ගැන කතා කරන්නට පෙරාතුව, මෙවැනි තත්ත්වයන් කළමණාකාරණය කිරීමේ අතීත භාවිතාවන්ගේ අත්දැකීම් කවරාකාරදැයි සලකා බැලිය යුතුය. හිටපු ජනාධිපතිවරයාද විටින් විට දේශියවද ජාත්‍යන්තරවද විවිධ පොර ටෝක් නිකුත් කළ අවස්ථා අපට මතකය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙමින් තිබෙන පසුබිමකදී වේදිකාවක සිට ඔහු, එව බලව යැයි ජාත්‍යන්තරයට ආරාධනා කළේය. එය ඉතාම රාජතාන්ත්‍රික ආරාධනාවක් හා පාරදෘශ්‍ය තීන්දුවක් යැයි ලෝකයා කතා කළේය. නමුත් සත්‍යවශයෙන්ම සිදු වූයේ අනෙකකි. එකී ආරාධනාව පිළිගෙන ලංකාවට පැමිණි කැලම් මැක්රේ ඇතුළු පිරිසට අනුරාධපුර බෝඩරයවත් පැනීමට ඉඩ නොදී සිය දේශපාලන හෙන්චයියන් දමා මග හරස් කෙරුවේය. තවත් වටයකින් සිය හිතෛශී ඇමතිවරුන් එක්සත් ජාතීන්ගේ කාර්යාල දොරකඩ හරස් කොට නිදි කෙරෙව්වේය. අන්තේවාසිකයින් ලවා වීදි ගාණේ සටන්පාඨ අතින් ගෙන යන පෙළපාලි සංවිධාන කෙරෙව්වේය. ආපු අතක් බලාගෙන පලයව් යනුවෙන් බෙරිහන් දෙන්නට පිරිසක් හැඩ ගැන්වුයේය. ඒ පැමිණෙන්නේ කාන්තාවන් නම් ඔවුන්ට මංගල යෝජනා ප්‍රසිද්ධියේ අපහාස කරන්නටත් අපහසුතාවට පත් කරන්නටත් සේනාවක් සංවිධාන කර තිබෙනු දක්නට ලැබුණු අතර, මර්වින් සිල්වා වැන්නවුන්ගේ විවාහ යෝජනා කළඑළි බසින්නේ ඒවායේ ප්‍රතිඵල ලෙසයි. බැරිම තැනකදී ගිනිතියාගෙන හෝ, අධිරාජ්‍යවාදී බටහිර බලවේග යනුවෙන් භෞතීස්ම කර තිබූ ගෝලීය නිරීක්ෂකයින් මෙරට පස් පෑගීම වැළැක්වීමට දන්නා දහංගැට සියල්ල දැම්මේය.

මුහුණතින් එව බලව කියා, ඉතිං මං කිව්වානේ එන්න කියලා යැයි ලෝකය හමුවේ තමන්ට කියා සිටීමට හැකි ආරක්ෂිත වටපිටාව එක් අතකින් හදාගන්නා අතරවාරයේ දී අනෙක් පැත්තෙන් උසි ගැන්වූ පිරිස් ලවා ඒවා කඩාකප්පල් කිරීමට පියවර ගත්තේය. ඒ ගැටවල ප්‍රතිඵලයක් ලෙස එන්නට ආ අය නකුට හකුලාගෙන ආපසු යතැයි ඔවුන් විශ්වාස කළද සිදු වූයේ එය නොවේ. ඒකපාර්ශවීය විනිශ්චයන් හා තීන්දු ගෙන ලෝකය පුරා ඒවා පතුරවාලීය. ඒවාට වටිනාකමක් හා අගයක් ලබා ගැනීමට සමත් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ, නිමක් නොමැති අර්බුද කිහිපයක් දේශභ්‍යන්තරිකවත් ජාත්‍යන්තරවත් මුහුණ දීමට අපට සිදු විය.

මෙරට සෙල්ෆ් ඇපොයින්ටඞ් දේශප්‍රේමීන් ස්වකීය දේශප්‍රේමීත්වය විදහා දැක්වීමටද අනෙකාගේ දේශප්‍රේමීත්වය මැන බැලීමේ නිර්නායකයක් ලෙස ද යටිගිරියෙන් කෑ ගැසීම භාවිත කළේය. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ මාතෘ භූමිය මට මහමෙරක් යැයි කියා බොරළු පොළව සිප ගන්නා ඔවුහු ඇත්ත වශයෙන්ම කරන්නේ කුමක්ද යන්න ඔවුන්ටවත් අදාල වූයේ නැත. ඊට හේතුව නම්, යටකී දේශප්‍රේමී රංගනයන් තුළින් ගැලරිය හොදින්ම චූන් වන හෙයින් ඉනික්බිති හැසිරීම ඡන්දයකදී ඡන්ද හැසිරීමට සාධකයක් නොවන බව ඔවුහු ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් දැන සිටියෝය. සිංහලෙන් බෙරිහන් දෙමින් පපුවේ දෑත ගසා ගනිමින් කියනා දේත්, ඉංග්‍රීසියෙන් සීරුවෙන් කියනා දේත් අතර තිබුණේ දෙබිඩි බවකි. සෑම විටම සිංහලෙන් කියන දේ සදහා සිංහල සමාජය පිළිබද වූ සමීක්ෂණයන් පදනම් කරගත් ඔවුහු, ඉංග්‍රීසියෙන් කතා කළේ ඒ පංතිය පිළිබද වූ සමීක්ෂණ වල නිර්දේශයන් ප්‍රකාරවය. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය, රණිවිරුවා, මාතෘ භූමියේ ස්වෛරීභාවය, පජාචාන්චවාදය, මාධ්‍ය නිදහස, නීතියේ පාලනය වැනි සෑම ගුණයහපත්කමක් ගැනම ඔවුන්ගේ හැසිරීම වූයේ එයයි. එතැනදී එකක් කියා මෙතනදී තව එකක් කියයි. එවැනි පසුබිමක, අපේ ප්‍රශ්න අපි බලාගන්නම් යැයි ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට කළ දැනුම්දීම ඔවුන්ට දැණෙන්නේ පොල්ලක් ගෙන ඔළුවට ගැසුවාක් වැනිය.

“අපේ ප්‍රශ්න විසඳාගන්න අප විසින් කර ඇති වැඩපිළිවෙළ ඉතාමත් වැදගත් වෙනවා. කිසිදු විදේශ බලපෑමක්, විදේශ තර්ජන ස්වාධීන රටක් ලෙස අපට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අපි සෑම අතින්ම ශක්තිමත් රටක් විදියට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට තිබෙන්න වූ ප්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න.”

ඉහත කී කදවුර කීයටවත් ජනාධිපතිවරයා එවැන්නක් කියාවියැයි විශ්වාස නොකළා විය යුතුය. ඊට හේතුව නම්, බුදු වදන් උපුටා ගැනීම, රණවිරුවන් ගැන කතා කිරීම, යුද්ධයේ මානුෂීය හැසිරීම ගැන ලෝකය දැනුවත් කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව කතා කිරීම යන විෂයන් අහවල් අහවල් අයගේ පමණක් පරවේණි උරුමයන් ලෙසද ඔවුන්ට පමණක් පේටන්ට් අයිතිය හිමී වූ සාකච්ඡා විෂයන් ලෙසද ඔවුන් විශ්වාස කරගෙන සිටි නිසාය. එහෙයින්, අභ්‍යන්තර ප්‍රශ්න හා භාහිර මැදිහත්වීම් ගැන සීරුවෙන් හා දැඩිව කී මෛත්‍රීගේ කතාව මගින් තරවටු වූයේ මෙරට දේශපාලනයට ඇගිලි ගසන්නට බලා සිටි ජාත්‍යන්තර පුද්ගලයින්ට හෝ සංවිධාන වලට හෝ පමණක් නොවේ. එවැනි ඇගිලි ගැසීමකට ඉඩ දී මෙන්න ඇගිලි ගසනවා අන්න ඇගිලි ගසනවා යනුවෙන් බෙරිහන් දී එමගින් ලබා ගන්නා දේශපාලන වාසියක් තුළින් ඔටුනු පළදින්නට සිහින දුටුවන්ටද එම කතාව අතුල් පහරක් විය.

කොයිහැටි වෙතත් මෙවැනි ප්‍රකාශයක්, විශේෂයෙන්ම අපේ ඒවා අපි බලාගන්නම් වැනි දැවැන්ත ප්‍රකාශයක් සිදු කර මෙරටට පැමිණෙන ජනාධිපතිවරයා පිළිගන්නට තොරණ සීයක්වත් ගැසිය යුතුය. ගමක් ගමක් ගාණේ කටවුට් පෝස්ටර් ගැසිය යුතුය. ටීවී රේඩියෝ පත්තර පිරෙන්නට යළි යළිත් මේ කතාව ප්‍රසිද්ධ කළ යුතුය. නමුත්, එදා මෙන් අද ඒවා දකින්නට නොලැබීම නිසාම එදා එක්සත් ජාතීන්ගේ සමුළුවට වඩා මෙදා සමුළුව පොඩි එකක් යැයි පවා අයෙකුට හිතෙන්නට පුළුවන. දියුණු දේශපාලන හරය කියවූවද ගැලරිය කියවන්නේ සංඛේත පමණක් බැවි අප තේරුම් ගත යුතුය.

ජනප්‍රිය හා පොදු විෂයන් හැරුණු විට ජනාධිපතිවරයා මෙවර සිය කතාවෙන් දුප්පත්කම තුරන් කිරීමේ වගකීම හා තරුණයින්ට තැන දීම පිළිබදවද කතා කළේය. 2017 වසර දිළිදුකම තුරන් කිරීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කළ ඔහු 2018 ජාතික ආහාර නිෂ්පාදන වසර ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ වෙනුවෙන් කෙටි කාලීන මැදි කාලීන හා දිගු කාලීන අරමුණු ඉලක්ක කර ගනිමින් කතා කිරීම මෙන්ම ප්‍රායෝගික වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කරමින් සිටීම අගය කළ යුතුය.

සිය කතාව මගින්, සාධාරණ හා යුක්තිගරු, මානවවාදය ශක්තිමත් කරන සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුගමහෙවරක් කරන උතුම් රටක් ලෙස ආර්ථික සමෘද්ධිය ඇතිව ඉදිරියට යන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය දෙන්නයැයි තමා සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බැව් ජනාධිපතිවරයා කීවේය. අවසනුව, මගේ හැගීම නම් ජනාධිපතිවරයා විසින් කළ මෙම ඉල්ලීම වඩාත් වලංගු වන්නේ සත්සමුදුරෙන් එහා ඉන්නා අයට නොව, මේ කොචෙව්වේම ඉන්නා අවස්ථාවාදීන්ට බවයි. හුදු දේශපාලන වාසියක් ගැනීමේ උවමනාවෙන් හා දැඩි ආශාවකින් පෙළෙන ඔවුහු කොහොමින් කොහොම හෝ ආණ්ඩු බලය ගැනීමේ පෙරේතකමකින් පෙළේ. ඒ වෙනුවෙන් ඕනෑම වර්ගයක තක්කඩිකමක්, දහදුරා වැඩක් කිරීමට ඔවුහු පෙළඹෙති. එහිදී, රටට මොනම හෝ නස්පැත්තියක් හෝ සිදු වී ආන්ඩු බලය තමන්ට ලැබෙන්නේ නම් යෙහෙකැයි ඔවුහු සිතති. රට පෙරළන බොරු බේගල් දෙඩීම, ජනතාව උසි ගැන්වීම, එකක් අවසන් වන විට තව එකක් වශයෙන් අර්බුද නිර්මාණය කිරීමට අනුග්‍රාහ දැක්වීම, අසාධාරණත්වය ප්‍රචණ්ඩත්වය වැනි දේ පෝෂණය කිරීමට අවශ්‍ය චිත්ත ශක්තිය ලබා දීම හා එමගින් හීනි වින්දනයක් ලැබීම දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් විසින් සිදු කරගෙන එන්නකි. ඉතිං, රට ගොඩනැගීමට සහාය දෙන්නැයි අප කාරුණිකව ඉල්ලා සිටිය යුත්තේ ඔවුන්ගෙනි.