Monday, October 1, 2018

යටිගිරියෙන් බෙරිහන් දීම වෙනුවට අවධාරණය කිරීම...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමතීය. ඒ කතාවේ දිග පළල හා එහි ඇති සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හරයන් හා ගුණ අගුණ ගැන මේ වන විටත් ඕනෑ තරම් වාද සංවාද කර ඇති හෙයින් මේ ඉඩ ද ඒ වෙනුවෙන් වෙන් කරන්නට කල්පනා නොකරමි. නමුත්, ඒ කතාවේ රිද්මයත් ස්වරයත් ගැඹුරත් අපට කියා දෙන පාඩමක් මෙන්ම ලෝකයට හඟවන පණිවුඩයක් ඇත. තේරෙනා තරමින් මේ ගැන ලියා තැබීම හා තම තම නැණ පමණ මෙය තේරුම් ගැනීම දේශපාලනිකව පමණක් නොව සංස්කෘතිකව ද වැදගත් වනු ඇතැයි දැඩිව විශ්වාස කරමි.

එකපාරටම මේ ගැන කතා කරන්නට පෙරාතුව, මෙවැනි තත්ත්වයන් කළමණාකාරණය කිරීමේ අතීත භාවිතාවන්ගේ අත්දැකීම් කවරාකාරදැයි සලකා බැලිය යුතුය. හිටපු ජනාධිපතිවරයාද විටින් විට දේශියවද ජාත්‍යන්තරවද විවිධ පොර ටෝක් නිකුත් කළ අවස්ථා අපට මතකය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙමින් තිබෙන පසුබිමකදී වේදිකාවක සිට ඔහු, එව බලව යැයි ජාත්‍යන්තරයට ආරාධනා කළේය. එය ඉතාම රාජතාන්ත්‍රික ආරාධනාවක් හා පාරදෘශ්‍ය තීන්දුවක් යැයි ලෝකයා කතා කළේය. නමුත් සත්‍යවශයෙන්ම සිදු වූයේ අනෙකකි. එකී ආරාධනාව පිළිගෙන ලංකාවට පැමිණි කැලම් මැක්රේ ඇතුළු පිරිසට අනුරාධපුර බෝඩරයවත් පැනීමට ඉඩ නොදී සිය දේශපාලන හෙන්චයියන් දමා මග හරස් කෙරුවේය. තවත් වටයකින් සිය හිතෛශී ඇමතිවරුන් එක්සත් ජාතීන්ගේ කාර්යාල දොරකඩ හරස් කොට නිදි කෙරෙව්වේය. අන්තේවාසිකයින් ලවා වීදි ගාණේ සටන්පාඨ අතින් ගෙන යන පෙළපාලි සංවිධාන කෙරෙව්වේය. ආපු අතක් බලාගෙන පලයව් යනුවෙන් බෙරිහන් දෙන්නට පිරිසක් හැඩ ගැන්වුයේය. ඒ පැමිණෙන්නේ කාන්තාවන් නම් ඔවුන්ට මංගල යෝජනා ප්‍රසිද්ධියේ අපහාස කරන්නටත් අපහසුතාවට පත් කරන්නටත් සේනාවක් සංවිධාන කර තිබෙනු දක්නට ලැබුණු අතර, මර්වින් සිල්වා වැන්නවුන්ගේ විවාහ යෝජනා කළඑළි බසින්නේ ඒවායේ ප්‍රතිඵල ලෙසයි. බැරිම තැනකදී ගිනිතියාගෙන හෝ, අධිරාජ්‍යවාදී බටහිර බලවේග යනුවෙන් භෞතීස්ම කර තිබූ ගෝලීය නිරීක්ෂකයින් මෙරට පස් පෑගීම වැළැක්වීමට දන්නා දහංගැට සියල්ල දැම්මේය.

මුහුණතින් එව බලව කියා, ඉතිං මං කිව්වානේ එන්න කියලා යැයි ලෝකය හමුවේ තමන්ට කියා සිටීමට හැකි ආරක්ෂිත වටපිටාව එක් අතකින් හදාගන්නා අතරවාරයේ දී අනෙක් පැත්තෙන් උසි ගැන්වූ පිරිස් ලවා ඒවා කඩාකප්පල් කිරීමට පියවර ගත්තේය. ඒ ගැටවල ප්‍රතිඵලයක් ලෙස එන්නට ආ අය නකුට හකුලාගෙන ආපසු යතැයි ඔවුන් විශ්වාස කළද සිදු වූයේ එය නොවේ. ඒකපාර්ශවීය විනිශ්චයන් හා තීන්දු ගෙන ලෝකය පුරා ඒවා පතුරවාලීය. ඒවාට වටිනාකමක් හා අගයක් ලබා ගැනීමට සමත් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ, නිමක් නොමැති අර්බුද කිහිපයක් දේශභ්‍යන්තරිකවත් ජාත්‍යන්තරවත් මුහුණ දීමට අපට සිදු විය.

මෙරට සෙල්ෆ් ඇපොයින්ටඞ් දේශප්‍රේමීන් ස්වකීය දේශප්‍රේමීත්වය විදහා දැක්වීමටද අනෙකාගේ දේශප්‍රේමීත්වය මැන බැලීමේ නිර්නායකයක් ලෙස ද යටිගිරියෙන් කෑ ගැසීම භාවිත කළේය. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ මාතෘ භූමිය මට මහමෙරක් යැයි කියා බොරළු පොළව සිප ගන්නා ඔවුහු ඇත්ත වශයෙන්ම කරන්නේ කුමක්ද යන්න ඔවුන්ටවත් අදාල වූයේ නැත. ඊට හේතුව නම්, යටකී දේශප්‍රේමී රංගනයන් තුළින් ගැලරිය හොදින්ම චූන් වන හෙයින් ඉනික්බිති හැසිරීම ඡන්දයකදී ඡන්ද හැසිරීමට සාධකයක් නොවන බව ඔවුහු ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් දැන සිටියෝය. සිංහලෙන් බෙරිහන් දෙමින් පපුවේ දෑත ගසා ගනිමින් කියනා දේත්, ඉංග්‍රීසියෙන් සීරුවෙන් කියනා දේත් අතර තිබුණේ දෙබිඩි බවකි. සෑම විටම සිංහලෙන් කියන දේ සදහා සිංහල සමාජය පිළිබද වූ සමීක්ෂණයන් පදනම් කරගත් ඔවුහු, ඉංග්‍රීසියෙන් කතා කළේ ඒ පංතිය පිළිබද වූ සමීක්ෂණ වල නිර්දේශයන් ප්‍රකාරවය. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය, රණිවිරුවා, මාතෘ භූමියේ ස්වෛරීභාවය, පජාචාන්චවාදය, මාධ්‍ය නිදහස, නීතියේ පාලනය වැනි සෑම ගුණයහපත්කමක් ගැනම ඔවුන්ගේ හැසිරීම වූයේ එයයි. එතැනදී එකක් කියා මෙතනදී තව එකක් කියයි. එවැනි පසුබිමක, අපේ ප්‍රශ්න අපි බලාගන්නම් යැයි ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට කළ දැනුම්දීම ඔවුන්ට දැණෙන්නේ පොල්ලක් ගෙන ඔළුවට ගැසුවාක් වැනිය.

“අපේ ප්‍රශ්න විසඳාගන්න අප විසින් කර ඇති වැඩපිළිවෙළ ඉතාමත් වැදගත් වෙනවා. කිසිදු විදේශ බලපෑමක්, විදේශ තර්ජන ස්වාධීන රටක් ලෙස අපට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අපි සෑම අතින්ම ශක්තිමත් රටක් විදියට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට තිබෙන්න වූ ප්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න.”

ඉහත කී කදවුර කීයටවත් ජනාධිපතිවරයා එවැන්නක් කියාවියැයි විශ්වාස නොකළා විය යුතුය. ඊට හේතුව නම්, බුදු වදන් උපුටා ගැනීම, රණවිරුවන් ගැන කතා කිරීම, යුද්ධයේ මානුෂීය හැසිරීම ගැන ලෝකය දැනුවත් කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව කතා කිරීම යන විෂයන් අහවල් අහවල් අයගේ පමණක් පරවේණි උරුමයන් ලෙසද ඔවුන්ට පමණක් පේටන්ට් අයිතිය හිමී වූ සාකච්ඡා විෂයන් ලෙසද ඔවුන් විශ්වාස කරගෙන සිටි නිසාය. එහෙයින්, අභ්‍යන්තර ප්‍රශ්න හා භාහිර මැදිහත්වීම් ගැන සීරුවෙන් හා දැඩිව කී මෛත්‍රීගේ කතාව මගින් තරවටු වූයේ මෙරට දේශපාලනයට ඇගිලි ගසන්නට බලා සිටි ජාත්‍යන්තර පුද්ගලයින්ට හෝ සංවිධාන වලට හෝ පමණක් නොවේ. එවැනි ඇගිලි ගැසීමකට ඉඩ දී මෙන්න ඇගිලි ගසනවා අන්න ඇගිලි ගසනවා යනුවෙන් බෙරිහන් දී එමගින් ලබා ගන්නා දේශපාලන වාසියක් තුළින් ඔටුනු පළදින්නට සිහින දුටුවන්ටද එම කතාව අතුල් පහරක් විය.

කොයිහැටි වෙතත් මෙවැනි ප්‍රකාශයක්, විශේෂයෙන්ම අපේ ඒවා අපි බලාගන්නම් වැනි දැවැන්ත ප්‍රකාශයක් සිදු කර මෙරටට පැමිණෙන ජනාධිපතිවරයා පිළිගන්නට තොරණ සීයක්වත් ගැසිය යුතුය. ගමක් ගමක් ගාණේ කටවුට් පෝස්ටර් ගැසිය යුතුය. ටීවී රේඩියෝ පත්තර පිරෙන්නට යළි යළිත් මේ කතාව ප්‍රසිද්ධ කළ යුතුය. නමුත්, එදා මෙන් අද ඒවා දකින්නට නොලැබීම නිසාම එදා එක්සත් ජාතීන්ගේ සමුළුවට වඩා මෙදා සමුළුව පොඩි එකක් යැයි පවා අයෙකුට හිතෙන්නට පුළුවන. දියුණු දේශපාලන හරය කියවූවද ගැලරිය කියවන්නේ සංඛේත පමණක් බැවි අප තේරුම් ගත යුතුය.

ජනප්‍රිය හා පොදු විෂයන් හැරුණු විට ජනාධිපතිවරයා මෙවර සිය කතාවෙන් දුප්පත්කම තුරන් කිරීමේ වගකීම හා තරුණයින්ට තැන දීම පිළිබදවද කතා කළේය. 2017 වසර දිළිදුකම තුරන් කිරීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කළ ඔහු 2018 ජාතික ආහාර නිෂ්පාදන වසර ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ වෙනුවෙන් කෙටි කාලීන මැදි කාලීන හා දිගු කාලීන අරමුණු ඉලක්ක කර ගනිමින් කතා කිරීම මෙන්ම ප්‍රායෝගික වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කරමින් සිටීම අගය කළ යුතුය.

සිය කතාව මගින්, සාධාරණ හා යුක්තිගරු, මානවවාදය ශක්තිමත් කරන සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුගමහෙවරක් කරන උතුම් රටක් ලෙස ආර්ථික සමෘද්ධිය ඇතිව ඉදිරියට යන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය දෙන්නයැයි තමා සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බැව් ජනාධිපතිවරයා කීවේය. අවසනුව, මගේ හැගීම නම් ජනාධිපතිවරයා විසින් කළ මෙම ඉල්ලීම වඩාත් වලංගු වන්නේ සත්සමුදුරෙන් එහා ඉන්නා අයට නොව, මේ කොචෙව්වේම ඉන්නා අවස්ථාවාදීන්ට බවයි. හුදු දේශපාලන වාසියක් ගැනීමේ උවමනාවෙන් හා දැඩි ආශාවකින් පෙළෙන ඔවුහු කොහොමින් කොහොම හෝ ආණ්ඩු බලය ගැනීමේ පෙරේතකමකින් පෙළේ. ඒ වෙනුවෙන් ඕනෑම වර්ගයක තක්කඩිකමක්, දහදුරා වැඩක් කිරීමට ඔවුහු පෙළඹෙති. එහිදී, රටට මොනම හෝ නස්පැත්තියක් හෝ සිදු වී ආන්ඩු බලය තමන්ට ලැබෙන්නේ නම් යෙහෙකැයි ඔවුහු සිතති. රට පෙරළන බොරු බේගල් දෙඩීම, ජනතාව උසි ගැන්වීම, එකක් අවසන් වන විට තව එකක් වශයෙන් අර්බුද නිර්මාණය කිරීමට අනුග්‍රාහ දැක්වීම, අසාධාරණත්වය ප්‍රචණ්ඩත්වය වැනි දේ පෝෂණය කිරීමට අවශ්‍ය චිත්ත ශක්තිය ලබා දීම හා එමගින් හීනි වින්දනයක් ලැබීම දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් විසින් සිදු කරගෙන එන්නකි. ඉතිං, රට ගොඩනැගීමට සහාය දෙන්නැයි අප කාරුණිකව ඉල්ලා සිටිය යුත්තේ ඔවුන්ගෙනි.

No comments: